හීනං ධම්මං න සෙවෙය්‍ය පමාදෙන න සංවසෙ
මිච්ඡාදිට්ඨිං න සෙවෙය්‍ය න සියා ලොකවද්ධනො.
ලාමක ධර්‍මය (පංචකාමගුණය) නො සෙවුනේ ය. ප්‍රමාදය හා එක් ව නො වසන්නේ ය. මිත්‍ථ්‍යාදෘෂ්ටිය ද සේවනය නො කරන්නේ ය. ලොව වඩන්නෙක් නො වන්නේ ය (සසර නො වඩන්නේ ය).
එක්තරා ස්ථවිරයන් වහන්සේ නමක් දවසක් තරුණ මහණකු සමග අලුයම විශාඛාවන්ගේ ගෙට ගියහ. එහි, මහණුන් උදෙසා දිනපතා කැඳ දනෙක් පැවැත්තේ ය. එහිදී ස්ථවිර තෙමේ කැඳ වළඳා තමන් හා කැටුව ගිය නමටත් කැඳ වළඳවාලා, ඔහු එහි ම රඳවා තෙමේ අන් ගෙයකට ගියේ ය. එහි සිටි විශාඛාවගේ මිනිබිරිය තමන් වෙත එන මහණුන්ට මුත්තනිය සේ ම කළයුතු වතාවත් කරන්නී ය. ඕ තොමෝ එදා ද ඒ තරුණ මහණහුට පිළිගන්වන්නට පැන් පෙරන්නී දිය බඳුනෙහි වැටුනු තම මූණේ සෙවනැල්ල දැක සිනාසුනා ය. එහි හුන් ඒ මහණ ද ලදැරියගේ මුණ බලා සිනාසුනේ ය. ලදැරිය, සිනාසෙන මහණහු දැක “මේ හිස බූ ගෑ තට්ටයා මා දැක සිනාසෙන්නේ ය” යි කිවු ය. එවිට මහණ “ඇයි, තී මට සිනාසෙහි? තීත් තට්ටියක, තීගේ අම්මාත් තට්ටියක, අප්පා තට්ටයෙක, මට සිනාසෙහි කුමක් නිසා ය? අම්මාට අප්පාට සිනාසෙව” යි බැණ වැදුනේ ය. ලදැරිය අඬමින් විශාඛාවන් ලඟට දුව ගියා ය. ඒ වේලෙහි විශාඛා තොමෝ සඞ්ඝයා වහන්සේ උදෙසා දන් පිළියෙල කරවන්නී කුස්සියෙහි හුන්නී හඬමින් දුව ආ මිනිබිරිය දැක "කුමක් නිසා හඬහි දැ” යි ඇසූ ය.
ඕ තොමෝ එහි වූ කතාව මුළුමනින් විශාඛාවට කිවූ ය. එවිට විශාඛා තොමෝ ඒ මහණ වෙත ගොස් “ස්වාමීනි! මේ කුඩා ලමයා කළ කතාවට තරහ නො වනු මැනැවි, හිස බූ ගා කපා කොටා මැසූ කුසට දිය පොවා සකස් කළ සිවුරු හැඳ පෙරව ගෙණ පාකබලක් අතට ගෙණ ගෙයක් පැල්පතක් ගානේ හිඟමින් ඇවිදුනා ඔබවහන්සේට ඔතරම් තරහ උපදිනු මොක ද? මේ කුඩා ලමයා සෙල්ලමට කී කතාව ගණන් ගත්තහු ඇයි? ඔය තරම් කුඩා එකකුත් ඉවසනු බැරි නම් මෙතරම් උසස් මහණකමක් කරණු කෙසේ වේ ද? මේ ලමයා ඔබවහන්සේට අගෞරවයක් කරණ රිසියෙන් ඒ කියේ නො වේ” යි කීවා ය. එකල්හි මහණ “ඇත්ත, උවැසියනි! උවැසියට පෙණෙන්නේ මාගේ හිස බූ ගෑම, කපා කොටා මැසූ සිවුරු, මාගේ හිඟමන, උවැසිය! ඈට වටී ද මට එසේ කියනු? මාගේ හිස බූ ගෑම ඈට රුදාවක් ද? උවැසිය කියන්නී ඈ කළ ඒ කතාවෙහි වරදක් නැති බව නො වේ දැ?” යි කීය.
විශාඛා තොමෝ නිහඬ වූ ය. ඕ තොමෝ ඒ දෙදෙනා ම සනසාලීමෙහි අපොහොසත් වූවා ය.
ඒ වේලෙහි විශාඛාවන්ගේ ගෙයින් කැඳ වළඳා දන් වැළඳීමට අන් ගෙයකට ගිය මහතෙරුන්නාසේ පෙරළා එහි ආහ. එහි දී මේ සියලු කතා පුවත දැන “මහණ! ඒ කතාව ඔය ලෙසින් බරට ගත යුතු කතාවක් ද? තරහ විය යුතු කතාවක් ද? බොරු ද හිස බූ ගා කපා කොට මැසූ සිවුරු හැද පෙරව පා කබලක් අතට ගෙණ ගෙයක් ගානේ හිඟා කනු? එසේ කරන්නහුට මෙය ලොකු බැණීමෙක් ද? අහක යව” යි ඒ බාල නමට තරවටු කළහ. එවිට කුඩා නම “පෙනේ ද අපගේ මහතෙරුන්ගේ හැටි, මට ම තරවටු කරති, අර කෙල්ලට කිසිත් තරවටුවක් නො කරති” යි සිතා “ස්වාමීනි! කෙල්ලගේ බැණීම බැණීමෙක් නො වේ, ඔබ වහන්සේගේ පිළිගැණීම මාගේ කතාව ම බැණීම ය යනු” යි කී ය.
ඒ වේලෙහි බුදුරජානන් වහන්සේ එහි වැඩි සේක. උන්වහන්සේ ඒ කුඩා නමට සෝවාන් වීමට තුබූ වාසනා ගුණය දැක “විශාඛාව! කෙස් බූ ගෑම් ඈ පමණින් මාගේ ශ්‍රාවකයන්ට කෙස් බූ ගෑවෝ ය, සිවුරු කඩමාලු අඳින්නෝ ය, හිඟන්නෝ ය, යන ඈ ලෙසින් බණින්නට වටී දැ” යි අසා වදාළ සේක. එකෙණෙහි ම කුඩා නම නැගී සිට දොහොත් මුදුන් දී සකසා වැඳ “ස්වාමීනි! මේ කාරණය බුදුරජානන් වහන්සේට මැනැවින් වැටහී ඇත්තේ ය, අපගේ උපාද්ධ්‍යායයන් වහන්සේටත් මහා උපාසිකාවටත් මෙය වැටහී නැතැ” යි කී ය. එකල්හි බුදුරජානන් වහන්සේ “කුඩා නම, මා ඔහුට අනුකූලබව පිළිගෙන ඇතැ” යි දැන “කාම ගුණ නිසා සිනාසීම හොඳ නැත, එය ඉතා පහත් ක්‍රියාවක, පහත් දැය සෙවුම නො සුදුසු ය, පමාව කල් යැවීම සසර දිග් ගැසීමට කරුණු වන බැවින් ඒ නො වටනේ ය” යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
හීනං ධම්මං න සෙවෙය්‍ය පමාදෙන න සංවසෙ,
මිච්ඡාදිට්ඨීං න සෙවෙය්‍ය න සියා ලොකවද්ධනොති.
පහත් දහම් නො සෙවුනේ ය. ප්‍රමාදය හා එක්ව නො වසන්නේ ය. මිසදිටු නො සෙවුනේ ය. ලොව වඩන්නෙක් නො වන්නේ ය.
හීනං ධම්මං න සෙවෙය්‍ය = පහත් දහම් සේවනය නො කරන්නේ ය.
පස් කම් ගුණය මෙහි හීනධර්‍මැ යි වදාළ සේක. මිනිසුන් විසින් තබා ඔටු, ගොන්, බලු, කැණහිල් ඈ තිරිසන් සතුන් විසිනුදු ඒ නො සෙවිය යුතු ය. ඒ ඒ තරමට හීන ය. ලාමක ය. පහත් ය. වැදගතකුට, උගතකුට කොයිලෙසිනුත් ඒ තරම් නො වන්නේ ය. පස්කම් සෙවුමෙන් සිවු අපායයෙහි හෙන්නේ ය. උපදින්නේ ය. එහෙයින් හීන ය. ලාමක ය.
“න පණීතතාය හීනො, හීනජච්චතාය හීනො, න උක්කට්ඨකම්මන්තතාය හීනො, හීනාචාරතාය හීනො” උතුම් නො වන බැවින්, උත්තමාර්‍ත්‍ථයක් නො ලැබිය හැකි බැවින්, උත්තමයන්ට නො සුදුසු බැවින් හීන ය. ලාමක ස්වභාව ඇති බැවින්, ලාමක ජාති ඇති බැවින්, ලාමක සත්ත්‍වයන් විසින් සෙවිය යුතු බැවින් හීන ය. චණ්ඩාල පුක්කුසාදී වූ පහත් ජාති ඇත්තෝ, පහත් කුල ඇත්තෝ ක්‍ෂත්‍රියා දී වූ උසස් කුල ඇත්තන් හා එක්ව විසීම නො ලබති. චක්‍රවර්‍තති ආදී වූ පෘථග්ජනයෝ සෝතාපන්නාදී වූ ආර්‍ය්‍යයන් හා එක්ව විසීම නො ලබත්. මොවුන් හැම කෙනකුන් කාම සේවකයන් බැවිනි. කාම සේවනය පහත් ස්වභාව ඇත්තවුන්ගේ ක්‍රියාවක් බැවින් හීන ය. පහත් ජාති ඇත්තන් සම්කරුකම්, රියකරුකම්, පෙහෙරකම්, පුප්සැඩකම් යනාදී වූ ලාමක කර්‍මාන්තයන්හි යෙදී ජීවිකාව කරන්නා සේ කාමයෙන් අන්‍ධ වූ අඥ වූ පෘථග්ජනයෝ ප්‍රාණඝාතාදී වූ මිත්‍ථ්‍යා කර්‍මාන්තයන්හි යෙදී ජීවිකාව කරත්. මෙසේ හීන කර්‍මාන්ත ඇති බැවින් හීන ය. හීන වූ බ්‍රහ්මචර්‍ය්‍ය මාත්‍රයකුත් නො රැක පෘථග්ජනයෝ බුද්ධාදී උත්තමයන් විසින් ගැරහු කාමමිත්‍ථ්‍යාචාරාදිය කරත්. මෙසේ හීනාචාර ඇති බැවින් හීන ය. වැදි මිනිසුන්ගේ ධර්‍මයක් බැවින්, නාගරිකයන් බැහැර ලූ බැවින්, සාමාන්‍යයන්ගේ ධර්‍මයක් බැවින්, ශිෂ්ටයන් විසින් නො සෙවුනු බැවින්, අනර්‍ත්‍ථයෙන් යුක්ත බැවින්, අර්‍ත්‍ථයෙන් බැහැර බැවින් හීන ය. මේ සැකෙවිනි හීන ලක්‍ෂණ ධර්‍මයෙහි කී ලෙසින් වඩාලාත් දත යුතු ය.
මෙසේ බැවින් පංචකාමය නො සෙවිය යුතු ය. දුරුකළ යුතු ය. එය බෞද්ධයනට දෙයයුරකින් කළ හැක්කේ ය. ඒ නම් වික්ඛම්භන - සමුච්ඡේද යන දෙයයුරෙනි. “ ද්වීහි කාරණෙහි කාමා න සෙවිතබ්බා පරිවජ්ජෙතබ්බා වික්බම්භනතො වා සමුච්ඡේදතො වා” යි ඒ කීහ. “ අට්ඨිකඞ්ඛඵෑපමෙ කාමෙ අප්පසාදට්ඨෙන මංසපෙසූපමෙ කාමෙ අනුදහනට්ඨෙන පස්සන්තො න සෙවති පරිවජ්ජෙති” යනු සාධක සූත්‍රයි.
කාමයන් අවස්ථානුරූපව යටපත් කිරීමෙන් ඔබා ගැණීමෙන් නො සෙවිය හැකි ය. දුරුකළ හැකි ය. “සොතාපත්තිමග්ගං -පෙ- සකදාගාමිමග්ගං -පෙ- අනාගාමිමග්ගං -පෙ- අරහන්තමග්ගං භාවෙන්තො සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අසෙසං නිරවසෙසං සමුච්ඡෙදතො කාමෙ න සෙවති පරිවජ්ජෙති” යනු සමුච්ඡෙදයෙහි ලා දන්නේ ය. සෝතාපත්ති ආදී වූ සතර මාර්‍ගයන් වැඩීමෙන් මුළුමනින් කාමයන් සේවනය නො කොට සිටිය හැකි ය. [1]
පමාදෙන න සංවසෙ = ප්‍රමාදයෙන් යුක්තව නො වසන්නේ ය. ප්‍රමාදය හා එක්ව නො විසිය යුතු ය.
කුසල් දහම් විසයයෙහි සිහියෙන් තොරවීම ප්‍රමාදය යි කියන ලද්දේය. [2]
මිච්ඡාදිට්ඨීං න සෙවෙය්‍ය = මිසදිටු සේවනය නො කරන්නේ ය. මිසදිටු නො සෙවිය යුතු ය.
මිසදිටු යි කියන ලද්දේ ශාස්වත -උච්ඡෙද විසින් දෙවැදෑරුම් වූ අනර්‍ත්‍ථකර අයථාදර්‍ශන ය යි. ඒ දෙසැටෙකි. [3]
න සියා ලොකවද්ධනො = ලොව වඩන්නකු නො වියයුතු ය.
යමෙක් ලෝකය ශාස්වතැ යි හෝ උච්ඡෙදැ යි හෝ ගෙණ සිහි නුවණින් තොරව පංචකාමය සේවනය කරන්නේ නම්, ඔහු සසර චුති - පටිසන්‍ධි වශයෙන් දිගට ඉපිද ඉපිද යන්නේ ලොව වඩන්නේ ය. මෙහි ලෝකැ යි ගත්තේ පංචස්කන්‍ධය යි. මිසදිටු ගෙණ ප්‍රමත්ත ව කාමසේවනය කරන්නහුට දිග් වූ සසර ගමන වළකාලිය නො හැකි ය. එහෙයින් සසර දිගට ඉපිද ඉපිද නො යන්නට නම්, ලෝකය නො වඩන්නට නම්, පංචස්කන්‍ධය හැරදමන්නට නම් මිසදිටු නො ගෙණ අප්‍රමත්ත ව කාමසේවනයෙන් බැහැර විය යුතු ය.
ධර්‍මදේශනාවන්ගේ අවසානයෙහි ඒ තරුණ භික්‍ෂුනම සෝවන් විය. පැමිණ සිටි පිරිසට ද දේශනාව වැඩ සහිත වූ ය.
අන්‍යතරදහරභික්‍ෂුවස්තුව නිමි.