11-4 මිනී ඇටවල ඇලුනු මහණෝ

යානිමානි අපත්‍ථානි අලාපූනෙව සාරදෙ

කාපොතකානි අට්ඨීනි තානි දිස්වාන කා රති.

සරත්කාලයෙහි ඒ ඒ තන්හි දමන ලද ලබු වැනි වූ කොබෝවන් පැහැ ඇත්තාවූ, යම් මේ මිනී ඇට කෙනෙක් ඇද්ද, ඒවා දැක කවර නම් කාමරතියෙක් තොපට වේ ද? (කාමරතියක් ඉපැදැවීම තොපට සුදුසු ද?)

එක් කලෙක බොහෝ ගණනක් භික්‍ෂූන් වහන්සේලා බුදුරජානන් වහන්සේ වෙතින් කමටහන් ගෙණ භාවනාවට වනයට වැඩියහ. එහි දී ඔවුහු භාවනා වඩා ධ්‍යාන උපදවා ගන්න. එයින් ඔවුන් පිළිබඳ කෙලෙස් යටපත් ව ගියේ ය. එකල්හි ඔවුහු “අපගේ මහණකම මුදුන් පැමිණියේ වනැ” යි සිතා තමන් ලත් ගුණය බුදුරජුන්ට දන්වන්නට ජෙතවනයට ගියහ. බුදුරජානන් වහන්සේ ඒ භික්‍ෂූන් දොරකඩට ආ ඇසිල්ලෙහි අනඳ තරුන් අමතා “ආනන්ද! මේ නමලාට මෙහි පැමිණ මා දැකීමෙන් වැඩක් සිදු නො වේ. එහෙයින් පළමු කොට අමු සොහොනට ගොස් නැවත මා දකින්නට එන්නට කියව” යි වදාළ සේක. තෙරුන් වහන්සේ බුදුරජුන්ගේ ඒ ප්‍රකාශය ඔවුනට දැන්වූහ. ඔවුහු කිසිත් නො බැණ ඉතා සතුටින් සොහොනට ගියහ. “බුදුරජානන් වහන්සේ විසින් මෙසේ වදාරන්නට යම් කිසි කරුණක් දක්නා ලද්දේ වනැ” යි සිතූහ. සොහොන් ගිය ඒ භික්‍ෂුහු සොහොනෙක තැන තැන දමා තුබූ දවස් ගණන් ඉක්මුනු දුගඳ හමන්නා වූ මිනීකුණු දුටහ. එයින් ඔවුන් සිත්හි ප්‍රතිඝය උපන්නේ ය. ඒ අතර එදවස ම එහි දැමු මිනියක් දැකීමෙන් එහි ආලය උපන. එයින් ම තමන් කෙලෙස් සහිත බව දැන ගත්හ. මේ වේලෙහි බුදුරජානන් වහන්සේ ගඳකිළියෙහි වැඩ හුන් සේක් ම ආලෝකයක් යවා ඔවුන් ඉදිරියෙහි සිට බණ වදාරන්නකු සේ “මහණෙනි! මෙබඳු ඇට ගොඩවල් දැක එහි ඇලීම් තොපට තරම් නො වේ” යි වදාරා මේ ධර්‍මදේශනාව කළ සේක.

යානිමානි අපත්‍ථානි අලාපූනෙව සාරදෙ,

කාපොතකානි අට්ඨීනි තානි දිස්වාන රතීති.

ශරත් කාලයෙහි ඒ ඒ තැන දැමූ ලබුකබල් වැනි වූ කොබෝවන් පැහැති යම් යම් මිනි ඇට වේ ද, ඒ මිනී ඇට දැකීමෙන් කිනම් ඇල්මක් වේ ද,

යානි ඉමානි = යම් මේ.

අපත්‍ථානි = ඒ ඒ තැන දැමූ.

අලාපූනි ඉව = ලබු කබල් වැනි වූ.

සාරදෙ = ශරත් කාලයෙහි.

ඉල්මස කාලපක්‍ෂයෙහි පටන් පිළිවලින් සාර මසෙක් සාර මසෙක් හේමන්ත - ගිම්හ - වස්ස යි තුන් සෘතු කෙනෙක් වෙති. ඒ එක් ක්‍රමය අයකි. නැවත එ තැන් පටන් ම ගෙණ පිළිවෙළින් දෙ මස දෙ මස හේමන්ත - සිසිර - වසන්ත - ගිම්හ - වස්ස - සරද යි ෂඩ් සෘතු කෙනෙක් වෙති. එහි ඉල් - උඳුවප් දෙමස, හේමන්ත උතු නම්. දුරුතු - නවන් දෙමස, සිසිර උතු නම්. මැදින් - බක් දෙමස, වසන්ත උතු නම්. වෙසක් - පොසොන් දෙමස, ගිම්හ උතු නම්. ඇසළ - නිකිණි දෙමස, වස්ස උතු නම්. බිනර - වප් දෙමස, සරද උතු නම්.

බිනර - වප් දෙමසෙහි මුළුමනින් ඖෂධවර්‍ගයන්ගේ පැසීම වන්නේ ය, යි ශාස්ත්‍රයෙහි කී බැවින් මේ දෙමස් කාලය සරද නමින් හඳුන් වත්. ‘සරති පීළයති අස්මිං ඉති = සරදො, ශීර්‍ය්‍යන්තෙස්‍යාං පාකෙනෞෂධයඃ ඉති = ශරත්’ යනු අත්‍ථ නිශ්චය වේ. මේ දෙ මස් කාලය මෙහි සාරද නම.

කාපොතකානි අට්ඨිනි = කොබෝවන් පැහැති මිනී ඇට.

පරවියන්ගේ පැහැය වැනි පැහැය ඇත්තේ ‘ කාපොතක’ නම්. එනම් සුදුපාට ය. මිනී ඇට සුදු ය. එහෙයින් එයට විශේෂණ කොට ‘කාපොතකානි’ යෙදුනේ ය.

ගින්නෙන් පැසුනු, වාතයෙන් වියලුනු මේදය, ඇට යි ගැණේ. මේදය මසින් හට ගත්තේ ය.

“මෙදො යත් ස්වාග්නිනා පක්චං වායුනා චාති ශොසිතම්,

තදස්ථිසංඥා ලභතෙ සසාරඃ සර්‍වවිග්‍රහෙ”

ඇතුළත්හි වූ හරය හේතු කොට ගස්කොළන්වල පැවැත්ම වන්නේ ය. එමෙන් දේහධාරණය වන්නේ අස්ථිසාරය හේතු කොට ය

“අභ්‍යන්තරගතෛඃ සාරෛර්‍යථා තිෂ්ඨන්ති භූරුහාඃ,

අස්ථිසාරෛස්තථා දෙහා ධරීයන්තෙ දෙහිනො ධ්‍රැවම්”

ශරීරවත්හුගේ සිවි - මස්, නැසි බොහෝ කල් ගිය ද ඇට විනාශ නො වී පවතී. ඇට සත්ත්‍වයන්ගේ හරය වේ.

“තස්මාවිචිර විනෂ්ටෙෂු ත්වඩ්මාංසෙෂු ශරීරිණාම්,

අස්ථිනි න විනශ්‍යත්ති සාරාණ්‍යෙතානි දෙහිනාම්”

තානි දිස්වන කා රති = ඒ මිනී ඇට දැක්මෙන් මොන ඇල්මක් වේ ද.

ශරත් කාලයෙහි ඒ ඒ තැන දැමු අවුසුළගින් වියලී ගිය ලබු කබල් වැනි වූ කාබෝවන් වූ මේ මිනී ඇට බලා පල්ප වූත් කාම රතියක් ඉපදවීම තොපට නො සුදුසු ය. එසේ එහි ඇලීම, බැඳීම තොපට විනාශය පිණිස වන්නේ ය. එහෙයින් ඒ මිනී ඇටවල ඇලීම තොපට සුදුසු ද? ‘රමන්ති තාය රමණං වා = රති’ ඇලීම ‘රති’ නම්.

ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ භික්‍ෂුහු සිටි ලෙසින් ම රහත් ව බුදුරජුන්ට තුති පුද දෙමින් ඉදිරියට විත් ඇඳ සිටියහ.

අධිමානකභික්‍ෂු වස්තුව නිමි.

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.