එථ පස්සථිමං ලොකං චිත්තං රාජරථූපමං
යත්‍ථ බාලා විසීදන්ති නත්‍ථි සඞ්ගො විජානතං.
මෙහි ඵවු. යම් අත්බැවෙක්හි අනූවණයෝ (තෘෂ්ණා දෘෂ්ටි වශයෙන්) ගැලෙද් ද, නුවණැත්තනට යම් අත්බැවෙක්හි (රාගසඞ්ගාදි) කිසි සඞ්ගයෙක් නැද්ද, (රන් රිදී ඈ රුවනින්) විසිතුරු වූ, රාජරථයක් බඳු වූ (හෙවත් රජදරුවන් නැගෙන මඟුල් රියක් සේ වස්ත්‍රාභරණාදියෙන් විසිතුරු කරණ ලද) (ස්කන්‍ධාදි ලෝක යැ යි කියන ලද) මේ අත්බව බලවු.
බිම්සර රජුගේ රාජ්‍යයෙහි එක් පිටිසර පෙදෙසෙක් රජුට විරුද්ධව නැගී සිටියේ ය. එහි විසූ හැම කෙනෙක් තැන තැන කැරලි ගැසූහ. රජ තෙමේ එය සන්සිඳවනු පිණිස සිය පුත් අභය කුමරු එහි පිටත් කොට යැවී ය. රජුගේ නියමයෙන් ගිය කුමාර තෙමේ නැග තුබූ ඒ සියලු කලිකලහ සන්සිඳුවා රට සෙමෙහි තබා පෙරළා ආයේ ය. එකල්හි රජ තෙමේ සියපුතු කෙරෙහි තුටු වූයේ, නටනට ගී කියනට දක්‍ෂ වූ නිළියක ගෙන්වා ඇය පාවා දී සත් දවසක් රජකමත් ඔහුට පවරා දුන්නේ ය. කුමරු ඒ සත් දවස මාලිගා තුළට වී රජ සිරි වළඳා අටවනදා ඒ නිළිය හා ගඟට ගොස් දිය නාලා අවසනැ මල් උයනට ගියේ, එහිදී නිළියගේ නැටුම් බලමින් මඳකලක් එහි රැදී සිටියේ ය. ඒ වේලෙහි තදින් බඩවැල් ගැස්සීමෙන් නැගුනු වාතාබාධයෙකින් නිළිය මැරී වැටුනා ය. කුමරු සැලුනේ ය. ශෝකයෙන් තද බද විය. එයින් ඔහු මාලිගාවට නො ගොස් බුදුරජානන් වහන්සේ වෙත ගියේ ය. ගොස් වැඳ “ස්වාමීනි! මට වූයේ ලොකු විපතෙක්, පිය රජු මට භාර කොට සිටි නළඟන දැන් මල් උයනේදී කලුරිය කළා, එයින් මාසිත නැගී ඇති ශෝකය ඉතා මහති, එය නිවාලනු මැනැවැ” යි ඇයද සිටියේ ය. එවේලෙහි බුදුරජානන් වහන්සේ “අභය! ඔබ පෙර අත්බැව්හි මේ නිළිය මේ හැටියට මළතැන් වලදී අඬා වගුරුවන ලද කඳුලුවල ඉමෙක් නැතැ” යි කුමරු සැනසූ සේක. එයින් කුමරුගේ ශෝකය තුනී වී ගියේ ය. ඒ බව දත් බුදුරජානන් වහන්සේ නැවැතත් “අභය! මෙහෙම තැන ශෝක කළ යුතු නො වේ නුවණ නැති අය ම ය ශෝක කරන්නෝ, ඒ නිසා අභය ශෝක නැත්තකු විය යුතු ය, මෙතැන නුවණ නැති අය ගිලා බස්නා තැනෙකැ” යි දක්වමින් මේ ධර්‍මදේශනා කළ සේක.
එථ පස්සථිමං ලොකං චිත්තං රාජරථූපමං,
යත්‍ථ බාලා විසීදන්ති නත්‍ථි සඞ්ගො විජානතන්ති.
එවු! යම් ආත්මභාවයෙක නුවණ නැත්තෝ ගැලෙත් ද, තතු දන්නවුන්ට ඇල්මෙක් නැත්තේ ද, විසිතුරු වූ රජුගේ රියක් වැනි වූ මේ ආත්මභාවය බලවූ.
එථ = එවු.
යත්‍ථ බලා විසීදන්ති = යම් ආත්මභාවයෙක නුවණ නැත්තෝ ගැලෙත් ද.
නත්‍ථි සඞ්ගො විජානතං = තතු දන්නවුනට ඇල්මෙක් නැත්තේ ද.
චිත්තං = විසිතුරු වූ.
රාජරථූපමං = රජුන්ගේ රියක් වැනි වූ.
ඉමං ලොකං පස්සථ = මේ ආත්මභාවය බල වු.
මෙහි ලොක නම් ආත්මභාවය යි. පංචස්කන්‍ධය යි ඉතා පැහැදිලි අරුතෙන් කිය යුත්තේ සත්ත්‍වයන් විසින් දරණ සිරුර ලෝකැයි පිළිගෙන ඇති බව ය. එය විසිතුරු ය. රජුන් ගමන් ගන්නා රියක් වැනි ය. එහෙත් එහි විසිතුරු බව, රදරියක් වැනි බව ප්‍රකෘති සිද්ධ නො වේ. මෙහි ඇත්තේ උනුන් අතින් කෙරෙණ කාලික වූත් ස්ථානික වූත් විසිතුරු බව ය. රදරියක් වැනි බව ය. ඒ ද සිරුරෙහි පිටත පිළිබඳ ය රන් රිදී පට පිළී ආදියෙන් කෙරෙන විසිතුරු බව සිරුරෙහි පිටත මුත් ඇතුළත නො වේ.
රාජරථයෝත් නන් වැදෑරුම් වටිනා වස්ත්‍රයන්ගෙන් සරසනු ලබත්. එසේ ය මේ සිරුරත් ලෝකයා විසින් නොයෙක් වටිනා විචිත්‍ර වස්ත්‍රයන්ගෙන් සරසනු ලබන්නේ. රාජරථය ඇතුළතින් හා පිටතින් සරසනු ලබන්නේ ද සිරුරෙහි පිටත මුත් ඇතුළත විසිතුරු කරනු නො හැක්කේ ය. එහෙයින් රියෙක සැරසීම නුවණට හුරු ය. සිරුර සැරසීම නුවණට හුරු නො වේ.
සිරුර, මුග්ධයන් ගැලෙන, මුග්ධයන් විසින් සතපනු ලබන, මුග්ධයන්ට ම ප්‍රිය වූ ස්ථානයකි. එය “යත්‍ථ බාලා විසීදන්ති” යනුවෙන් වදාළ සේක. එය පරම සත්‍යයක් බව අද වඩාලාත් පෙණෙන්නේ ය. පෙර කළ පිණෙන් ධනවත් වූ මුග්ධයෝ ධනයෙන් කළ යුතු දේ පසෙක තබා සිරුර සතපන්නට පමණ ඉක්මවා ගේ දොර නංවත්. යාන වාහන ලංකර ගණිත්. සතුන් මරා කත්. මත් පැන් බොත්. පරඹුවන් පරපුරුෂයන් ගණිත්. කළ හැකි හැම දුසිරිතක් ම මේ සඳහා කරත්. මේ මුග්ධයෝ සතුන් මරා කෑම මත්පැන් බීම ගණිකා මඩම් තැබීම සූදු කෙළීම යන ඈ සදාචාරැයි ගණිත්. මේ දුසිරිත් රට පුරා පැතිර වීමට සමාජශාලා නමින් දුශ්චරිතාගාර පිහිටු වත්. නැටුම් හල් ගොඩ නගත්. තරුණියන් නිර්‍වස්ත්‍ර කොට මහාජනයා මැද වේදිකා මත නංවා රූප සුන්දරියන් කොට ඔවුන්ගේ විළිබිය නසා ලත්. ධනවත් මුග්ධයෝම ය සෙසු දෙනා දුශ්වරිතයෙහි අපායයෙහි ගලන්නෝ මොවුහු යමෙකින් කමෙකින් පිහිට වන්නෝ ද මුන් සේ දුසිරිත් කරණ මුන්ගේ දුසිරිතයනට රුකුල් දෙන මුග්ධයන්ට ම ය.
මහජනයා උසස් කොට සලකන තනතුරු උපාධි වත්පොහොසත් කම් ආදී කිසිවක් ආත්මදමනය පිණිස ප්‍රඥා ලාභය පිණිස නො පවතින්නේ ය. එහෙයින් ඒ තනතුරු උපාධි වත් පොහොසත් කම් වඩාලාත් බිහිසුණු ය. හික්මීමක් නැති උගතා බිහිසුණු ය. ආත්දමනයට තුඩු නො දුන් උගත් කම හැම විපතකටම මුල් වන්නේ ය. එබඳු උගත්කම් ඇත්තෝ නො ගැලිය යුතු නො සැරසිය යුතු සිරුරෙහි වඩාත් ගැලෙන්නෝ ය.
කුමාරකාශ්‍යප මහාස්ථවිරයන් වහන්සේගේ මෑනියෝ ගිහි ගෙයි උන් කාලයෙහි එක් උත්සව දිනයෙක සිය සැමියා “සිරුර සරසා ගන්නැ” යි කියන ලද්දෝ “හිමිය! මේ සිරුර ඇඳුම් ආයිත්තම් ලා සැරසීමෙන් කිනම් පලයෙක් ලැබේ ද කිනම් වැඩෙක් වේ ද, මේ සිරුර සැරසීම අසුචි පිරූ කළයෙක පිටත සිතියම් කිරීම වැනි නො වේදැ” යි අසා සිරුර සැරසීම ප්‍රතික්ෂේප කළහ. මෙ බඳු ගැහැණු අදත් ලොව වෙසෙත් ද. ඉණ හිස විකොට වත් ඇඳුම් කැඩුම් සපයා සිරුර සැරසීම ම බලාපොරොත්තු වන ගෑණු ම ය අද ලොව ඇත්තාහු. ගැහැණුනට වසඟ වූ මුග්ධපුරුෂයෝ ද උන් කියන හැම දෙයක් ම කරත්, නො උගත් ගෑණු සැරසීම්වලින් මොන ලෙසකිනුත් සෑහීමට නො පැමිණෙත්.
සඞ්ග නම් රාග, දෝස, මෝහ, මාන දිට්ඨි, කිලේස, දුච්චරිත යන මේය. කාමරාග භවරාග පටිඝ මාන දිට්ඨි විචිකිච්ඡා අවිජ්ජා යන මේ ද සඞ්ගැ යි ගණිත්, පංචස්කන්‍ධය සජීවතත්ත්වයෙන් ගෙණ එහි ඇලීම තෘෂ්ණා. දෘෂ්ටි ආදීන්ගේ වශයෙන් කෙරෙන්නේ ය. පංචස්කන්‍ධයෙහි ඇලීමට කරුණු වන බැවින් මොවුහු සඞ්ග නම් වෙති. “ සජ්ජන්ති එතෙනාති සඞ්ගො. ලග්ගනත්‍ථෙන වා සඞ්ගො” යනු දන්න. සිරුරෙහි තතු දන්නවුනට මේ කිසිත් සඞ්ගයෙන් නැත්තේ ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි රාජකුමාර තෙමේ සෝවන් වූයේ ය. පැමිණ සිටි පිරිසට ද දේශනාව වැඩ සහිත වූ ය.
අභයරාජකුමාර වස්තුව නිමි.