යො අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති
සුද්ධස්ස පොසස්ස අනඞ්ගණස්ස
තමෙව බාලං පච්චෙති පාපං
සුඛුමො රජො පටිවාතං’ව ඛිත්තො.
(තමහට වත් සියලු සත්නට වත්) අදුෂ්ට වූ (හෙවත් නිරපරාධවූ එ හෙයින් ම සියලු සතුන් කෙරෙහි ම මෛත්‍රීපර වූ නොකැලැඹුණු සිත් ඇති), නිරපරාධ වූ සිත් ඇති හෙයින් පිරිසිදු වූ, නිඃක්ලේශී වූ, (‘නර’ ය ‘පුරුෂ’ යැ යි කියන ලද) සත්තවයකුහට යම් පුද්ගලයෙක් දුෂ්ට වේ ද (අතින් පයින් සැතින් දඬුයෙන් පැහැරීම් ආදියෙන් අපරාධ කෙරේ ද), ඔහු විසින් කරන ලද ඒ පාපකර්‍මය තෙම උඩු සුළඟට දමන ලද සියුම් රජසක් මෙන් (නිරපරාධයනට අපරාධ කළාවූ) ඒ අඥානයා කරා (මෙ ලොව හෝ පර ලොවැ නරකාදියෙහි හෝ විපාක දුක් දෙමින්) පැමිණෙන්නේ ය.
එක් දිනෙක, පෙරවරුයෙහි කෝක නම් බලුවැද්දා දුනක් ද ගෙණ, බල්ලන් පිරිවරා වනයට යන්නේ, අතර මගදී ඉදිරියෙහි එන මහණ කෙනකු දැක, උන්වහන්සේ කෙරෙහි කිපී “මා විසින් කාලකණ්ණියෙක් දක්නා ලද ය, අද නම්, කිසිත් ලැබෙනු නැතැ” යි සිතමින් ගියේ ය. අද ද, භික්‍ෂූන් වහන්සේ නමක් ඉදිරියට හමු වූ කල්හි, මෙසේ සිතන කියන නො සතුටු වන මෝඩයෝ ඇත්තාහ. ආගම දැනීමෙන් තොර වූ බැවින්, ඔවුහු එසේ සිතති. කියති. නො සතුටු වෙති. මෙලොව පරලොව දෙකින් පිරිහෙති ඔවුහු. වැද්දාගේ ඉදිරියට ආ ඒ භික්‍ෂූන් වහන්සේ ද, ගම පිඬු සිඟා හැසිර, බත් කිස නිම කොට, පෙරළා විහාරයට වැඩියාහ.
වැද්දා, වනයෙහි ඇවිද කිසිත් නො ලැබ ගේ බලා එන්නේ, එවරත් ඒ මහණහු දැක, “අද මට කිසිත් නො ලැබුනේ, මේ කාලකණ්ණියා නිසා ය, දැන් නැවැතත් මූ මුණ ගැසින, දැන් නිකම් හැරිය යුතු නො වේ, බල්ලන් ලවා කවාලන්නෙමි” යි සිතා බල්ලන් උසී ගන්වා භික්‍ෂූන් වහන්සේ වෙත යැවී ය. උන්වහන්සේ “උපාසක! මෙසේ නො කරණු” යි කී විට “අද ඉදිරියට තා හමු වූ බැවින්, මට කිසිත් නො ලැබුනේ ය, තවත් වරක් මා හමු වන්නට ඉදිරියට ආවෙහි ය, කිසි කමාවක් තට නැති, බල්ලන් ලවා තා කවාලන්නෙමි” යි බල්ලන් උසී ගැන් වූයේ ය.
භික්‍ෂූන් වහන්සේ වහා, ගසක බඹයක් පමණ ඉහළට නැග ගත්හ. බල්ලන් ගස වට කොට සිටියාහ. වැද්දා ගස ලඟට ගොස් “තෝ ගසට නැග්ගෙහි නමුත්, තට අද යන්නට ඉඩ නො දෙමි, තට නිදහසෙක් නැතැ” යි කියමින් ඊ තුඩින් යටිපතුලට ඇන්නේ ය. එ කල්හි භික්‍ෂූන් වහන්සේ මහත් බැගෑපත් හඩින් “උපාසක! තට පාපයෙකි, මෙසේ නො කරණු” යි කියත් කියත් ම වැද්දා, එයට කන් නො දී කිහිපවරක් ම උන්වහන්සේට ඊයෙන් ඇන්නේ ය.
භික්‍ෂූන් වහන්සේ, එක් පයකට විදින කල්හි, ඒ පය ඔසොවා ගෙණ, අනික් පය පහත හෙළයි. ඒ පයට විදින විට පළමුවර ඔසොවා ගත් පය පහත හෙළයි. මෙසේ කරමින් නො විදින්නැ, යි ඉල්ලා සිටියහ. වැද්දා ඒ කිසිත් නො සලකා යටිපතුල් දෙකට ම ඇන්නේ ය. භික්‍ෂූන් වහන්සේගේ මුළු සිරුර ගිනිපන්දම්වලින් ගිනි තැබුවා සේ දාහයෙන් මැඩ ගත්තේ ය. උන්වහන්සේ වේදනාව බලවත් වූ බැවින් සිහිය නිසිලෙස පිහිටුවාලීමෙහි අපොහොසත් වූ හ. ඇඟ තුබූ සිවුර ගිලිහී වැටුන ද, ඒ නො ද දත්හ, සිවුර වැද්දාගේ සිරුර වසා හිස මත වැටුනේ ය. ගස වට කොට සිටි බල්ලෝ භික්‍ෂූන් වහන්සේ වැටුනාහ, යි සිතා, සිවුර තුළට වැදී වැද්දාගේ ඇඟමස් කඩා කා ඇට පමණක් ම ඉතිරි කොට, සිවුර තුළින් එලියට අවුත් බලා හුන්හ. භික්‍ෂූන් වහන්සේ ගස තුබූ වියලි අත්තක් කඩා බල්ලන් හුන් තැනට දැම්මාහ. එයින් උඩ බැලු බල්ලෝ, ගස උඩ හුන් තෙරුන් දැක, අප විසින් කා දමන ලද්දේ අපගේ ස්වාමියා, යි හැඳින වනය තුළට වන්හ.
වැද්දාගේ මරණින් කම්පිත වූ භික්‍ෂූන් වහන්සේ මාගේ සිවුර ඇඟමත වැටීම නිසා වැද්දා මළේ ය, වුනේ වරද ය, මාගේ ශීලයට වරදෙක් වී ද, ශීලය පිරිසිදු වූ, යි සිතමින් වහා ගසින් බැස, බුදුරජුන් වෙත ගොස්, මුල සිට සියල්ල කියා, “ස්වාමීනි! භාග්‍යවතුන් වහන්ස! මා නිසා වැද්දා මැරුම් කෑයේ ය, කිම, ස්වාමීනි! එයින් මගේ ශීලභේදයෙක් වී ද, මම දුශ්ශීල වෙම් ද, මට මහණක ම තිබේ දැ?” යි ඇසූහ.
බුදුරජානන් වහන්සේ, “මහණ! විපිළිසර නො වෙව, තට සිල් තිබේ, ශීලවිපත්තියක් නැත, මහණකම පිරිසිදු ය, වැද්දා වරදක් දොසක් නැත්තහුට වරද කොට මේ විපතට වැටුනේ ය, ඔය වැද්දා වරද නැති අයට වරද කෙළේ, අද පමණක් නො වේ, පෙරත් වරද නැත්තන්ට වරද කොට, විපතට වැටුන් ය” යි වදාරා, “මහණෙනි! යටගිය දවස වෙදෙක්, වෙදකම් පිණිස වෙදකම් සොය සොයා ගම පුරා හැසුරුන්නේ ය, සාපිපාසා දෙකින් පෙළුනු ඔහු ගමින් නික්ම ගම්දොරකඩ සෙල්ලම්, කරමින් සිටි ඉතා කුඩා කොල්ලන් දැක, මුන් නයකු ලවා දෂ්ට කරවා, මුන්ට පිළියම් කොට, යමිකිසිවක් ලබා ගන්නෙමි යි සිතා, ගස් සිදුරක හිස එලියට දමා නිදා හුන් නයකු ඒ කොල්ලන්ට පෙන්වා, “ලමයිනි! බලන්න, මේ කුරුළු පැටවා කොතරම් කදිම ද, ඌ අල්ලා ගන්නැ” යි ඔවුන් පෙළඹ වී ය, එක් ලමයෙක් නයා බෙලෙන් තදින් අල්ලා ගෙණ, එලියට ඇද, නයකු බව දැන, වෙදාගේ ඇඟට දැම්මේ ය, එකෙණෙහි නයා, වෙදාගේ ඇඟ එතී දෂ්ට කරණ ලදුව එතැන ම මැරී වැටුනේය. මෙපරිද්දෙන් මේ වැද්දා පෙරත් වරද නැත්තන්ට වරද කොට විපතට පැමිණියේ ය” යි යටගියාවත් දක්වා නැවැත අනුසන්‍ධි ගළපා මේ ධර්‍මදේශනාව කළ සේක:
යො අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති
සුද්ධස්ස පොසස්ස අනඞ්ගණස්ස,
තමෙව බාලං පච්චෙති පාපං
සුඛුමො රජො පටිවාතංව ඛිත්තොති.
යමෙක් ප්‍රදූෂිත නො වූ, පිරිසිදු වූ, කෙලෙස් රහිත වූ, පුරුෂයක්හට ද්වේෂ කෙරේ නම්, ඒ පව උඩු සුළඟට දැමූ සියුම් රජස තමා කරා ම එන්නා සේ, ඒ අඥානයා කරා ම පෙරළා එන්නේ ය.
යො = යමෙක්,
අනියාමිත වචනය යො යනු. අසුවලාය, යි නියම නො කරණ ලද්දේ ම මෙයින් ගැණේ. මෙහි එන තං යනු, අපේක්‍ෂාවෙන් සිටියේ ය.
අප්පදුට්ඨස්ස = ප්‍රදූෂිත නො වූ. අපරාධ නැති. අනුනට වරද නො කරණ.
යමෙක් තමාට වත් අනුනට වත්, මහත් කරුණක් නිසා වත්, සුලු කරුණක් නිසා වත්, නො කිපේ නම්, වරදක් නො කෙරේ නම්, තමන් කෙරෙහි වත්, අනුන් කෙරෙහි වත් දූෂිත වූ සිත් ඇත්තේ නො වේ නම්, හේය අප්පදුට්ඨ. මේ අටුවාව බලන්න, ‘අප්පදුට්ඨස්සාති අත්තනො වා සබ්බසත්තානං වා අදුට්ඨස්ස’ යනු.
නරස්ස = නර නම් වූ. නරැ යි හඳුන්වන. [1]
සුද්ධස්ස = පිරිසිදු වු. නිරපරාධ වු.
සුද්ධ නම්, පිරිසිදු තැනැත්තේ ය. වරද නැත්තේ ය. ‘සුද්ධස්සාති නිරපරාධස්සෙව’ යනු අටුවා.
පොසස්ස = පුරුෂයකුට. නර නම් වූ සත්ත්‍වයකුට.
නරස්ස - පොසස්ස යන දෙ පදය, එක් කොට අරුත් ගන්නේ ය. දෙ පදය ම ඒකාර්‍ත්‍ථවත් ය. සත්ත්‍වාවාවක වූ නර ශබ්දය යොදා තදර්‍ත්‍ථයෙහි ම පොස ශබ්දය යෙදුනේ සත්ත්‍වාර්‍ත්‍ථය අන් අයුරකින් දක්වනු සඳහා ය. ‘නරස්සාති සත්තස්ස, පොසස්සාති ඉදම්පි අපරාකාරෙන සත්තාධිවචනමෙතන්ති’ යනු අටුවා ය. ධර්‍මාර්‍ත්‍ථාවබෝධකයන්ගේ වසයෙන් මෙසේ යෙදුනේ ය, යි ද කිය හැකි ය. එක් ම සත්ත්‍වයාගේ අවස්ථා දෙකක් මේ දෙපරිද්දෙන් දැක්වෙන බැවින්, යම් අවස්ථාවක් යමකුට පෙනේ නම්, ඒ දක්නා අවස්ථාව ගෙණ සත්ත්‍ව නම් මේ, යි අවබෝධ කළහැකි ය.
අනඞ්ගණස්ස = කෙලෙස් රහිත වූ. පව් නැත්තා වූ.
රාගාදී කෙලෙස් යමකු කෙරෙහි නැත්තේ නම්, හේය අනඞ්ගණ.
රාග - ද්වේෂ - මෝහයෝ අඞ්ගණ නම්. ‘රාගො අඞ්ගණං දෝසො අඞ්ගණං මොහො අඞ්ගණං' යන දේශනා එහි සාධක ය. කුමක් හෙයින් මේ තුන අඞ්ගණ, යි හඳුන්වත් ද? මෙන්න එයට පිළිතුරු :- ‘පාපකානං ඛො එතං ආවුසො අකුසලානං ඉච්ඡාවචරානං අධිවචනං යදිදං අඞ්ගණන්ති’ යනු. රාගද්වේෂාදිය කැමැති ලෙස හැසිරෙන, කැමැති ලෙස පවත්නා අකුශලයන් බැවින් එසේ හඳුන්වති.
අඞ්ගණ ශබ්දය, භූමිභාග - කිලෙස - මල යන අරුත්හි එයි. ‘භූමිභාගෙ කිලෙසෙ ච මලෙචාඞ්ගණමුච්චතෙ’ යනු කෝෂයි. ‘චෙතියඞ්ගණං බොධියඞ්ගණං’ යනාදී තැන්හි භූමි ප්‍රදේශයෙහි වැටේ. ‘රාගො අණං’ යනාදී තැන්හි කෙලෙස් කිය වේ. ‘තස්සෙව රජස්ස වා අඞ්ගණස්ස වා පහාණාය වායමති’ යනාදී තැන්හි මලයෙහි ය. ‘අඤ්ජති නත්‍ථ ඨිතං වා අතිසුන්‍දරතාය අභිබ්‍යඤ්ජෙතීති = අඞ්ගණං’ යන පාඨයෙන් භූමිප්‍රදේශය කිය වේ. එහි සිටියහු මැනැවින් ප්‍රකට කරන්නේ, නු යි අඞ්ගණ නම්. භූඛණ්ඩය යි. ‘අඞ්ගන්ති එතෙන තං සමඞ්ගීපුග්ගලා නිහීනභාවං ගච්ඡන්තීති = අඞ්ගණං’ රාගාදීන් හා යෙදී සිටින සත්ත්‍වයෝ ලාමකබවට යෙත්, නු යි අඞ්ගණ නම්. රාගාදි ක්ලේශත්‍රිකයයි. ‘අඤ්ජති මක්ඛෙතීති = අඞ්ගණං’ ඇඟ වැකෙන්නේ අඞ්ගණ නම්. රජස් දූවිලි ආදිය යි. මෙහිලා රාගාදි ක්ලේශයෝ ම වදාරන ලද ය. රාගාදී කෙලෙස් නැත්තේ , අනඞ්ගණ නම් වේ. ‘අනඞ්ගණස්සාති නික්කිලෙසස්ස’ යනු අටුවාය.
තං එව බාලං පච්චෙති පාපං = පව ඒ අඥානයා කරා ම පෙරළා එන්නේ ය.
යමක් නිරපරාධී වූ පිරිසිදු වූ කෙලෙස් නැති යමක්හට අතින්, පයින්, දණ්ඩෙන්, සැතින්, ගලින්, මුලින්, වචනයෙන්, සිතින් පහරදීම් ඈ විසින් අපරාධයක් කෙරේ නම්, ඔහු කළ ඒ පව ඔහු කරා ම එන්නේ ය, යනු භාවයි.
උඩුසුළඟෙහි සිටියහුට පහර දෙනු කැමැත්තෙන් දැමූ සියුම් රජස, ඒ පහර දුන්නහු කරාම එන්නා සේ, ඔහු හිස පිට ම වැටෙන්නා සේ, නිරපරාධී වූ එකක්හට අත් පා ආදියෙන් පහර දෙමින් යමෙක් අපරාධ කෙරේ ද, ඒ පාපය, මෙලොව ම හෝ පරලොව නරකාදියෙහි පැසෙන්නේ, විපාක දුක් වසයෙන් ඒ අඥයා කරා ම පෙරළා එන්නේ ය.
මෙහි රජස්, යි කීයේ දූවිල්ල ය. ස්ත්‍රීපුෂ්ප ප්‍රකෘතිජ ගුණයන්හි ද රජස් ශබ්දය යෙදේ. එහෙත්, ඒ දෙයරුත මෙහි නො යෙදේ.
ධර්‍මදේශනාවගේ අවසානයෙහි ඒ පහර කෑ මහණ තෙමේ රහත් වි ය. පැමිණ සිටි පිරිසට ද දේශනාව වැඩ සහිත වූවා ය.
කෝකසුනඛලුද්දක වස්තුව නිමි.
7-8 ‘නරො’ යන්නට කළ පරිකථාව බලනු. ↑