සිල්වතුන් ගුණවතුන් තෝරාගෙන ඔවුනට දන් දෙන ස්වභාවය විචෙය්‍යදානතා නමි. තමන් ලබාගෙන තිබෙන වස්තුවෙන් සතයකුදු අඩුවීම ඉවසිය නො හෙන ලෝභියා වෙත ප්‍රතිග්‍රාහකයකු පැමිණි කල්හි සමහර විට ඒ ලෝභය ඔහු ගේ සන්තානයෙහි විචෙය්‍ය දානතා වේශයෙන් පහළ වේ. ඒ ලෝභයේ මෙහෙයීමෙන් ඔහුට මෙසේ සිතෙන්නේය. බුදුන් වහන්සේ විසින් “විචෙය්‍යදානං සුගතප්පසත්ථං” යන ආදීන් විමසා දන් දීම ම වර්ණනා කරන ලදි. “මේ ප්‍රතිග්‍රාහකයා දන්දීමට සුදුසු සිල්වත් ගුණවත් කෙනෙක් ද? දුශ්ශීලයෙක් ද? ශ්‍රමණ වේශයෙන් හැසිරෙන සොරෙක්දැ’යි කවුරු දනිත් ද? නාඳුනන මොහුට මේ දුටු පළමු වතාවේ ම කෙසේ දෙන්නෙම්ද? විමසා සුදුසු නම් පසුව දෙන්නෙමැ”යි සිතා, දීම කල් තබන්නේ ය. ඔහු ගේ දීමත් එයින් ම කෙළවර වන්නේ ය.