අට්ඨීනං නගරං කතං මංසලොහිතලෙපනං
යත්‍ථ ජරා ච මච්චු ච මානො මක්ඛො ච ඔහිතො.
යම් තැනෙක්හි ස්කන්‍ධපරිපාකලක්‍ෂණ වූ ජරා ද, ස්කන්‍ධභේදලක්‍ෂණ වූ මරණ ද, නවවිධ මානය ද, (මෙරමා කළ උපකාර මැකීම ලකුණු කොටැති) මකු කෙලෙස් ද පිහිටුවන ලද ද, එහි මසින් හා ලෙහෙයෙන් ගල්වන ලද නුවරක් (නොහොත් කොටුගෙයක්) ඈටින් කරණ ලදී. (තුන් සියයක් ඇට පිහිටුවා නව සියයක් නහරවැලින් වෙළා කරණ ලදී).
එක් දවසක් රූපනන්දාවෝ “මාගේ වැඩි මහලු සොහොයුරු තෙමේ, සියලු රජසිරි හැර පැවිදි ව බුදුබව ලබා ලෝකයෙහි අග්‍ර පුද්ගල විය, ඔහු පුත් රාහුලයෝත් පැවිදි වූහ. මා හිමිපුත් තෙමේ ද කිසිත් නො බලා පැවිදි විය. මෑණියන්දෑත් පැවිදි වූහ. මෙතෙක් නෑයන් පැවිදි ව සිටිය දී මම මෙහි ඉඳ කුම් කෙරෙම් ද, මමත් පැවිදි වන්නෙමි” යි සිතා මෙහෙණ අසපුවකට ගොස් පැවිදි වූහ. පැවිදි වූවෝ ද ස්නේහයෙන් මුත් ඇදහිලි ඇති ව නො වූහ. ඕ එ දවස එහි විසූ රූසපුවෙන් යුත් එක ම කාන්තාව වූවා, රූපනන්දා යි ප්‍රසිද්ධ වූ ය. ඕ තොමෝ “බුදුරජානන් වහස් රූපය නිත්‍ය නො වේය, දුකින් ගැවසුනේ ය, ආත්මයෙන් තොර ව සිටියේ ය. වේදනා - සංඥා - සංස්කාර - විඥානයෝ අනිත්‍යයහ, දුඃඛයහ, ආත්මරහිතයහ යි කියන සේක. මෙබඳු දැකුම්කලු දුටුවන් නෙත් සිත් පහදවන මාගේ සිරුරෙහි දොස් කියති” යි බුදුරජුන් ඉදිරියට යන්නට අකැමැති වූවා ය.
සැවැත් නුවර වැස්සෝ ඉතා උදෑසන සුදු පැහැති රෙදි උරමා කොට පොරවා පෙහෙව දන් දෙති. සවස් කාලයෙහි වට්ටි පැස් පුරවා සුවඳ මල් රැගෙණ දෙව්රම් වෙහෙරට ගොස් බුදුරජුන් වැඳ මල් පුදා බණමඩුවට ගොස් බණ අසති. ඔවුහු පෙරළා ගෙවලට යන්නෝ බුදුරජුන්ගේ මහත්කම ගැණ කියමින් යෙති. සිවු කොටසකට බෙදෙන මේ ලෝකීය ජනයා අතර යම් කෙනකුට බුදුරජුන් දැක ප්‍රසාදයක් නූපදනේ නම් එබන්දෝ ම ඉතා ටික දෙනෙක් වෙති. පහදින්නෝ ම බොහෝ වෙති. රූපය දැක පහදින්නෝ ද බුදුරජුන්ගේ ලක්‍ෂණානුව්‍යඤජනප්‍රතිමණ්ඩිත වූ ස්වර්‍ණ වර්‍ණ ශරීරය දැක පහදිත්. ශබ්දයට පහදින්නෝ ද කෙළ ගණන් අත්බැව් නිසා පැවැති බුදුරජුන්ගේ ගුණඝෝෂයත්, අෂ්ඨාංගසමන්වාගත ධර්‍මදේශනා ඝෝෂයත් අසා පහදිත්. කටුක පිළිවෙතට පහදින්නෝ ද සිවුරු ආදියෙහි රැළු බව නිසා බුදුරජුන්ට ම පහදිත්. ගුණයට පහදිනෝ ද “බුදුරජුන් පිළිබඳ ශීලය මෙබඳු ය, සමාධිය මෙබඳු ය, ප්‍රඥාව මෙ බඳු ය. භාග්‍යවත් තෙමේ ශීලාදිගුණයන්ගෙන් අසම ය, අප්‍රතිපුද්ගල ය” යි බුදුරජුන්ට ම පහදිත්. මෙසේ බුදුගුණ කියන්නා වූ ඔවුන්ගේ මුව එහි ලා අසමත් වේ.
රූපනන්දා ද, මෙහණන් හා උවැසියන් හා මුව නො පොහොනා ලෙසින් කියන බුදුගුණකතාව අසා, “මොවුහු හැම දෙන ම මා සොහොයුරුගේ ගුණය ම උසස් ලෙසින් කියා පාති. වේවා, මම ද දවසෙක එහි යන්නෙමි. එක් දවසක් ම මාගේ රූපයෙහි දොස් කියනු ඇත. එයට කම් නැත. දවසක් කියන දොස ඒ තරම් ලොකු විය නො හැක. වේවා, යන්නෙමි, මෙහෙණක හා එක් ව යන්නෙමි. ගොස් මට බුදුරජුන් පෙණෙන ලෙසට, බුදුරජුන්ට මා නො පෙණෙන ලෙසට හිඳ බණ අසන්නෙමි” යි සිතා “මමත් අද බණ අසන්නට යමි” යි මෙහෙණන්ට දැන් වූ ය. එකල්හි මෙහෙණෝ “පුදුමයෙක්, බොහෝ කලකින් රූපනන්දාවටත් බුදුරජුන් දක්නට සිත් වී තිබේ. මෙබඳු සිතෙක් උපන්නේ කුමක් නිසා ද, බුදුරජානන් වහන්සේ මෑ නිසා කෙබඳු බණක් වදාරණ සේක් දයි සිතූහ.
රූපනන්දා, මෙහෙණන් හා බණ අසන්නට විහාරයට ගියා ය. ඒ වේලෙහි රූපනන්දා එනු දුටු බුදුරජානන් වහන්සේ “මා, වැට කෙබඳු බණක් දෙසිය යුතු ද, මෑ සිත් ගන්නේ කෙබඳු බණෙක් ද, මෝ රූපගරුක ය, රූලකුණින් මත් ව සිටි යි, ආත්මස්නේහය බලවත් ය. කටුවෙන් කටුව උදුරන්නා සේ රූපයෙන් ම මෑ පිළිබඳ රූපමද ය, සිඳ හැරිය යුතු ය, මැට සුදුසු රූපමදය බිඳ වැටෙන බණකැ” යි සිතා සෑ විහාරයට ඇතුල්වත් ම සොළොසැවිරිදි තරම් ඇති රූ ලකුණෙන් සිත් ගන්නා ගෑණු රූපයක් මවා පෑ සේක. ඒ මවා පෑ ගෑණු රූපය රතු පැහැති සළුවක් ඇඳ, මුතු මැණික් ඈ වටිනා අබරණින් සැරසී තල් අත්තක් අතට ගෙණ බුදුරජුන්ට පවන් සලමින් බුදුරජුන් ඉදිරියෙහි සිටියා ය. ඒ ස්ත්‍රී රූපය බුදුරජුන්ට හා රූපනන්දාවට මුත් අන් කිසිවකුට නො පෙනෙන්නේ ය. රූපනන්දා තොමෝ මෙහෙණන් සමග විහාරයට ඇතුල් වී, උන්ගේ පිටි පස සිට, පසඟ පිහිටුවා වැඳ, එහිම හිඳ, මාපට ඇඟිල්ල පටන් බුදුරජුන් බලන්නී, හැම ලකුණෙන් විසිතුරු වූ දීප්තිමත් වූ ව්‍යාමප්‍රභායෙන් වට වූ බුදුරජුන්ගේ සිරුර බලා නැවත පුන්සඳසිරි පරයා බබලන මුහුණ දෙස බැලු ය.
ඒ වේලෙහි බුදුරජුන් ඉදිරියෙහි වූ ස්ත්‍රීරූපය දැක “තමන් ස්වර්‍ණරාජහංසියක ඉදිරියෙහි සිටි කැවිඩියක සේ” යි සිතූ ය. ඒ දැක රූපනන්දාවගේ දෙ ඇස බමන්නට විය. “කෙස් කළඹ නළල දත් ඇට මූණ දෙතොල නැහැය කොතරම් සිත් ගන්නා සුලු දැ” යි සිතන්නා වූ රූපනන්දාව ඒ සිරුරෙහි ස්නේහ කළා ය. . ඉක්බිති බුදුරජානන් වහන්සේ රූපනන්දාවගේ සිත එහි ඇදී ගියබව දැන බණ වදාරණ සේක් නිර්මිත රූපය, ඒ සොළොසැවිරිදි බව ඉක්මවා විසිහැවිරිදි බවට පත් වූවක් කොට දැක්වූ සේක. “මේ රූපය දැන් පළමු තුබූ පරිදි නො වේ” යි රුපනන්දා ඒ ඇසිල්ලෙහි ම එයට කළ ස්නේහය මදක් හැරපූ ය. බුදුරජානන් වහන්සේ ද පිළිවෙළින් ඒ වේලෙහි ම ඒ රූපය වරක් වැදු තැනැත්තියක කොට, මැදියම් වයසෙහි සිටි තැනැත්තියක කොට, දිරුම් කඩට ගිය මැහැල්ලක කොට දැක් වූහ. රූපනන්දා ඒ රූපය පිළිවෙළින් වෙනස් ව ගොස් මැහැල්ලක බවට පැමිණි වේලෙහි වැටුනු දත් ඇති ඉදුනු කෙස් ඇති, මැදින් නැමී සිටි ගොණැස්සක් සේ වක ගැසුනු සැරයටියක් අතින් ගත් හැමතකින් වෙවුලන ඒ ස්ත්‍රිය දැක එහි කළ ස්නේහය මුළුමනින් හැරපූ ය. නැවත බුදුරජානන් වහන්සේ එය ලෙඩෙන් වැඩුනක් කොට දැක්වූහ. ඒ වේලෙහි ඒ නිර්මිත රූපය අත තුබූ සැරයටිය හා තල් අත්ත බිම හෙලා මල මූ වගුරමින් මහ හඬ නගමින් බිම වැටී මල මූ දෙක්හි ගැලී දඟලන්නට විය.
රූපනන්දා මේ දැක වඩාත් කලකිරුණි ය. අනතුරු ව බුදුරජානන් වහන්සේ ඒ ස්ත්‍රිය මළ එකියක කොට දැක් වූහ. මළා වූ කෙණෙහි ම ඕ ඉදිමී ගියා ය. වණමුවවලින් සැරව ගලන්නට විය. පණුවෝ වැගිරෙන්නට වූහ. බලු කපුටෝ එතැන රැස් ව මළමිනිය කඩා කන්නට වුහ. මේ දුටු රූපනන්දා “අහෝ මේ ගෑණිය මේ තැනදී ම මහලු ව ගියා ආතුර වූවා මළා ය. මට වන්නේ ද ඔය ටික ය. මා කරා ද ජරාව්‍යාධිමරණයෝ පැමිණෙන්නාහ” යි අත්බව අනිත්‍ය විසින් දුටුවා ය. අනිත්‍ය විසින් දක්නා ලද්දේ දුඃඛ විසින් හා අනාත්ම විසින් දක්නා ලද්දේ ම වෙයි. ඇයට භවත්‍රයය ගිනි ඇවිල ගත්තක් සේ ද, ගෙල ලැගුනු මිනී කුණක් සේ ද වැටහින. සිත කමටහනට නතු විය. ඉක්බිති බුදුරජානන් වහන්සේ රූපනන්දාව සිය අත්බව අනිත්‍ය විසින් දුටුබව දැන මත්තෙහි මෝ තොමෝ තමන්ට පිහිටක් කර ගැනීමෙහි පොහොසත් දැ, යි බලා වදාරණ සේක්, ඇය එහි පොහොසත් නො වන බවත් පිටතින් ඒ පිණිස පිහිටක් ලැබිය යුතු බවත් දැන ඇයට හිත විසින්;
“නන්දා මෝඩ මිනිසුන් ඉතා ඕනෑ කමින් බලාපොරොත්තු වන පතන කියන, ජරාවෙන් දැදුරු වී යන කිසි සේත් පිරිසිදු නො වන කුණු වූ උඩ යට දෙකින් අසූවි උතුරණ වගුරණ මේ සිරුර බලව.
මේ නො මළ සිරුර යම් සේ නම් අර මළ සිරුරත් එසේ ය. අර සිරුර සේ ය, මේ සිරුර. ඒ නිසා මේ සිරුර, ධාතු වශයෙන් හා ශුන්‍ය වශයෙන් බලව, සසරට මින්මතු නො වැදෙව, භවයෙහි ආලය දුරු කොට කෙලෙස් සන්සිඳුවා හැසිරෙව” යි වදාළ සේක.
නන්දාවෝ දේශනාවට අනුව නුවණ මෙහෙයවා ඒ වේලෙහි සෝවාන් වූහ. බුදුරජානන් වහන්සේ මතු මාර්‍ගඵල උදෙසා විදසුන් පේ කිරීම්ට ශුන්‍යතා කර්‍මස්ථානය වදාරණුවෝ, “නන්දා! මේ සිරුරෙහි හරයෙක් නම් නැත, ඇතැයි කිසි විටෙකත් නො සිතව, අබැටක් තරමටත් මෙහි හරයෙක් නැත. මේ වනාහි ඇට තුන් සීයයක් නගා කළ ඇට නුවරකැ” යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.
අට්ඨීනං නගරං කතං මංසලොහිතලෙපනං,
යත්‍ථ ජරා ච මච්චු ච මානො මක්ඛො ච ඔහිතොති.
යම් තැනෙක ජරාව ද මරණය ද මානය ද මකු බව ද යන මේ කලෙස් තැන්පත් කරණ ලද ද එබඳු වූ මස් හා ලෙයින් ගල්වන ලද නුවරෙක් ඇටින් කරණ ලද්දේ ය.
හාල් - මුං - උඳු - අමු - මෙනේරි ආදී වූ පූර්‍වාන්න අපරාන්න ධාන්‍ය තැන්පත් කරණු පිණිස ලී සිටුවා වැලින් බැඳ මැට් ගසා කළ වී කොටුවක් යම් සේ නම් එපරිද්දෙන් මේ සිරුරත් තුන් සියයක් ඇටින් කැරුණේ ය. නහරවැලින් වෙළුනේ ය. මස් ලේ ගැලවුනේ ය. ජරා මරණ මාන මක්ඛ යන මොවුනට තැන් ය. මොවුන් තැන්පත් කරන්නට කළ කොටු ගුලෙක් ය. කායික චෛතසිකාබාධයෝ ද මෙහි පටවන ලදහ.
අට්ඨීනං නගරං කතං = ඇටවලින් නුවරක් කරණ ලදි.
ප්‍රාසාදාදිගෘහ විශේෂයෝ යම් තැනෙක වෙත් නම් එතැන ‘ නගර’ නමි. ‘ නගා පාසාදයො අස්ස සන්තීති = නගරං’ යනු එහි අරුත් බිණිම ය. ‘ න+ඝරං’ යි විච්ඡේද කොට න කාරය සම්පූර්‍ණාර්‍ත්‍ථවාවකය යි කියා අර්‍ත්‍ථ කථාවෝ ‘ නගරං’ යනු ‘ධන ධඤ්ඤාදී උපභොගපරිභොගවත්ථූහිනං පරිපුණ්ණං ඝරං එත්‍ථාති = නගරං’ යි අරුත් පළ කළහ. ධනධාන්‍යාදී උපභෝග පරිභෝග වස්තූන්ගෙන් පිරී ඉතිරී ගිය ගෙවලින් සැදුනු තැන නගර නම් වේ යනු එහි සිංහල ය. ඝ කාරයට ග කාරය විය.
නගර ශබ්දයෙහි අරුත් මෙසේ පළ කළ ද මෙහි එන නගර ශබ්දය නැසී සිටියේ ආත්මභාව යි කියන සිරුරෙහි ය. ධනධාන්‍යාදී වස්තූන්ගෙන් පිරුණු නොයෙක් තරාතිරමේ ගෙවල් දොරවල් ඇති තැන නගරයි කියන්නා සේ ජරා මරණ මාන මක්ඛාදියෙන් පිරුණු තැනත් නගරයක් වැනි බැවින් එසේ හැඳින්වීම යුක්තියුක්ත ය. ඒ නම් ආත්මභාවය යි. සිරුර යි.
මංසලොහිතලෙපනං = මස් ලේ ගල්වන ලද.
මිනිස් සිරුර මස් වැදලි නවසියයකින් යුක්ත ය. නවසියයක් මස් වැදලි මිනිස් සිරුරෙක ඇත්තේ ය. සියලු මස් පිඩු රතු පැහැයෙන් යුත්න වෙත්. එරබදු මල් බඳු ය.
මංස නම්, කැටි වූ ශෝණිත ය යි, හෙවත් ඝන වූ ලේ ය.
“ශෝණිතං ස්වාග්නිනා පක්චං වායුනා ව ඝනීකෘතම්,
තදෙව මාංසං ජානීයාත්තස්‍ය භෙදානපි බ්‍රැවෙ”
යන මෙයින් කීයේ ඒ ය.
රස ධාතුව ශෝණිතස්ථානගත වූයේ ශාලිත යි කියනු ලැබේ. ශෝණිතස්ථානගත ව කැටි වූ රසධාතුව ම මාංස යි ගණු ලැබේ. “ශොණිතමිති ශොණිතස්ථානගතත්වාද්‍රස එව ශොණිතසංඥා ලභතෙ” යනු ආප්ත වචනයි.
මස් පිඩු සිරුරෙහි නහර බලනහර ඇට පුරුක් හන්දි වෙළා ගෙණ සිටිත්. මස් පිඩු වලින් වෙළන ලද්දෝ ම බලවත් වෙත්. මේ ඒ කීම;
“සිරාස්නායවස්ථිපර්‍වාණි සන්‍ධයශ්ව ශරීරිණාම්,
පෙශිහිඃ සංවෘතාන්‍යත්‍ර බලවන්ති භවන්ත්‍යතඃ”
ලෝහිත නම්, අක්මාව කරා ගිය රඤ්ජකපිත්තයෙන් රතු පැහැයටත් පැසීමටත් පමුණුවන ලද රස ධාතුව ය. මේ එහි ආප්තය;
“යදා රසො යකෘද්යාති තත්‍ර රඤ්ජකපිත්තතඃ,
රාගං පාකං ච සම්ප්‍රාප්‍ය ස හචෙද්‍රක්තසංඥකා”
ඒ වනාහි සන්නිචිතලෝහිත - සංසරණලෝහිත ය දෙ පරිදි යි. එහි සන්නිචිතලෝහිතය, තදින් කකාරා ගත් ඝන වු ලතු දිය වැනි ය. සංසරණලෝහිතය, පිරිසිදු ලතුදිය වැනි ය. සන්නිචිතලෝහිතය පවත්නේ සිරුරෙහි උඩ පෙදෙසෙහි ය. සංසරණලෝහිතය මුළු සිරුර පැතිර සිටියේ ය. කෙස් ලොම් නිය දත් යන මස් රහිත තැන් හා තද වියළි සමත් හැරය ඒ පැතිර සිටියේ. නහරවැල් අනුසාරයෙන් එය සියලු සිරුර පැතිර යයි.
එක් පාත්‍රයක් පුරණ පමණ වූ සන්නිචිතලෝහිතය යකෘන්මාංසයාගේ යට පෙදෙස පුරා හදය වකුගඩු පපුමස් තෙමමින් සිටියි.
යත්‍ථ = යම් තැනෙක. යම් සිරුරක.
ජරා ච = ජරාවත්. දිරීමත්. ඉඳුරන් පැසීමත්.
ජරා නම්, දිරීම ය. ලෝකව්‍යවහාර විසින් මහලු වීම ය. නාකි වීම ය. මෙය ඉන්‍ද්‍රියබද්ධසන්තාන - අනින්‍ද්‍රියබද්ධසන්තාන දෙකට සාධාරණ ව පවතී. මෙහිලා ගැණෙන්නේ ඉන්‍ද්‍රියබද්ධ සන්තානයාගේ සත්ත්‍වශරීරයෙහි දිරා යෑම ය. මහලු වීම ය. ‘ඛන්‍ධානං පරිපාකො’ යි කී බැවින්. ඉතා කොටින් රූපවේදනාදී ස්කන්‍ධයන්ගේ මේරීම ජරා යි දන්නේ ය.
බුදුරජානන් වහන්සේ “යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජරා ජීරණතා ඛණ්ඩිච්චං පාලිතං වලිත්තචතා ආයුනො සංහානි ඉන්‍ද්‍රියානං පරිපාකො අයං වුච්චති භික්ඛවෙ ජරා” යි මඳක් විස්තර විසින් වදාළ සේක. ඒ ඒ සත්ත්‍ව සමූහ යෙහි ඒ ඒ සත්ත්‍වයන් පිළිබඳ දිරා යෑම, දිරීම, දත් වැටීම, කෙස් ඉදීම, ඇඟ රැලි වැටීම, ආයු ගෙවීම, ඉඳුරන් මේරීම, ජරාය, යනු එහි කෙටි අරුත් ය.
“ලොව හැම සත්ත්‍වයෙක් ම ජරාවට යටත් ය. ජරාවෙන් මැඩුනේ ය. මිරිකුනේ ය” යනු දැක්වීමට ය. ‘තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ’ යනු වදාළෝ. ‘ ජරා’ යනු වදාළෝ ස්වරූපි දක්වනු සඳහා ය. ‘ ජිරණතා’ යනු ආකාර දැක්වීමට ය. ‘ ඛණ්ඩිච්චං පාලිච්චං වලිතචතා’ යනු කෘත්‍යය දැක්වීමට ය. කල් යත් යත් ම දත් වැටේ, කෙස් ලොම් පැසේ. ඇඟ රැලි වැටේ. මේ දත් වැටීම් ආදිය කරන්නී ජරාව ය. ජරාහේතුවෙන් දත් වැටීම් ආදිය සිදු වෙත්. දිය සුළඟ ගිනි ගිය මග, සිඳී බිඳී දැවී ගිය තෘණවෘක්‍ෂාදියෙන් ප්‍රකට ව පෙණෙන්නා සේ කඩ දත් ආදියෙන් ජරාව ගිය මග පැහැදිලි ව පෙණේ. දත් වැටීම් ආදිය ජරා යි. වෙසෙසක් නො තබා කියූව ද ඔවුහු ජරාව නොවෙති. ජරාව ඇසින් බලා දත නො හැකි ය. ඇසින් දත හැකේ ජරාව ගිය මගෙහි ලකුණු ය. දත් වැටීම් ආදීය ජරාවේ ඵලය යි. “ආයුනො සංහානි ඉන්‍ද්‍රියානං පරිපාකො” යනු ජරාව පිළිබඳ ප්‍රකෘතිය දක්වනු සඳහා ය. මෙයින් කල් යෑමෙන් ඉතා පැහැදිලි වන ආයු ගෙවීම, ඉඳුරන් මිහි කිරීම විසින් ජරා පිළිබඳ ප්‍රකෘතිය දැක් වේ. ජරාවට පැමිණියහුගේ ආයු පිරිහෙන බැවින් ජරා තොමෝ ඵලෝපචාර විසින් ආයු පිරිහීමැ යි වදාළ සේක. තුරුණු වියෙහි වෙසෙසින් පහන් වූ සියුම් වූ තමහට විෂය වූ අරමුණ සුවසේ ගැණීමට සමත් වූ, ඇස් කන් නාස් ඈ ඉඳුරෝ ජරාවට පැමිණීමෙන් මේරීමට ගිය කැළඹුනාහු, නො පහන් වූවාහු, මහත් වූත් තමහට විෂය වූත් අරමුණ ගන්නට අසමර්‍ත්‍ථ වෙති. එහෙයින් ඵලෝපචාර විසින් ඉඳුරන්ගේ මේරීමැ යි වදාළ සේක.
ප්‍රකටජරා - ප්‍රතිච්ඡන්නජරා යි ජරාව දෙ වැදෑරුම් ය. දත්වැටීම්, කෙස් ලාම් පැසීම්, ඇඟරැලි වැටීම් ඈ ඇසට පෙනෙන බැවින් රූපධර්‍මයන්හි වූ ඕ ජරා තොමෝ ප්‍රකටජරා නම්. අරූප ධර්‍මයන්හි වූ ජරා තොමෝ එබඳු විකාරයක්හුගේ දැක්මට කරුණු නො වන බැවින් ප්‍රතිච්ඡන්නජරා නම්.
සවීචිජරා - අවීචිජරා යි නැවතත් ජරාව දෙ පරදී ය. අතරතුර වෙසෙසක් නො දත හැකි නිරතුරු පවත්නා ජරා තොමෝ සවීචිජරා නම්. අතරතුර පහළ වන පැහැ වෙසෙස් ඈ සුවසේ දත හැකි වූවා අවීචිජරා නම්.
මච්චු ච = මරණය ද.
මච්චු නම්, දිවි සිඳීයෑම ය. කලුරිය කිරීම ය. නැසී යෑම ය. මේ එය තරමක් විස්තර කළ සැටි. “එකභවපරියාපන්නස්ස ජීවිතින්‍ද්‍රියස්ස උපච්ඡේදො මරණං” යනු එක භවයකට ඇතුළත් එක භවයකින් පිරිසිඳිනා ලද ජීවිතේන්‍ද්‍රියයාගේ සිඳී යෑම මරණය යනු එහි තේරුම ය. මේ ද ඉන්‍ද්‍රියානින්‍ද්‍රියසමතවස්තූන් ම පිළිබඳ වේ. මෙහිලා ගැනෙනුයේ ඉන්‍ද්‍රියසම්බන්‍ධවස්තූන් කෙරෙහි වූ මරණ ය යි. කොටින් සම්මුති විසින් සත්ත්‍වයන්ගේ දිවි ගැලවී යැම මරණැ යි දත යුතු ය.
බුදුරජානන් වහන්සේ “තම්හා තම්හා සත්තනිකායා චුති චවනතා භෙදො අන්තරධානං මච්චුමරණං කාලකිරියා ඛන්‍ධානං භෙදො කලෙඛරස්ස නික්ඛෙපො ඉදං චුච්චති භික්ඛවෙ! මරණං” යි මදක් විස්තර විසින් වදාළ සේක. ඒ ඒ සත්ත්‍ව සමුහයෙන් ඒ ඒ භවයෙන් ගිලිහීම, ගිලිහෙන බව, බිඳීම, අතුරුදහන් වීම, මච්චු මරණය, කලුරිය කිරීම, ස්කන්‍ධයන්ගේ බිඳීම, සිරුර බහා තැබීම මරණය යනු එහි කෙටි අරුත ය.
චුති නම් ගිලිහීම ය. චවනතා නම්, ගිලිහෙන බව ය. භෙද නම්, ස්කන්‍ධයන්ගේ බිඳීම ය. අන්තරධාන නම්, බිඳී ගිය ඝටයෙහි නො පැවැත් ම සේ භින්න වූ ස්කන්‍ධයන්ගේ නො පැවැත්ම ය. මච්චු මරණ නම්, මැරී යාම ය. මෙයින් සමුච්ඡෙදමරණය වළකාලයි. කාලකිරියා නම්, මරුගේ ක්‍රියා ය. මෙයින් සම්මුතිමරණය දැක් වේ. ඛන්‍ධානං භෙදො යන මෙයින්, පරමාර්‍ත්‍ථ විසින් මරණය දක්වන ලද්දේ ය. පරමාර්‍ත්‍ථ විසින් සත්ත්‍වයෙක් නැත. පුද්ගලයෙක් නැත. ස්ත්‍රියක් නැත. පුරුෂයෙක් නැත. බ්‍රහ්මයෙක් නැත. යක්‍ෂයෙක් නැත. මාරයෙක් නැත. ඇත්තෝ ස්කන්‍ධයෝම ය. එහෙයින් ස්කන්‍ධයෝ තුමූ ම බිඳෙති. නැසෙති. මැරෙති. සත්ත්‍වයක් නම් නො ද මැරෙයි. ස්කන්‍ධයන් බිඳෙන නැසෙන මැරෙණ විට, සත්ත්‍වයා මැරේ යි කියා ද, බිඳුනු විට මළේ යි කියා ද ව්‍යවහාරයෙහි පවතී. එක් ස්කන්‍ධයක් ඇති භවයාගේ වශයෙන් ‘කලෙබරස්ස නික්ඛෙපො’ යනු වදාළ සේක.
යම් විටෙක ආයුෂය, කර්‍මයෙන් හටගත් උණුසුම, විඥාන යන මොවුහු සිරුරන් පහ වන්නෝ ද එකල සිරුර වැඩකට නැති දරදණ්ඩක් සේ හෝනේ ය.
පස්කඳ මුළුමනින් ලැබෙන භවයන්හි සත්ත්‍වයන් පිළිබඳ චක්ඛුන්‍ද්‍රිය, සෝතින්‍ද්‍රිය, ඝානින්‍ද්‍රිය, ජිව්හින්‍ද්‍රිය, කායින්‍ද්‍රිය යි ඉන්‍ද්‍රිය පසක් ලැබේ. ඒ ඉන්‍ද්‍රියයෝ නානාවිෂය ඇත්තේ නානාගෝචර ඇත්තෝ වෙති. චක්‍ෂුරින්‍ද්‍රියය ශ්‍රෝත්‍රේන්‍ද්‍රියයාගේ ද ශ්‍රෝත්‍රේන්‍ද්‍රියය චක්‍ෂුරින්‍ද්‍රියයාගේ දැ යි එකෙක් එකක්හුගේ ගෝචරවිෂය නො විඳියි. රූපාරම්මණය ගොදුරුවනුයේ චක්‍ෂුරින්‍ද්‍රියට ය. ශබ්දාලම්බනය ශ්‍රෝත්‍රේන්‍ද්‍රියයට ගොදුරු වන්නේ ය. නැත, රූපාරම්මණය ශ්‍රෝත්‍රේන්‍ද්‍රියයට වත් ශබ්දාලම්බනය චක්‍ෂුරින්‍ද්‍රියයට වත් ගොදුරු නො වෙත්. එහෙයිනි කීයේ, “ඉන්‍ද්‍රියයෝ නානාවිෂය ඇත්තෝ ය. නානාගෝචර ඇත්තෝ ය” යි. සෙසු තැන්හි ද මෙසේය. ජවන් සිත මොවුනට පිළිසරණ ය.
මෙකී ඉන්‍ද්‍රියයෝ පවත්නෝ ආයුෂය නිසා ය. ආයුෂ නම්, ජීවිතේන්‍ද්‍රිය ය. ආයුෂය පවත්නේ උණුසුම නිසා ය. උණුසුම නම් කර්‍ම තේජස ය. උණුසුම පවත්නේ ආයුෂය නිසා ය. දැල්වෙන පහනෙහි ගිනිසිළුව නිසා ආලෝකයත් ආලෝකය නිසා ගිනිසිළුවත් පවත්නා සේ ය. ගිනිසිළුව උපදනී ආලෝකය ගෙණ ම උපදී. ගිනිසිළුව ඒ තමා ඉපද වූ ආලෝකයෙන් ම තොමෝත් සියුම් ව මහත් ව දික් ව කෙටි ව ප්‍රකට වන්නී ය. ගිනිසිළුව පැවැත්මෙන් ඉපද වූ ආලෝකයෙන් ඒ ගිනිසිළුව පැවැත්ම පිළිබඳ වූ ම ප්‍රකට භාවය මෙන් කර්‍මජතේජස නිසා උපන් කර්‍මජමහාභූතයන්ගෙන් හටගත් ජීවිතේන්‍ද්‍රියය විසින් කර්‍මජතේජස්හුගේ පාලනය වේ. ජීවිතේන්‍ද්‍රියය කර්‍මජතේජස්හුගේ පැවැත්ම පාලනය කරයි. මෙසේ ජීවිතේන්‍ද්‍රියය කර්‍මජතේජස නිසා සිටියි. කර්‍මජතේජස ජීවිතේන්‍ද්‍රියය නිසා සිටියි.
ඛණික - සම්මුති - සමුච්ඡේද විසින් මරණය තෙ වැදෑරුම් ය. එහි උපන්දා පටන් මැරෙණ තුරු සෑම මොහොතක ම රූපාරූප ධර්‍මයන් බිඳුම නැසුම ඛණික මරණ නම්, “තිස්ස මළේ ය. ඵුස්ස මළේ ය” යන ඈ ලෙසින් පැවැත්ම සම්මුතිමරණ නම්. මෙහි ලා තිස්සයෙක් ඵුස්සයෙක් නො ලැබෙන්නේ ය. ලැබෙන්නෝ නාම රූප ධර්‍මයෝ ය, තිස්ස, ඵුස්ස යනාදී ව්‍යවහාරය ලෝකයා විසින් සම්මත කර ගන්නා ලද්දෙකි. “තිස්ස මළේ ය, ඵුස්ස මළේ ය” යනාදිය සම්මුති මරණැ යි කීයේ එහෙයිනි. රහතුන් වහන්සේගේ මතු භවයෙක උත්පත්තිනිවාරණය සමුච්ඡෙද මරණ නම්.
නැවත මරණය ආයුක්ඛය - පුඤ්ඤක්ඛය - උභයක්ඛය - උපච්ඡේදක යි සිවු වැදෑරුම් ය. එහි උත්පත්තිය ගෙන දුන් කර්‍මවේගය බලවත් ව තිබියදී ද ඒ ඒ ගතිවලට නියමිත වූ ආයුකාලය ගෙවී යෑමෙන් වන මරණය ආයුක්ඛය නම්. ඒ ඒ ගතිවලට නියමිත වූ ආයුකාලය ඉතිරි ව තිබියදී පිළිසිඳ දුන් කර්‍මයාගේ විපාක ශක්තිය ගෙවී යෑමෙන් වන, මරණය පුඤ්ඤක්ඛය නම්. ආයුකාලය හා කර්‍මශක්තිය එකවිට ගෙවී යෑමෙන් වන මරණය උභයක්ඛය නම්. ආයුෂය හා කර්‍මශක්තිය ඉතිරි ව තිබියදී ද මෙලොව දී අවි පහර ලැබීම් ආදී යම්කිසි උපක්‍රමයකින් හෝ මෙලොව ම ගුණවතුන් කෙරෙහි කළ යම්කිසි අපරාධයකින් හෝ පිළිසිඳ දුන් කර්‍මශක්තිය සිදී යෑමෙන් වන මරණය උපච්ඡේදක නම්. මේ මරණය නිරිසතුනට, උතුරුකුරු දිවයිනට, ඇතැම් දෙවතාවුනට සිදු නො වේ.
මානො ච = මානය ද. [1]
මක්ඛො ච = ගුණමැකීම ද.
අනුන්ගේ ගුණ වසා දැමීම මක්ඛ නම්. “පරෙහි වා කතානං මහන්තානම්පි සාරානං ඛෙපනතො ධංසනතො මක්ඛොති වුච්චති” අන්හු කළ මහත් උපකාරය නසන බැවින් මක්ඛ යි කියනු ලැබේ. ඒ නම් අනුන්ගේ ගුණ මැකීමේ, ගුණ වැසීමේ ආකාරයෙන් පැවැති දොම්නස් සහගිය චිත්තොත්පාදය යි.
අනුකම්පක වූ යමකු විසින් නො යෙක් වෙහෙස දරා හදා උසස් තැන තැබූ යම්කිසි ගිහියෙක් පසු දවස “තා විසින් මට කුමක් කරණ ලද දැ” යි ඔහු කළ ඒ සියලු උපකාර නසාලයි ද නො සලකා හරී ද, ආචාර්‍ය්‍යොපාධ්‍යායයන් විසින් සිවුපසින් හා උද්දේසපරිපුච්ඡාදියෙන් අනුග්‍රහ කොට ධර්‍මශාස්ත්‍රාදියෙහි බල ගන්වන ලද යම්කිසි පැවිද්දෙක් පසු දවස රට වැසියන්ගෙන් ලැබූ සත්කාර ඇත්තේ, ගුරුන් කෙරෙහි ආදර නැති ව හැසිරෙන්නේ “මෙතෙමේ හදා වඩනා ලද්දේ මා විසිනැ” යි කී කල්හි කළ උපකාර අමතක කොට ගුරුන් කළ උපකාර නසාලයි ද, ගිහියාගේ හා පැවිද්දාගේ මේ කළගුණ නැසීමට කරුණු වූ පූර්‍වෝක්ත චිත්තෝත්පාදය අර්‍ත්‍ථ විසින් මක්ඛ යි දතයුතු ය. එහි පරගුණ මැකීම ලක්‍ෂණ යි. පරගුණ නැසීම කෘත්‍යය යි. පරගුණ වසා දැමීම ප්‍රත්‍යුපස්ථානය යි. “සො පර ගුණමක්ඛනලක්ඛණො, තෙසං විනාසනරසො, තදවච්ඡාදනපච්චුපට්ඨානො” යි ඒ කීහ.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි ස්ථවිරා තොමෝ රහත් වූවා ය. මහජනයාට ධර්‍මදේශනාව සාර්‍ත්‍ථක වූවා ය. .
රූපනන්දාස්ථවිරා වස්තුව නිමි.
යමකවර්‍ගයෙහි ‘අනික්කසාවා’ යන්නට කළ පරිකථාබලනු. ↑