24-9 උපක ආජීවක පිළිබඳ කථා පුවත

සබ්බාභිභූ සබ්බවිදූ’හමස්මි

සබ්බෙසු ධම්මෙසු අනූපලිත්තො

සබ්බඤ්ජහො තණ්හක්ඛයෙ විමුත්තො

සයං අභිඤ්ඤාය කමුද්දිසෙය්‍යං.

මම් සියලු (ත්‍රෛභූමක) ධර්‍මයන් මැඩැලූයෙම් වෙමි. සියලු (චාතුර්භූමක) ධර්‍මයන් දන්නෙම් වෙමි. සියලු (ත්‍රෛභූමක) ධර්‍මයන්හි (තෘෂ්ණදෘෂ්ටිලේපයෙන්) අනුපලිප්තයෙමි. (නො ඇලිනිමි.) සියලු (ත්‍රෛභූමක) ධර්‍ම පහ කොට සිටියෙමි. තෘෂ්ණාක්‍ෂයයෙහි (රහත් පෙලෙහි) (අශෛක්‍ෂ විමුක්තියෙන්) මිදුනෙමි. ඒ මම් (චතුස්සත්‍යයන්) තෙමේ ම ප්‍රත්‍යක්‍ෂ කොට දැන අන් කවරක්හු නම් සිය ගුරුහු කොට කියම් ද?

"සබ්බාභිභූ” යන මේ ධර්ම දේශනය ශාස්තෲන් වහන්සේ අතර මග හමුවූ උපක ආජීවක නිමිති කරගෙන පැවසූහ.

එක් සමයක බුදුහු බුද්ධත්වයට පත්ව බෝමැඩ සති හතක් ගතකොට තමන් වහන්සේගේ පාසිවුරු ගෙන ධර්මචක්‍ර දේශනය පැවැත්වීම සඳහා බරණැස බලා යොදුන් දහඅටක් දුර මගට පිළිපන්නේ . අතර මගදී "උපක ආජීවකයා හමුවුනි. ඔහු ද බුදුන් දැක ඇවැත්නි ඔබේ ඉන්ද්‍රියන් සුපසන්ය සම පැහැපත්ය. පිරිසිදුය කවුරුන් උදෙසා ඔබ පැවිදි වූයේද? ඔබගේ ශාස්තෘවරයා කවුරුන්ද? ඔබ කාගේ ධර්මයක් රුචිකරන්නේ දැයි විමසුහ. අනතුරුව බුදුහු මට උපාධ්‍යවරයෙක් හෝ ආචාර්යවරයෙක් හෝ නැත කියා මේ ගාථාව පැවසුහ.

තුලොව සියලු දෙය - මැඩ පැවැත්වූ දෙමි මම

සකර දමැ නො ඇලී - සියලු දේ දැන ගත්තෙමි

සියල්ලම දුරලා - රහත් පලලද මේමට

ගුරුවරයෙක් වෙනින් - මා හට කෙසේ වන්නේ ද

සියළු හේතු ධර්ම මැඩ පැවත්වීමි චාතුර්භුමික ධර්ම කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකුත්තර සියල්ල දැන ගතිමි. තණ්හා දෘෂ්ටි ආදි සියළු ධර්මයන්හි නො ඇළුනේ සියල්ල අත්හැර තෘෂ්ණා දුරුකර මිදුනේ. ස්වයං අවබෝධය ඇති මට කවර ගුරුවරයෙක්ද? මාගේ ගුරුවරයා වශයෙන් කවරෙක් කියම්ද?

එහි සබ්බාභිභූ සියළු ත්‍රෛභූමික ධර්ම මැඩ පැවැත්වූ සබ්බවිදූ - දැනගත් චාතුර් භුමික ධර්ම ධම්මෙසු තණ්හාදී සියළු ත්‍රෙභූමික ධර්මයන්හි තණ්හා දිට්ඨි ආදියෙහි නො ඇලුනේ, සබ්බංජහො සියලු ත්‍රෙභූමක ධර්මයන් හැර සිටියේ. තණ්හක්ඛය තෘෂ්ණා නැතිකරලීම් විමුනෙතා තණ්හාව නැති කිරීමෙන් උපන් අර්හත්භාවය සසරින් මිදීම ඇති සයං අභිඤ්ඤාය තමා විසින්ම අවබෝධ කරගෙන විශේෂ ඥාණ ලද මට කවර නම් ගුරුවරයෙක්ද කවර නම් උපාධ්‍යායෙක්ද කවුරුන් කියා දෙසන්නේද?

දේශනාව අවසානයේ උපක තෙම බුදුන්ගේ වචනයට සතුටු නොවීය. ප්‍රතික්ෂේප කළේද නැත. හිස සලා දිව නටවා හුදෙකලා මාර්ගයට පිවිස එක්තරා වැදි නිවාසස්ථානයක් කරා පිටත්ව ගියේය. (වංගකාර ජනපදයට)

ධර්ම දානය පිණිස බෙදාහැරීමට link link එකක් copy කර ගැනීම සඳහා share මත click කරන්න.