පාණිම්හි චෙ වණො නාස්ස හරෙය්‍ය පාණිනා විසං
නාබ්බණං විසමන්වෙති නත්‍ථි පාපං අකුබ්බතො.
ඉදින් අත්ලෙහි ව්‍රණයෙක් නො වී නම්, අත්ලෙන් විෂය ගන්නේ ය (හෙවත් ගන්නට පොහොසත් වන්නේ ය). කුමක් හෙයින? යත්: අත්ලෙහි ව්‍රණයක් නැත්තහු අනුව (ස්ථාවර ජඞ්ගම වශයෙන් විප්‍රකාර වූ ම) විෂය නො යන්නේ ය (අත්ලෙහි ව්‍රණයක් නැත්තහු අතින් ගත් විෂය ඔහු සිරුරැ ව්‍යාප්ත නො වන්නා සේ) (තුන් දොරින්) පව් නොකරන්නාහු (ශරචාපාදිය එළවා දුන් නමුදු අකුශල චේතනා නැති හෙයින් සිදු වන) අකුශල කර්‍මයෙක් නැත.
රජගහා නුවර සිටු කුලයෙක සිටුදුවක් තොමෝ, සත්මාල් ගෙයි උඩුමාලයෙහි කාමරයෙක ලා මවුපියන් විසින් රකිනු ලැබුවා ය. එහි ඇගේ වැඩට කෙල්ලක් ද වූ ය. දිනක් සවස් වේලේ සිටුදූ තොමෝ ජනෙල් කවුළුවෙන් පිටත කඩ දෙපස බලා සිටියා ය. ඒ වේලේ එක් වැදිගැටයෙක් මුවන් මරා මස් කොට කරත්තයක ලා, එහි ඒරිය කඳ උඩ හිඳ, මස් විකුණන්නට නුවරට ගියේ ය. මුවන් මරා මස් විකොට දිවි ගෙවන, මේ වැදිගැටයා දුටු ඒ සිටුදුවගේ සිත මූ කෙරෙහි තදින් ඇලී ගියේ ය. මේ වැදිගැටයාගේ නම කුක්කුටමිත්‍ර ය.
එකෙණෙහි සිටුදු තොමෝ තමන් ලඟ සිටි කෙල්ලට තුටු පඬුරක් දී සතුටු කොට යව, අර යන පුරුෂයා මස් විකොට පෙරළා එන වේලාව දැන එවයි ඈ පිටත් කොට යැවූ ය. ඕ තොමෝ, ඔහු වෙත ගොස් “තමුසේ කොයි වේලේ නැවත මෙ තැනින් යන්නහු දැ” යි ඇසූ ය. “අද දවස ම මස් විකුණන්නට සිදු වී තිබේ. ඒ නිසා අද පෙරළා යෑමට ඉඩ ලැබේ ද, යි නො කියැකි ය, හෙට උදෑසනින් ම අසුවල් පාරෙන් යෑමටය අදහසැ” යි වැදි තරුණයා කී විට ඈ ඒ කතාව අසා අවුත් සිටුදුවට දැන්නූ ය.
සිටුදුව එය අසා උමතු බවට පැමිණි එකියක සේ, ඇඳුම් කැඩුම් ආදිය පොදි බැඳ තබා ඉතා අලුයම නින්දෙන් නැගිට කිලිටි රෙදිකඩක් හැඳ, කළගෙඩියක් ඉණ තබා, අන් කෙල්ලන් හා එක් ව දියතොටට යන්නියක සේ, ගෙන් නික්ම ගොස්, වැදි තරුණයා කියූ මග, ඔහු එනු බලා සිටියා ය.
ඒ වේලෙහි වැද්දා ද කරත්තයත් ගෙණ එමඟ ආයේ ය. සිටුදූ කිසිත් නො බැණ, ඉණ තුබූ කළගෙඩිය හැරදමා, ඔහු පසු පස ගියා ය. වැද්දා පසු පස එන ඇය දැක “නවතුව, මා පස්සේ නො එව, යන තැනක යව” යි ඈ නවතාලන්නට උත්සාහ කළ ද ඈ ඔහු පස්සේ ම ගියා ය. ඔහු නැවතත් “නැගනිය! මම තී නො හඳුනමි, කවරකුගේ දුවක් දැ යි නො දනිමි, බැහැර යව” යි කී කල්හි “පාරේ යන මට නවතින්නැ, යි තමුසේ කියන්නහු කුමක් හෙයින් ද, මහමග කාටත් අයත් ය, යන තැනක තමුසේ යන්න, මා යන්නේ මාගේ කැමැත්ත ලෙස ය, මාගේ ගමන වළකාලීම ඔබට අයත් වැඩෙක් නො වේ, ඔබ යන තැනක ඔබ යන්න, මා යන තැනක මම යමි” යි ඕ තොමෝ කිවු ය. වැද්දා නැවැත නැවැතත් “මා පස්සේ නො එව” යි කීයේ ය.
එවර, ඕ තොමෝ “තම තමන් වෙත එන සැපතට, පයින් ගසා පන්නා හැරීම යුතු නැත, එසේ කරන්නෝ මෝඩයෝ ය. තමන් අතට පත් සැපත නො පිළිගන්නෝ කොහි වෙත් ද, යන තැනක යව” යි කියමින් ම වැද්දාගේ කරත්තයට නැග ගත්තා ය. වැද්දා ඇය ගෙණ තමන් වසන තැනට ගියේ ය.
ඇගේ මවුපියෝ, ඇය සෑම තැන සොයා බැලූහ. ඇය සොයා ගත නුහුනු ඔවුහු ඇය මළාය, යි සිතා කිහිප දවසක් ගෙවා මතකවත් දන් දුන්හ. වැද්දා හා එක් ව ගිය සිටුදූ තොමෝ ඌ හා එක් ව විසීමෙන් පිළිවෙළින් පුතුන් සත් දෙනකු වැදූය. ඔවුහු වැඩිවිය පැමිණියෝ දීග ගියහ.
මේ අතර දිනෙක, බුදුරජානන් වහන්සේ අලුයම ලොව බලා වදාළ සේක. ඒ වේලෙහි උන්වහන්සේට දූපුතුන් සහිත වූ කුක්කුටමිත්‍රයා පෙනී ගියේ ය. “කුමක් නිසා මොවුහු මාගේ නුවණැසට හසුවුනෝ දැ” යි බලා වදාළ බුදුරජානන් වහන්සේ මොවුන් කෙරෙහි වූ සෝවාන් වීමෙහි වාසනාගුණය දුටු සේක. ඒ වේලෙහි ම උන්වහන්සේ පාසිවුරු දරා, වැද්දා මළපුඩු අටවා තුබූ තැනට වැඩි සේක. එ දවස ඒ මළපුඩුවල එක ද සතෙකුත් නො බැඳුන් ය. බුදුරජානන් වහන්සේ එහි තමන් වහන්සේගේ සිරිපා සටහන් ඔබ්බා, ඒ තැනින් මඳක් ඈත්හි වූ කැලෑරොදක සෙවණෙහි වැඩ සිටියා හ.
කුක්කුටමිත්‍ර ඉතා අලුයම දුනු ඊ ගෙණ මළපුඩු අටවා තුබු තැනට ගොස්, පිළිවෙළින් මළපුඩු බලා යන්නේ, එක ද මලයෙක සතකු නො බැඳුනු බව දැක වඩාත් විපරම් කරණුයේ, ඒ අසල තුබු පා සටහන් දැක “කවරෙක් නමුත් මල බැඳි සතුන් මුදා හැරියේ වනැ” යි කෝපයෙන් ඉල්පී ඔබනොබ සොයා යන්නේ, වනරොද සෙවණෙහි හුන් බුදුරජුන් දුටුයේ ය. දැක “මල බැඳුනු සතුන් මුදා හැරියේ මූය, මූ විද මැරිය යුතු ය” යි සිතා දුනුවී ඇද ගත්තේ ය. බුදුරජානන් වහන්සේ දුනු හී ගන්නා තුරු බලා හිඳ විදින්නට නො හැකිවන සේ ඉටීමක් කළ සේක. ඔහු ඊය විදීමටත්, ඊය බාන්නටත් නො හැකි ව කටින් කෙළ වගුරුවමින් ක්ලාන්තව සිටියේ ය.
මේ අතර ඔහුගේ පුත්‍රයෝ ගෙට පැමිණියෝ, පියා නො දැක “පියා මෙතෙක් නායේ ය, එන්නට කල් යවයි, කල් යවනු යම් කිසි උවදුරක් නිසා විය යුතු ය” යි මෑනියන් විචාළාහු ය. ඕ ද “පුතුනි! මෙතෙක් නායේ කරදරයක් නිසා විය යුතු ය, ගොස් බලවු” යි ඔවුන් පිටත් කළා ය. පියා සොයා ගිය ඔවුහු දුන්න ඇද ගන්නටත් ඊය විදින්නටත් නො හැකි ව නො සෙල් වී සිටින පියා දැක “අපගේ පියාට සතුරෙක් මුණ ගැසුනේ වනැ” යි වහා ම දුනු හී ඇද ගත්හ. ඔවුහු ද බුද්ධානුභාවයෙන් කුමකුත් කරගත නො හී පියා සිටි සේ, කටින් කෙළ වගුරුවමින් සිට ගත්හ. වැදිගෑණිය තම හිමියාත් පුතුනුත් එනු කල් යන බව දැන ලේළියන් සත් දෙනාත් ගෙණ, ඔවුන් සොයා ගියා, දුනු නගා ගෙණ කටින් කෙළ පෙරමින් හුන් ඔවුන් දැක, මොවුහු දුනු ඇද ගෙණ සිටින්නෝ කවුරුන් ඉලක්ක කොට දැ, යි විට බැලූ ය.
එ කෙණහි ඕ, බුදුරජුන් එහි වැඩ සිටිනු දැක දෙයත හිස බැඳ, “මා පියා නො නසවු, මා පියා නො නසවු” මහහඬින් කෑගැසූ ය. කුක්කුටමිත්‍ර, ක්ලාන්ත ව සිටියේ ද, එහඬ අසා තරමක් සිහි ලැබ “අය්යෝ, වැඩ වැරදුනේ ය, මූ මගේ මාමණ්ඩිල, මා කළේ වර දැ” යි සිතී ය. ඔහු පුත්තු ද, “මූ අපගේ මුත්තනුල, අප කළේ ද බලගතු වරදෙකැ” යි සිතූහ. අනතුරු ව කුක්කුටමිත්‍ර, කෝපවේගය සන්සිඳුවා ගෙණ මෙත්සිත් උපදවා ගත්තේ ය.
පුත්‍රයෝ ද “මූ අපගේ මුත්තනු” යි සිතා මොළොක් බවට පැමිණියහ. එවිට වැදිමවු වූ සිටුදු තොමෝ “දුනුහී බැහැර දමා, මා පියා කමා කරවා ගණිවු” යි ඔවුනට කිවු ය. බුදුරජානන් වහන්සේ, උන් මොළොක් සිත් උපදවා ගත් බව දැන, දුනු හෙළන්නට අවසර දුන්හ. ඔවුහු බුදුරජුන් වැඳ “ස්වාමීනි! අපට කමන්නැ” යි කියා කමා කරවා ගෙණ, පසෙකට වී හුන්හ.
ඒ වේලෙහි බුදුරජානන් වහන්සේ ඔවුනට දානකථාදී වූ අනුපිළිවෙළකතාව දෙසූහ. ඒ දෙසුම් අවසන්හි පුතුන් සත් දෙනාත් ලේළින් සත් දෙනාත් සමග කුක්කුටමිත්‍ර තෙමේ සෝවන් පලයෙහි පිහිටා ගත්තේ ය. බුදුරජානන් වහන්සේ පිඬු සිඟා හැසිර පස්වරුයෙහි වෙහෙරට වැඩි සේක. ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ “ස්වාමීනි! මෙතෙක් කො තැනක වැඩි සේක් දැ” යි උන්වහන්සේ විචාළාහුය. “ආනන්‍ද මම කුක්කුටමිත්‍රයන් වෙතට ගියෙමි” යි වදාළ කල්හි “ස්වමීනි! භාග්‍යවතුන් වහන්සේ ඔහු සතුන් නො මරන්නකු කළ සේක් දැ” යි ඇහුහ. “ඔව් ආනන්‍ද! කුක්කුටමිත්‍ර, මගෙන් බණ අසා දූ පුතුනුත් සමග නො සැලෙන සැදැහයෙහි පිහිටා තුනුරුවන්හි සැක නැත්තේ සතුන් නො මරන්නෙක් වී ය” යි වදාළ සේක.
එවිට භික්‍ෂූන් වහන්සේලා “ස්වාමීනි! ඔහුට අඹුවක් සිටී දැ” යි ඇසූහ. “ඔව්, ඔහුට අඹුවක් සිටියි, ඕ කුලදුවක් වූවා, සෝවන් පලයෙහි ද, පිහිටා සිටින්නී ය” යි වදාළ කල්හි භික්‍ෂූන් වහන්සේලා “කුක්කුටමිත්‍රගේ අඹු කුඩා අවදියේ ම සෝවාන් පලයට පැමිණ දීග ගියා, පුතුන් සත් දෙනකු ලැබූ ය, ඕ, මෙතෙක් දවස්ම තම හිමියාට සතුන් මරන්නට දුනු ඊ අඩවිය මළපුඩු දැල් ආදිය සපයා දුන්නී ය, ඔහු ඈ එළ වූ ඒ මරුවැල් ආදිය ගෙණ ගොස්, මුවන් හූරන් ඈ සතුන් මැරී ය, කිම, සෝවන් වූවෝ සතුන් මරත් දැ” යි කතාවක් ඉපද වූහ.
ඒ වේලෙහි එහි වැඩි බුදුරජානන් වහන්සේ “මහණෙනි! සෝවාන් වූවෝ සතුන් නො මරති, ඕ, හිමියාට කීකරු වන පිණිස එසේ කළා ය, මා දුන් මේ උපකරණ ගෙණ ගොස් සතුන් මරාවා, යි සිතෙක් ඇයට කිසිවිටක නො උපන්නේ ය, අල්ලෙහි වණයක් නැති කල්හි විෂ අතට ගත්තහුට, අතට ගත් ඒ විෂයෙන් විපතක් නො වන්නේ ය, අතෙහි වණ මුඛයක් නැති බැවින් අතට ගත් විෂ ඇඟ පැතිර නො යන්නේ ය, එ පරිද්දෙන් පව් අදහස් නැති බැවින් පව් නො කරන්නහුට දුනුහී ගෙණැවිත් දුන් තරමින් පවක් නො වන්නේ ය, විෂ කෑමෙහි අදහසක් නැති ව අතට ගන්නා විෂයෙන් විපතක් නො වන්නා සේ, පව් අදහස් නැති ව දුනු හී ගෙණවුත් දුන් පමණින් පවක් වන්නේ නො වේ ය” යි වදාරා අනුසන්‍ධි ගළපා මේ ධර්‍මදේශනාව කළ සේක:
අල්ලෙහි වණයෙක් නො වන්නේ නම්, අල්ලෙන් විෂ ගන්නේ ය, විෂ, අල්ලෙහි වණයක් නැත්තහු අනුව නො යයි. (එසේ) පව් නො කරන්නහුට පවක් නැත.
පාණිම්භි ච වණො න අස්ස = අල්ලෙහි වණයෙක් නො වන්නේ නම්.
පාණි යනු, අතට නමෙකි. එය වෙසෙසක් නො සලකාය. විශේෂ විසින් පාණි යනු, රූඪ වූයේ අලිලෙහි ය. මෙහි ද එයින් අල්ල කිය වේ.
‘පණති වොහරති එතෙනා ති = පාණි’ යනු එහි අරුත් වැකිය ය. ගණුදෙනුවෙහි ඉවහල් වූ අවයවය, පාණි නම්.
‘සරීරං වණයනි විචුණ්ණෙති ජිද්දාවඡිද්දං කරොතීති = වණො’ සිරුර සුණු කරන්නේ, කුදුමහත් සිදුරු කරන්නේ වණ, එය, ශාරීරික - ආගන්තුක විසින් දෙපරිදිය. ශාරීරිකව්‍රණයෝ වා පිත් සෙම් ලේ කෝපයෙන් හට ගණිත්. මේ එකක්හුගේ කෝපය වුවත් වණ හට ගැණීමට පමණ ය. එහෙයින් මොවුන්ගේ සන්නිපාතයෙන් වණ හට ගැණුම කිය යුතු නැත. ආයුධ ඈ පහර ලැබීමෙන් කණුකටු ඇණීමෙන් ගල්මුල් හැපීමෙන් හට ගන්නා වන ආගන්තුක ය. විස්තර වෙදපොත් ඇසුරෙන් දත හැක්කේ ය. මෙහි ලා දෙවැදෑරුම් වණයෝ ම ගැණෙත්.
හරෙය්‍ය පාණිනා විසං = අල්ලෙන් විෂ අර ගන්නේ ය.
‘සොණිතපථගතං විසති දෙහමිති = විසං’ සිරුර කා වැදී යන්නේ විස. එහි ස්ථාවර - ජඞ්ගම - කෘත්‍රීම - යෝගජ - වෘශ්චික, යි ප්‍රධානභේද පසෙකි. අවාන්තර භේද රාශියක් වේ. [1]
‘නඅබ්බණං විසං අන්‍වෙති’ = විෂ, වණ නැත්තහු අනුව නො යයි.
‘න අබ්බණං විසං අත්‍වති’ = යනු පද බෙදුම ය. යමකුගේ අල්ලෙහි වණයෙක් නො වේ නම්, ඔහු විෂයක් අතට ගත්තේ ද ඒ විෂය ඔහුගේ සිරුරෙහි පැතිර නො යයි. විෂය ඇඟ කා වැදී නො යයි. අබ්බණ, යි කියේ වණ පිළියල් නැත්තේ ය.
නත්‍ථි පාපං අකුබ්බතො = පව් නො කරන්නහුට පව් නැත්තේ ය.
අල්ලෙහි වණයක් නැති කෙනකු අතට ගත් විෂ, ඔහු සිරුර තුළට කා වැදී නො යන්නා සේ, පව්කම් නො කරන්නකු පව්කම් කරන්නකු අතට, දුනුහී හුල් දැල් ආදී සතුන් මැරීමට ගන්නා උපකරණ දෙන ලද්දේ ද, ඒ දුන්නහු පව්කම් නො කරණ බැවින් ඔහුගේ සිත්තුළ අකුසලචේතනාවන්ගේ පහළවීමෙක් නැත්තේ ය. එහෙයින් ඕහට පවෙක් නො වන්නේ ය. පාපචේතනා නැත්තහුට පවෙක් නැත.
මේ ධර්‍මදේශනාවෙන් පසු දවසෙක, භික්‍ෂූන් වහන්සේලා ‘දූපුතුන් සහිත වූ කුක්කුටමිත්‍රට සෝවන් වීමෙහි හේතුව කිම, කුමක් නිසා, ඔහුට ඒ ලැබුණේ ද, කුමක් නිසා ඔහු වැදිකුලයෙහි උපන්නේ දැ’ යි කතාවක් ඉපිද වූහ. එකල්හි බුදුරජානන් වහන්සේ ඔවුන් පිළිබඳ මේ යටගියාව මෙසේ වදාළ සේක:
මහණෙනි! යටගිය දවස කසුප් බුදුරජුන්ගේ කාලයෙහි උන්වහන්සේ පිරිනිවී ගිය කල ශ්‍රීදේහය සෑයෙහි නගා දවා ධාතූන් ගෙණ භක්තිමත් මනුෂ්‍යයෝ ධාතුචෛත්‍යයක් කරවන්නට කටයුතු පිළියෙල කළහ, ඔවුහු ඒ චෛත්‍යය හිරියල් අඹරා කුඩු කොට තලතෙල් ලා හනා ගඩොල් සේ කැටි කොට පුළුස්සා එහි ස්වර්‍ණාලේපය දී, සෑය ඇතුළ ඒ ගඩොලින් බැඳ පිටත වටය එකලා ඝනරනින් බැන්දාහ, එහි එක ගඩොල ලක්‍ෂයක් අගනේ වී ය, මෙසේ ඔවුහු ධාතු නිධානය තෙක් ම සෑයෙහි කළ යුතු සියලු කටයුතු කරවා රැස් වී ධාතු නිධාන පුණ්‍යකර්‍මය සඳහා මහත් ධනයක් වියදම් කළයුතු බැවින්, පින්කම කවරකුගේ ප්‍රධානත්‍වයෙන් කළ යුතු දැයි සාකච්ඡා කළහ, මේ සාකච්ඡාවේදී එක් ගම් වැස්සෙක් “මා මේ පින් කමේ මූලිකයා විය යුතු ය” යි සිතා පින්කම වෙනුවෙන් කෙළක් මසුරන් පරිත්‍යාග කළේ ය, එහි සිටි නුවර වැස්සෝ ඒ පරිත්‍යාගය දැක, මෙනුවර වසන අපේ ධනපතියා, උපන්දා සිට නො කා, නො බී, නො දී, මිලමුදලට ම වහල් ව, දුප්පතුන් තළා පෙළා නඩුහබ කියමින් මුදල් ම රැස් කරයි, ඔහුට වුවමනා මුදල් තරකිරීම ය, මෙබඳු මහපින්කමක මූලිකයා වන්නට මොහුට සිත් නො උපදියි, අර පිටිසර මිනිසා, කෙළක් මසුරන් දී මේ පින්කමේ ප්‍රධානයා වී යයි පරිභවමුඛයෙන් කතා කළහ.
නාගරික ධනපති තෙමේ මිනිසුන් කළ මේ කතාව අසා, “මම මෙහි නායක වෙමි” යි ද කෙළක් දුන්නේ ය, එකල අනෙකා තුන් කෙළක් දුන්නේ ය, එය දැක නාගරිකයා සිවු කෙළක් දුන්නේ ය, මෙසේ මොහු තරඟයට සේ ක්‍රමයෙන් වඩා අට කෙළක් දුන්නේය, පිටිසර මිනිසාගේ වත්කම නව කෙළක් ම වීය, එහෙයින් ඔහු කල්පනාවට බැස්සේය, නුවර වැස්සාගේ වත්කම පමණ නො කොට හැකි වි ය, නිධන් ගතධනය සතළිස් කෝටියකි, ඔහු නිතර ගණුදෙනුවෙහි යොදා තුබූ ධනයෙහි පමණ නැත්තේ ය, මේ බව දැන සිටි පිටිසර මිනිසා “මම මේ ලෙසට නව කෙළක් දෙන්නෙමි, දස කෙළක් දෙන්නෙමි, යි වඩා ගියෙම් නම්, මේ තරඟයෙන් මට ජයගණු බැරි ය, මොහු හා මට මොනලෙසිනුත් තරඟ කරණු බැරිය, මාගේ දුප්පත්කම මෙයින් එලිදරවු වන්නේ ය, එය මට මදිකමෙකි, අනුනට නො හැඟෙන සේ එය කළ යුතු ය” යි සිතා “මම අඹුදරුන් හා මෙතෙක් ධනය දෙන්නෙමි, ධාතු චෛත්‍යය උදෙසා ම දෙන්නෙමි, දැන් ධනය දීමෙන් වැඩෙක් නැත, එහෙයින් මම අඹුදරුන් ගෙණ ධාතුචෛත්‍යය සතු වෙමි” යි දාසෑය සතු වි ය.
එවිට නුවර වැස්සෝ මුදල් කා අතත් තිබේ, එහෙයින් මේ පිණිස මුදල් ලබා ගත හැකි ය, ඒ අපහසු නො වේ, මේ මිනිහා කළේ එබන්දෙක් නො වේ, ඔහු තමන් ඇතුළු මුළු පවුලම ධාතු චෛත්‍යය සතු කළේ ය, එය හැම දෙනකුට ම කළ හැකි නො ව්, එහෙයින් මේ පිටිසර මිනිහා ම මේ මහා පින්කමෙහි ප්‍රධානයා කළ යුතුය, මුදල් තුබූ පලියට කෙනෙකු ප්‍රධාන කිරීම සුදුසු නො වේ, මුදලට වහල්වීම මිනිස්කම නොවේ, එබැවින් අපි මේ ආත්ම පරිත්‍යගය කළ පිටිසර මිනිහා ම මෙහි ප්‍රධාන කරමු, යි නියම කොට, ඔහු එහි ප්‍රධාන කළහ,
එ තැන් සිට ඔහු මුළු පවුලත් සමග සෑයට දාස වී ය, මුළු පවුල, දෙ මාල්ලන් හා සොළොස් දෙනෙකි, නුවර වැස්සෝ එයින් නො පසුබට ව මුදල් එකතු කොට ඒ සොළොස් දෙනා බරට මුදල් සෑයට පුදා ඔවුන් හැම දෙනා දාසභාවයෙන් මුදාලූහ, එහෙත් ඔවුහු හැමදෙන දිවි ඇති තෙක් සෑය පිළිදැගුම් කරමින් සිට මිය පරලොව ගියෝ, දෙව් ලොව උපන්හ. එ තැන් සිට බුද්ධාන්තරයක් දෙව්ලොව ම හැසුරුනු ඔවුනතුරෙන් නායකයාගේ බිරිය අප බුදුරජුන් දවස දෙව්ලොවින් අවුත් රජගහා සිටුගේ දුවක් ව උපන, ලදරු වියේ ම ඕ සොවන් වූ ය, ඇයගේ හිමියා නොයෙක් ජාතීන්හි ඉපිද අවුත්, අප බුදුන් දවස වැදිකුලයෙහි උපන, උන් පෙර එක් ව විසීම නිසා, වැදිගැටයා දුටුදා ම ඒ පූර්‍වස්නේහය තෙමේ සිටුදු යටත් කොට ගත්තේ ය, වැදිකුලයට ගියා ද, ඒ පුර්‍වස්නේහය නිසාම ය, පුත්තු දෙව්ලොවින් අවුත් ඇයගේ කුස පිළිසිඳ ගත්හ. පුතුගේ භාර්‍ය්‍යාවෝ ද, ඒ ඒ තැන උපන්නේ වැඩි විය පැමිණ වැදිගෙට ම ආහ, මෙසේ ඒ සියල්ලෝ කසුප් බුදුරජුන් දවස සෑය පිළිදැගුම් කළ පිණෙන් සෝවාන් පලයට පැමිණියාහු ය යි.
කුක්කුටමිත්‍රව්‍යාධ වස්තුව නිමි.
9-7 ‘විසං ජීවිතුපාමොව’ යනු බලනු. ↑