අත්තදත්‍ථං පරත්‍ථෙන බහුනාපි න හාපයෙ
අත්තදත්‍ථමභිඤ්ඤාය සදත්‍ථපසුතො සියා.
බොහෝ වූ ද පරාර්‍ත්‍ථය නිසා ආත්මාර්‍ත්‍ථය නො පිරිහෙළන්නේ ය. ආත්මාර්‍ත්‍ථය වෙසෙසා දැන, අර්‍හත්ත්‍වඵලාධිගම නම් වූ ස්වාර්‍ත්‍ථයෙහි නියැලියෙක් වන්නේ ය.
“මහණෙනි! මෙයින් සාරමසක් ගිය තැන මම පිරිනිවෙන්නෙමි” යි දිනක් බුදුරජානන් වහන්සේ භික්‍ෂූන් අමතා වදාළ සේක. ඒ වේලෙහි සත් සියයක් පමණ වූ පෘථග්ජන භික්‍ෂූන් වහන්සේ මහත් සංවේගයට පැමිණියෝ, බුදුරජුන් හැර නො ගොස් “මේ ගැණ කුමක් කරමු දැ” යි උනුන් කතා කරමින් දවස් ගෙවූහ. අත්තදත්ත ස්ථවිරයන් වහන්සේ ද ඒ අතර වූහ. උන්වහන්සේ “මාගේ අමාමෑනියන් වහන්සේ සිවු මසක් ගිය තැන පිරිනිවන් පාන්නෝ ය. අයියෝ! මම මෙතෙක්, පහ වූ රාග ඇත්තේ නො වෙමි. වන්නී විපතකි. එහෙයින් මම බුදුරජුන් ජීවත් ව ඉන්දදී ම, රහත් වන්නට උත්සාහ කරමි” යි භික්‍ෂූන් ඉන්නා සිටුනා තැනට නො ගොස් බවුන් වැඩීමෙහි යෙදී ගත්හ. එකල සෙසු භික්‍ෂූන් වහන්සේලා “ආයුෂ්මත්නි! ඔබ වහන්සේ දැන් ටිකදාක සිට අප ඉන්නා සිටුනා තැනට නො එන්නහු, කිසි කතාබහක් නැත්තහු කුමක් නිසා දැ?” යි ඇසූහ. ඒ වේලෙහි ද උන් වහන්සේ කිසිත් නො බිණූහ.
එවිට භික්‍ෂූන් වහන්සේලා ඒ තෙරුන් බුදුරජුන් ඉදිරියට ගෙණ ගොස් “ස්වාමීනි! මේ ස්ථවිරයෝ වෙනදා මෙන් අප හා කතා නො කරති. අප ඉන්නා තැනට නො එති. එසේ කරනු කුමක් නිසා දැ? යි ඇසුව ද කිසිත් නො කියති. මේ තෙරුන්ගේ වෙනස කුමක් නිසා වූවක් දැ යි අපි නො දනිමු” යි බුදුරජුන්ට දැන් වූහ. බුදු රජුන් “මහණ තමුසේ එසේ කරහු, කුමක් හෙයින් දැ?” යි ඇසූ කල්හි “ස්වාමීනි! මාගේ අමාමෑනියන් වහන්සේ මෙ තැන් සිට සිවු මසක් ගිය තැනේ දී පිරිනිවන් පානා සේක. එ බැවින් මා අමා මෑනියන් ජීවත් ව ඉන්දදී ම රහත් වන්නට වෙර දරමි” යි ස්ථවිරයන් වහන්සේ කීහ. බුදුරජානන් වහන්සේ “තමුසේගේ අදහස වැදගති. කළ යුතු එසේ ය” යි සාධුකාර දී “මහණෙනි! තමුසේලා මා කෙරෙහි ස්නේහ කරහු නම්, ඒ හැම කෙනකුන් මේ අතත්දත්ත තැන සේ විය යුතු ය. පහන් දල්වමින් සුවඳ දුම් දෙමින් මල් පුදමින් ආහාරපාන තබමින් මා පුදන්නෝ, මා පුදන්නෝ නො වෙති. යම් කෙනෙක් ධර්‍මානුධර්‍ම පතීපත්තියෙන් මා පුදත් නම්, ඒ අය ය මා පුදන්නෝ, ඒ නිසා තමුසේලා කවුරුත් මේ අත්තදත්ත තැන මෙන් පිළිවෙත් පිරිය යුතු ය” යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
අත්තදත්‍ථං පරත්‍ථෙන බහුනාපි න හාපයෙ,
අත්තදත්‍ථමභිඤ්ඤාය සදත්‍ථපසුතො සියාති.
බොහෝ වුත් පරාර්‍ත්‍ථය නිසා (පරාර්‍ත්‍ථය බොහෝ ය යි සලකා) ආත්මාර්‍ත්‍ථය නො පිරිහෙළන්නේ ය. ආත්මාර්‍ත්‍ථය වෙසෙසා දැන ආත්මාර්‍ත්‍ථයෙහි නියැලියෙක් වන්නේ ය.
බහුනා අප පරත්‍ථෙන = බොහෝ වූ ද පරාර්‍ත්‍ථයන් නිසා.
අත්තදත්‍ථං න හාපයෙ = ආත්මාර්‍ත්‍ථය, තමන් පිළිබඳ කටයුතු නො පිරිහෙළන්නේ ය.
පරාර්‍ත්‍ථය බොහෝ ය යි තමන්ගේ කටයුතු නො පිරිහෙළිය යුතු ය. ගිහි තෙමේ වනාහි තුට්ටුවක් තරම් වූ තමන්ගේ ලාභය දහසක් තරම් වූ අන්හු පිළිබඳ ලාභය නිසා නො පිරිහෙළන්නේ ය. නො ද අත්හරින්න්නේ ය. ස්වල්ප මාත්‍ර වූ තමන්ගේ ලාභය ම උසස් කොට ගන්නේ ය. ආත්මාර්‍ත්‍ථය සලකා ම කෑ යුතු දෑත් විඳිය යුතු දෑත් සපයන්නේ ය. පරමාර්‍ත්‍ථය සලකා නො ද සපයන්නේ ය.
මේ මෙහි වදාරණ ලද්දේ කමටහන් මුඛයෙනි. එ බැවින් ආත්මාර්‍ත්‍ථ නම්, අර්‍හත්ඵලය යි. එය ලබන්නට වෑයම් කරන මහණහු විසින් ද “මම අත්වැඩ කරනෙම් වෙම් දැ” යි භික්‍ෂු සංඝයා උදෙසා උපන් චෛත්‍යය ප්‍රතිසංස්කරණාදිය හා ආචාර්‍ය්‍යය වත් උපාධ්‍යාය වත් ආගන්තුක වත් ආදිය ද නො හළ යුතු ය. මාර්‍ගඵල ප්‍රතිවේධයෙහි පොහොසත් වනුයේ අභිසමාචාරික වත් පුරණ මහණ තෙමේ ම ය. ඒ හෙයින් අභිසමාචාරය පිණිස පණවා වදාළ කුදු මහත් ශික්‍ෂාපදයන්ගෙන් කියවෙන ආචාර්‍ය්‍යොපාද්ධ්‍යායා දි වූ වත් පිරීමත් ආත්මාර්‍ත්‍ථය ම වන්නේ ය. යම් මහණෙක් තදින් වඩා ගත් විදර්‍ශනා ඇති ව “අද අද ම රහත් පලය පසක් කරන්නෙමි” යි ප්‍රතිවේධය පතමින් ද, අද හෙට ම අධිගමය වන්නේ ය” යි සිතන ඒ මහණහු විසින් ආචාර්‍ය්‍යොපාද්ධ්‍යායාදී වූ වත් පිරිහෙළා වුව ද තමන්ගේ කට යුතු ය යි කියූ නාමරූපධර්‍ම අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්‍ෂණයට නගා මෙනෙහි කිරීම නම් වූ විදර්‍ශනා භාවනාව ඉදිරියෙහි වහ වහා වැඩිය යුතු ය.
අත්තදත්‍ථං අභිඤ්ඤාය = ආත්මාර්‍ත්‍ථය මැනවින් දැන. වෙසෙසා දැන මෙය මාගේ වැඩැ යි සලකා.
සදත්‍ථපසුතො සියා = ස්වාරථයෙහි යෙදුනෙක් වන්නේ ය.
අර්‍හත් ඵලාධිගමය තමාගේ වැඩැයි සලකා ඒ පිණිස වූ එයට හිත වූ විදර්‍ශනා භාවනාවෙහි යෙදුනෙක් වන්නේ ය. යෙදිය යුතු ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ ස්ථවිර තෙමේ රහත් වුයේ ය. එහි පැමිණ සිටි භික්‍ෂූන් වහන්සේලාට ද ධර්‍මදේශනාව වැඩ සහිත වූ ය.
අත්තදත්තස්ථවිර වස්තුව නිමි.