12-6 දේවදත්ත ස්ථවිරයන් වහන්සේ

යස්ස අච්චන්තදුස්සීල්‍යං මාලුවා සාලමිවොතතං

කරොති සො තථත්තානං යථා නං ඉච්ඡතී දිසො.

යමක්හුගේ ඒකාන්ත දුශ්ශීලභාවය, සල්රුකක් වැලැඳ ගෙන සිටි මාලුවා වැලක් මෙන්, ඒ දුග්ශීලයා වැලැඳ ගෙණ සිටියේ වේ ද, එක්තරා එකක්හුගේ සතුරෙක් ඒ තමාගේ සතුරාට යම්සේ අනර්‍ත්‍ථයක් කොට පියනු කැමැති වේ ද, ඒ දුශ්ශීල පුද්ගල ද තමහට එසේ ම අනර්‍ත්‍ථ කරන්නේ ය.

දෙවදත්ත තෙමේ පරමදුශ්ශීලයෙක, පව්කාරයෙක, පව් කිරීමෙන් වැඩුනු තෘෂ්ණාවෙන් අජාසත් රජ පහදවා ගත්තේ ය. ඒ මගින් ඔහුට නොයෙක් ලාභසත්කාර ලැබින, පියා මැරීමට අජාසත් මෙහෙය වී ය. ඔහු හා එක් ව බුදුරජුන් මැරීමට නො යෙක් උපක්‍රම යෙදී ය” යි දවසෙක භික්‍ෂූන් වහන්සේලා ධර්‍මශාලාවට රැස් වී කතා කරමින් හුන්හ. ඒ අතර බුදුරජානන් වහන්සේ එහි වැඩි සේක. “තමුසේලා කතා කරන්නහු කුමක් ගැණ දැ?” යි අසා “තමුසේලා කුමක් කියහු, දේවදත්ත ඔබඳු වැඩ කරන්නේ දැන් පමණක් ද? පෙරත් ඔහු මා මරන්නට නොයෙක් ලෙසින් උපක්‍රම යෙදී ය” යි වදාරා කුරුඞ්ගමිගජාතකය දෙසූ සේක. නැවත උන්වහන්සේ “මහණෙනි! දුසිල්කම් නිසා උපන් තෘෂ්ණා තොමෝ ඒ දුසිල්, මාළුවාවැල ගසක් වෙළා ගන්නා සේ හැම ලෙසකින් වෙළා ගෙණ සිවු අපායයෙහි හෙලා ය” යි දක්වන්නට මේ ධර්‍මදේශනාව කළ සේක.

යස්ස අච්චන්තදුස්සීල්‍යං මාළුවා සාලමිවොත්‍ථතං,

කරොති සො තථත්තානං යථා නං ඉච්ඡතී දිසොති.

යමකු පිළිබඳ එකාන්ත දුශ්ශීලභාවය ගසක් වෙළා ගත් මාළුවා වැල සේ දුසිල් පුඟුලා වැළඳ සිටියේ වේ ද, ඒ දුසිල් පුඟුල් තෙමේ, සතුරෙක් තම සතුරාට යම් සේ අවැඩ කරනු කැමැති වේ ද, එසේ තමාට අවැඩ කරන්නේ ය.

යස්ස අච්චන්තදුස්සීල්‍යං = යමකුගේ ඒකාන්ත දුශ්ශීලභාව ය.

උපන් දා සිට දස අකුසල් කරමින් කල් යවන ගිහියාත්, උපසපන් වූ දා සිට ගරු ඇවතුන්ට පැමිණි මහණත් අත්‍යන්තදුශ්ශීලයෝ ය. මෙහි ලා දෙ තුන් අත් බවෙක දුශ්ශීල වූයේ ම දුශ්ශීල යි ගණු ලැබේ. එසේ ආත්ම භාව කිහිපයක පටන් දුශ්ශීල වූවහුගේ දුශ්ශීලභාවය අත්‍යන්තදුශ්ශීලභාව ය යි කියන ලද්දේ ය. දුශ්ශීල භාව නම්, දුශ්ශීලයාගේ ඇස් - කන් - නාස් ඈ සදොර නිසා උපන් දුසිල්කම් ය.

සතුන් මැරීම, හොරකම් කිරීම, අනුන්ට අයත් ගැහැණුන් හා එක්වීම, බොරු කීම, කේලාම් කීම, පරොස්බස් බිණුම, වැඩකට නැති බස් බිණුම, නපුරු ලෝබකම, වනස් සිතිවිලි, මිසදිටුව යන අකුසල්, කර්‍මපථ බවට පැමිණීමෙන් ගිහියා දුශ්ශීල වේ.

සතුන් මැරීමෙහි ලා උපදින චේතනාව ප්‍රාණඝාත අකුසලකර්‍ම නම්. ඒ චේතනා ශක්තියෙන් සාහත්ථිකාදී වූ කවර ප්‍රයෝගයක් හෝ කොට සතකු මැරූ කල්හි එය කර්‍මපථභාවයට යන්නේ ය. සතුන් මැරීම් ඈ අකුසල් කර්‍මපථභාවයට යන්නේ ද මේ ලෙසිනි.

පැවිද්දාගේ දුසිල්බවට කරුණු වන්නේ ගරුකාපත්තීහු ය. සුක්කවිසට්ඨි - කායසංගග්ග - දුට්ඨුල්ලවාචා - අත්තකාමපාරිචරියා - සඤ්චරිත්ත - කුටිකාරක - මහල්ලක - දුට්ඨදොස - දුතියදුට්ඨදොස - සඞ්ඝභෙද - දුතියසඞ්ඝභෙද - දුබ්බව - කුලදූසන යන මේ ය ගරුකාපත්ති. ගණන් විසින් තෙළෙසෙකි. සඞ්ග්‍රහය මෙසේ ය.

“විසට්ඨි කායසංසග්ගං දුට්ඨුල්ලං අත්තකාමං ච,

සඤ්චරිත්තං කුටීචෙව විහාරො ච අමූලකං,

දුබ්බවං කුලදූසඤ්ච සඞ්ඝාදිසෙසා තෙරස”

සුක්කවිසට්ඨි = ශුක්ල මුදනු කැමැති සිත් ඇති යම් මහණෙක් ස්වකීය අඞ්ගජාතය සිය සිරුර පිළිබඳ අවයවයෙක හෝ ඉන් බැහැර අන් යමක හෝ ගටා සුකුරු මුදා හැරියේ නම්, ඒ මහණහුගේ එසේ සුකුරු මුදා හැරීම ය සුක්කවිසට්ඨි. සිහිනෙන් සුකුරු මිදීම ඇවැත් නො වේ. කෙස් - ලොම් - නිය - දත් - මල - මූ - කෙල - සොටු - වියලි සම් යන මේ තැන් හැර සිරුප පැතිර සිටි සුකුරු, කුඩා මැස්සකු බොන පමණකුත් ගිලිහී යෑම, මේ ඇවතට පමණ ය.

කායසංගග්ග = මිනිස් ගෑණියක යන අදහසින් තම සිරුරෙන් මිනිස් ගෑණියකගේ සිරුර ගටා, ඉන් ලැබෙන පහස කැමැත්තෙන්, ඇයගේ අත් පා ඈ කුදු මහත් සිරුරු අවයව අතගෑමය කායසංසග්ග. කායසංසර්‍ගරාගයෙන් යටත් පිරිසෙයින් ගැහැණියක ලෝමයක් පමණකුත්, තමන්ගේ සිරුර ලෝමකින් පහසන්නේ නම්, මේ ආපත්තිය සිදු වේ. තව ද සෙවුමෙහි අදහස් ඇති ව ගැහැණියකගෙන් ලත් පහස ඕනෑකමින් ඉවසීම ද මේ ඇවැතට පමණ ය.

දුට්ඨුල්ලවාචා = නො සැබි කතාවන්හි යෙදීමෙන් එහි රස විඳීමට ගෑණියක යන කල්පනාවෙන්, ගෑණියකගේ මලමාර්‍ග-මුත්‍රමාර්‍ග දෙකට ස්තුති කිරීම් නින්දා කිරීම් විසින්, “එව මෙවුන්දම් සෙවුමට, දෙව මට මෙවුන්දම් සෙවුම” යන ඈ ලෙසින්, මෙවුන්දම් සෙවුම් ඈ ඉල්ලීම් විසින්, යටත් පිරිසෙයින් අතින් ආකාර දැක්වීම් පමණකින්, සැබි-නො සැබි බස් තෝරා ගැනීමෙහි සමත් ගෑණියකට නො සැබි බස් බිණුම ය දුට්ඨුල්ලවාචා.

අත්තකාමපාරිචරියා = යම් ගෑණියක කෙරෙහි, තමාට මෙවුන්දමින් උවැටන් කිරීමෙහි, අනුසස් කියා පෑමය අත්තකාමපාරිචරියා. මහණහු කියන ඒ අනුසස් කතාව ඒ ගෑණියට වැටහීම් පමණින් මේ ඇවැත සිදු වේ.

සංචරිත්ත = අඹු සැමියන් වීමෙහි කැමැති ගෑණුන්ගේ හා පිරිමින්ගේ පණිවිඩ පිළිගැණිම, විමසීම, නැවත ගෙණ ඊම ඈ විසින් පිරිමියාගේ අදහස් ගැණියටත්, ගෑණියගේ අදහස් පිරිමියාටත් ගෙණ ගොස්, ගෙණ අවුත් කියා පෑම ය සංචරිත්ත. මිත්‍ථ්‍යාචාර වශයෙන් එකෙණෙහි හැසිරෙණු කැමැති ගෑණියකට පිරිමියාගේ පණිවිඩ කීම ද මේ ඇවතට පමණ ය.

කුටිකාර = තමන් ඉල්ලා ගත්, පොරෝ උදලු ආදියෙන්, තමන් උදෙසා කිළියක් කරවීමෙහි දී, එය විනයයෙහි කී ලෙසින් ප්‍රමාණවත් කොට කර විය යුතු ය. භික්‍ෂූන් ලවා කුටිවත් දේශනා කර විය යුතු ය. ප්‍රමාණවත් නො කොට කුටිවත් නො දෙසවා, තමන් ඉල්ලා ගත් උපකරණයන්ගෙන් තමන් උදෙසා කිළි කිරීම ය කුටිකාර.

මහල්ලක විහාර = කිළිය කරවා දෙන්නකු ඇති කල්හි, තමන් උදෙසා මහා විහාරයක් කරවීමෙහි දී විහාරවාස්තුව දේශනා කරවිය යුතු ය. එසේ දේශනා කරවා උවදුරු රහිත උපචාර සහිත විහාරවාස්තුවෙහි කිළිය කර විය යුතු ය. එසේ නො කොට උවදුරු සහිත උපචාර රහිත විහාර භූමියෙහි මහා විහාරයක් කරවීම ය මහල්ලක විහාර.

දුට්ඨදොස = කිපියා වූ මහණෙක්, මුල්රහිත වූ පරිජි ඇවැතකින්, පිරිසිදු වූ හෝ අපිරිසිදු වූ අන් මහණකුහට, සසුනෙන් බැහැර කරණු කැමැති සිතින් පාරාජිකාවට පැමිණියහු ය යි චෝදනා කෙරේ ද, ඒ මහණ, තෙමේත් ඒ දෝෂය පිළිගණී ද ආපත්තාධිකරණයත් මුල්රහිත ද එකල්හි ඔහුට වන්නේ ය දුට්ඨදෝස.

දුතියදුට්ඨදොස = ජාතිගෝත්‍රාදී දශලේශයන් අතුරෙහි එක්තරා ලේශයක් ඉදිරිපත් කොට මහණකු සසුනෙන් බැහැර කරණු කැමැති සිතින්, අන්තිම වස්තුවකින් චෝදනා කරණ කල්හි වන්නේ ය දුතියදුට්ඨදෝස.

සඞ්ඝභෙද = සඞ්ඝභේදයෙහි උත්සාහවත් ව ඒ පිණිස භේද කර වස්තූන් දැඩි ව ගෙණ ක්‍රියා කරන්නා වූ මහණහුට, අන් මහණුන් විසින් එහි වරද කිය යුතු ය. එහෙත් ඒ මහණ, එහි දැඩි ව සිටී නම්, තෙ වරක් ම ඔහුට ඒ හැර දමන්නට මැනවින් කරුණු කිය යුතු ය. අවවාද කළ යුතු ය. සමනුභාෂණයාගේ තෙ වන වර අවසානයෙහිත් ඒ මහණ එසේ ම සිටි කල වන්නේ ය සඞ්ඝභේද.

දුතියසඞ්ඝභෙද - සඞ්ඝභේදයට උත්සාහ කරන්නා වූ මහණහුට අනු ව පවත්නා වූ අන් මහණෝ වෙත් නම්, ඔවුන්ට සඞ්ඝභේදයෙහි වරද කියා අවවාද කළ යුතු ය. අවවාදක්‍ෂම නො වෙත් නම්, තෙ වරක් ම මොනවට කරුණු කිය යුතු ය. තෙවන වර අවසානයෙහිත් සඞ්ඝභේදක භික්‍ෂුවට ම ඔවුන් අනුව පවත්නා කල වන්නේ ය දුතියසඞ්ඝභේද.

දුබ්බව = කීකරු නො වූ යම් මහණෙක් ප්‍රාතිමෝක්‍ෂයට අයත් ශික්‍ෂාපද විෂයයෙහි (ශික්‍ෂාපදයකින්) තමා නො කිය යුත්තක් කෙරේ නම්, ඔහුට තෙ වරක් ම අවවාද කළ යුත්තේ ය. තෙවන වර අවසානයෙහි ද එසේ ම සිටි කල වන්නේ ය දුබ්බව.

කුලදූසක - කුලයන්ගේ ශ්‍රද්ධාව නසන්නා වූ පහත් පැවතුම් ඇති යම් මහණෙක් වේ නම්, ඔහු එයින් මුදාලනු පිණිස තෙවරක් ම අවවාද කළ කළ යුතු ය. අවවාදයෙහි තෙවන වර අවසන්වත් ම ඔහු එසේ සිටියේ නම්, වන්නේ ය කුලදුසක.

මෙයින් එක්තරා ඇවැතකට පැමිණි මහණහු විසින් මෙයින් පිරිසිදු වීමට මුල-මැද-අග යන තුන් තන්හි ම සඞ්ඝයා වහන්සේ (සඞ්ඝයාවහන්සේගේ පිහිට) ලැබිය යුතු ය. මෙහි පිරිසිදු බව පිණිස පිළිවෙළින් පරිවාස - මානත්ත - අබ්භාන යන කර්‍ම තුන සඞ්ඝයා ලවා කරවා ගත යුතු ය. එහෙයින් මේ තෙළෙස සඞ්ඝාදිසෙසාපත්ති යි කියනු ලැබේ. සඞ්ඝයා ලවා මේ කර්‍ම කරවා ගෙණ මෙයින් නැගී සිටිය යුතු බැවින් මේ ආපත්තිගණය වුට්ඨානගාමිනී යි කියනු ලැබේ. මෙයින් එක්තරා එකකට පැමිණීම බලවත් වරදක් සේ ගැණෙන බැවින් ගරුකාපත්ති යි කියනු ලැබේ. විස්තර විනයයෙන් දන්නේ ය. ගිහි පැවිදි දෙපස පිළිබඳ දුසිල්බව පිළි‍වෙළින් අත්බව් දෙකෙක තුනෙක පටන් ආයේ අත්‍යන්තදුශ්ශීලබව යි ගැණේ.

මාළුවාසාලමිවොත්‍ථතං = ගසක් (වැලඳ සිටි) මාළුවා වැලක් සේ (ඔහු) වැලඳ සිටියේ වේ ද.

‘අච්චන්තදුස්සීල්‍යං’ යන්නට විශේෂණ වේ. එහෙයින් වැලඳ සිටි අත්‍යන්තදුශ්ශීලභාවැ යි කියූව ද වරද නැත. ‘ඔත්‍ථටං’ යන්න ‘ඔතතං’ යි බොහෝ පොත්හි ආයේ ය. විමසා ගන්න.

සාල යනු, සල් රුකෙහි වඩා ප්‍රසිද්ධ ය. එහෙයින් ව්‍යාඛ්‍යානයෝ ‘සාලං’ යනු සල්රුකැ යි ගත්හ. සාල ශබ්දය විශේෂයක් නො තබා හැම වෘක්‍ෂයෙක ම හෙන්නේ ය. මාළුවා වැලෙන් වැසුනු මාළුවා වැල වැලඳ ගත් ගස, වැසි දවසෙහි මාළුවාවැලෙහි බොකුපත් දියෙන් පිරී බර වීමෙන් බිඳ වැටෙන්නේ ය. මෙහි සාල, යනු සල්රුකැ යි අරුත් දීම යුක්තියුක්ත නො වේ. “සෙය්‍යථාපි භික්ඛවෙ! ගාමස්ස වා නිගමස්ස වා අවිදූරෙ මහන්තං සාලවනං තං වස්ස එරණ්ඩෙහි සඤ්ඡන්නං අන්තරෙන යමකසාලානං” යන මෙහි සල්රුක්හි ආයේ ය. “අථ ඛො තං භික්ඛවෙ! මාළුවාබීජං අඤ්ඤතරස්මිං සාලමූලෙ නිපතෙය්‍ය” යන මෙහි වෘක්‍ෂයෙහි ආයේ ය. “තචෙව දෙව! විජිතෙ තවෙවුර්‍ය්‍යායන භූමියා උජුවංසා මහාසාලා නිලොභාසා මනොරමා” යන මෙහි වන දෙටුරුකෙහි ආයේ ය. “සාලරුක්ඛෙ ජෙට්ඨ රුක්ඛෙ යස්මිං කිස්මිං චි පාදපෙ” යන මෙයින් සාල ශබ්දය හෙන තැන් වඩාත් පැහැදිලි ය.

‘ඔත්‍ථතං’ යන මෙහි ‘අව + එත’ යනු පදච්ඡේද යි. ‘අව’ යන උපසර්‍ගය මෙහි සිටියේ පැතිර ගැනීම් අරුතෙහි ය. එහෙයින් මුළු මනින් පැතිර ගැනීම, වසා ගැන්ම, වැළඳ ගැන්ම මෙයින් කිය වේ. දුසිල්කම්හි හා මාළුවාවැලෙහි සාධර්‍මය කියා පාන්නේ මෙහි වූ ‘ ඉව’ යන යන නිපාතයනි. දුසිල්බව දුසිල්හු නසන්නා සේ මාළුවාවැල තමන් විසින් වැලඳුනු රුක නසා ය යනු එයින් පැහැදිලි වේ.

කරොති සො තථත්තානං යථා නං ඉච්චති දිසො = සතුරෙක් ඒ තම සතුරාට අවැඩක් කරණු කැමැත්තේ යම් සේ ද, එසේ ඒ දුසිල් තෙමේ තමාහට අවැඩ කරන්නේ ය.

තමන්ගේ දුසිල්බව මෙසේ තමන් නසන බැවින් තෙමේ තමාහට සතුරකු වැනි ය. සතුරා තම සතුරාට අවැඩ කරන්නා සේ දුශ්ශීල පුද්ගල තෙමේ තමාට අවැඩ කරන්නේ ය, යි වදාළේ එහෙයිනි.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියාහු ය.

දේවදත්තස්ථවිර වස්තුව නිමි.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.