සුකරානි අසාධූනි අත්තනො අහිතානි ච
යං වෙ හිතඤ්ච සාධුං ච තං වෙ පරමදුක්කරං.
යම් කර්‍ම කෙනෙක් සාවද්‍ය හෙයින් අසාධු ද, (අපාය සාධක බැවින්) තමහට අහිත ද, එසේ වූ (අකුශල) කර්‍මයෝ (වළ තැනට ගෙණ යන දිය සෙයින්) සුව සේ කටහැක්කාහු ය. යම් කර්‍මයෙක් කරණ ලද්දේ (සුගතිසාධක බැවින්) තමහට හිත ද, (නිරවද්‍ය බැවින්) සාධු ද, ඒ (කුශල) කර්‍මය (පැදුම් දෙසට නතු වූ ගඟක් පෙරළා පැළ දෙසට නතු කරණු සෙසින්) අතිදුෂ්කර යි (කරන්නට ඉතා ම නො පිළිවනි).
ආනන්ද ස්ථවිරයන් වහන්සේ දවසෙක පිඩු සිඟා නුවරට වැඩි සේක. දෙව්දත්, උන්වහන්සේ දැක, තමන් සඞ්ඝයා බිඳ හරිනබව දැන් වී ය. ආනන්ද ස්ථවිරයන් වහන්සේ පිඩු සිඟා පෙරළා අවුත් බුදුරජුන් වෙත ගොස් වැඳ “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! මම මේ පෙරවරුයෙහි රජගහ නුවරට පිඬු සිඟා ගියෙමි. එහි දී දෙව්දත්, මා වෙත අවුත් “ඇවැත! ආනන්ද ස්ථවිරතුමනි! පොඩ්ඩක් නවතින්න මම අද පටන් බුදුන්ගෙන් වෙන් ව සඞ්ඝයා හැර දමා පොහොය කරන්නෙමි. සඞ්ඝ කර්‍ම කරන්නෙමි. එබව දැනගන්නැ යි කී ය. ස්වාමීනි! දෙව්දත් අද සඞ්ඝයා බිඳින්නේ ය. වෙන් ව පොහොය හා සඞ්ඝකර්‍ම කරන්නේ ය” යි දන්වා සිටියහ. එකල්හි බුදුරජාණන් වහන්සේ;
“සුදනට මනාකම් - සුවසේ කරණු හැක්කේ,
යහකම් පවිටු දනහට - නො කළැකිය (මේ ලෙව්හි),
පවිටහුට පකම් - සුවසේ කරණු හැක්කේ,
සුදනහු විසින් පව්කම් - නො කළැකිය (කිසිලෙසකින්)”
යි උදන් අනා “ආනන්ද! තමාට අවැඩ කර ගැනීම අපහසු නැත. අපහසු හිතවැඩක් කර ගැණීමැ යි” වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
සුකරානි අසාධූනි අත්තනො අහිතානි ච,
යං වෙ හිතං ච සාධුං ච තං වෙ පරමදුක්කරන්ති.
අයහපත් දෙය ද තමහට අහිත දෙය ද සුවසේ කට හැකි ය. යමක් හිත ද යාපත් ද එය ඒකාන්තයෙන් දුෂ්කර ය.
සුකරානි අසාධූනි අත්තනො අහිතානි ච = අයහපත් දෙය, තමාට අහිත දෙය කිරීම පහසු ය.
යම් කර්‍මයෙක් වරද සහිත නම්, මෙ ලොව දී ම තැළුම් පෙළුම් බැදුම් මැරුම් ඈ කම්කටොලු වලට පමුණුවා නම්, එ බඳු අසත්කර්‍ම අසාධු නම් වේ. යම් කර්‍මයෙක් කරණ ලද්දේ සිවු අපායයට පමුණුවා නම්, ඒ කර්‍ම අහිත වේ. මේ අසාධූ-අහිත කර්‍ම, පහත් තැනට දිය ගෙණ යෑම පහසුවෙන් ලෙහෙසියෙන් කළ හැක්කා සේ සුවසේ කට හැකි ය. සතුන් මැරීම් ඈ පව්කම් මෙ ලොව අයසටත් පරලොව දුකටත් හේතු ය. එහෙයින් ඒ පව්කම් අසාධු ය. අහිත ය. ලෙහෙසියෙන් කළ හැකි ය.
වැඩීමට යන්නේ හිත නම්. “ හිනොති වුද්ධිං ගච්ඡතීති = හිතං” යනු අරුත් පැවසිම ය. හිත නො වන්නේ අහිත නම්.
යං වෙ හිතං ච සාධුං ච තං වෙ පරමදුක්කරං = යමක් හිත ද යාපත් ද එය එකාන්තයෙන් කිරීම ඉතා අපහසු ය.
එ ලොව මෙ ලොව දෙක්හි සත්නට හිත වන්නේත් යාපත් වත් පින්කම් ය. සත්ත්‍ව තෙමේ පින් නිසා ම කීර්තිමත් ද ආයුෂ්මත් ද දිප්තිමත් ද සුවපත් ද බලවත් ද ප්‍රඥාවත් ද රූපවත් ද ධනවත් ද කුලවත් ද වන්නේ ය. ලෞකික වශයෙන් ලැබිය හැකි හැම සැපතකින් ම සුඛිත මුදිත වන්නේ ය. පරලොව දෙව් සැපතින් ප්‍රීති වන්නේ ය. අවසන්හි පින් කරණ කොට කෙලෙස් නසා පරම සැප වූ නිවන් සැපතින් සැපවත් වන්නේ ය. පිණෙන් නො ලැබිය හැක්කක් නැත්තේ ය. හැම සැපතක් ම දෙන්නේ පිණ ය. එහෙයින් එබඳු හිත පින්කම් යහපත් පින්කම් කරණු පහසු නැත. පිණ හැම එකකට ම වඩා හිත බැවින් යාපත් බැවින් එය පරම දුෂ්කර යි වදාළ සේක. යටිගං බලා යන ගඟක් උඩුගං බලා යන්නට හැරවීම, නතු කිරීම පහසු නො වේ. ඒ කළ හැක්කෙක් නො වේ. සග පවග සැප දෙන පින්කම් කිරීම එයට වඩා අපහසු ය.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියහ.
සඞ්ඝභේදපරිසක්කන වස්තුව නිමි.