ආවාස මච්ඡරිය ය, කුල මච්ඡරිය ය, ලාභ මච්ඡරිය ය, වණ්ණ මච්ඡරිය ය, ධම්ම මච්ඡරිය ය යි මාත්සර්යය පඤ්ච ප්‍රකාර වේ. මේ පඤ්චප්‍රකාරය, අර්ථ කථාවෙහි වර්ණනා කර තිබෙන්නේ ශ්‍රමණයන්ගේ වශයෙනි.
ප්‍රත්‍යය සුලභ වූ යම් ආවාසයක (විහාරස්ථානයක) වාසය කරන්නා වූ භික්ෂුවක් එතැනට සිල්වත් වූ ද අන් භික්ෂුවකගේ පැමිණීම නො කැමතිවේ ද, පැමිණියේ ද වහා යේවායි කියා ද, එය “ආවාසමච්ඡරිය” නම් වේ. කලහකාරාදි භික්ෂූන්ගේ එහි වාසයට නො කැමතිවීම ආවාසමච්ඡරිය නොවේ.
තමාගේ ඥාති කුලයකට හෝ උපස්ථායක කුලයකට හෝ අන් භික්ෂුවකගේ එළඹීම නො කැමති වේ නම් එය කුලමච්ඡරිය නම් වේ. කුල දූෂණාදිය කරන්නා වූ පාපී පුද්ගලයකුගේ පැමිණීම නො කැමතිවීම කුලමච්ඡරිය නොවේ. එබඳු පුද්ගලයෝ ඔවුන්ගේ ප්‍රසාදය බිඳ දමති. ප්‍රසාදය ආරක්ෂා කරන්නට සමර්ථ වූ සිල්වත් වූ භික්ෂුවගේ පැමිණීම නොරිසිවීම ම කුලමච්ඡරිය වේ.
අන් සිල්වත් භික්ෂුවක් සිව්පසය ලබන කල්හි ඒවා ඔහු නො ලබාවායි සිතන්නා වූ භික්ෂුවට ලාභ මච්ඡරිය වේ. යම්කිසි භික්ෂුවක් සැදැහැවතුන් දෙන සිව්පසය විනිපාතනය කෙරේ ද, තණ්හාව නිසා පරිභෝග නො කර තබා ගැනීමෙන් හෝ නුසුදුසු අයුරින් පරිභෝග කිරීමෙන් හෝ විනාශ කෙරේ ද, කුණුවී යතත් අනෙකකුට නොදේ ද, එබන්දකු දැක මෙතෙම මේවා නො ලබා අන් සිල්වතෙක් ලබා නම් මේවායින් ප්‍රයෝජනවේය යි සිතන්නාහට ලාභමච්ඡරිය නො වේ.
වර්ණය, ශරීරවර්ණය හා ගුණවර්ණය යි දෙවැදෑරුම් වේ. ශරීර වර්ණයෙහි මසුරු වූයේ අසවලා ප්‍රසාදජනක රූපය ඇත්තෙක යනාදීන් අනෙකකුගේ රූප සම්පත්තිය කියන කල්හි එයට නො කැමති වෙයි. ගුණ වර්ණයෙහි මසුරු වූයේ අසවල් භික්ෂුව සිල්වත්ය යනාදීන් අනෙකකුගේ ගුණ කියන කල්හි එයට නො කැමති වෙයි.
ධර්මය ද පර්‍ය්‍යාප්ති ධර්මය, ප්‍රතිවේධ ධර්මය යි ද්විප්‍රකාර වේ. එහි ප්‍රතිවේධ ධර්මය යනු මාර්ග ඵලයෝය. මාර්ග ඵලලාභී ආර්‍ය්‍ය ශ්‍රාවකයෝ ඒ ධර්මයට මසුරු නො වෙති. අන්‍යයන් ඒ ධර්මය ප්‍රතිවේධ කිරීමට සෑම කල්හි ම කැමති වෙති. මච්ඡරියය හටගනුයේ පර්‍ය්‍යාප්ති ධර්මය පිළිබඳව ය. ධර්ම මච්ඡරියයෙන් යුක්ත වූයේ තමා දත් ධර්මය අනුන් දැනගනු කැමති නො වෙයි. ධර්මය කියා දීමට නුසුදුසු පුද්ගලයකුට තමා දත් ධර්මය කියා නොදීම ධම්මමච්ඡරිය නොවේ.
ගෘහස්ථයන්ගේ වශයෙන් මච්ඡරිය පස මෙසේ දත යුතු. බොහෝ දෙනකුට අයිති ගෘහයක හෝ ඉඩමක වාසය කරන්නා වූ තැනැත්තා එතැනට අන් හිමියකුගේ පැමිණීම නො කැමති වේ නම්, පැමිණි කල්හි ද වහා යේවා යි සිතා නම් එය ආවාස මච්ඡරිය යි.
තමා ආශ්‍රය කරමින් උපකාර ලබන්නා වූ නෑ ගෙයකට හෝ මිතුරු ගෙයකට හෝ අන් නෑයකු ගේ මිතුරකුගේ පැමිණීම නො කැමතිවීම කුල මච්ඡරිය යි.
අනෙකකු විසින් යම් කිසිවක් කිරීමෙන් ලාභ ලබනු දුටු කල්හි ඒ ලාභ ඔහුට නො ලැබී තමාට හෝ තමාගේ කෙනකුට ලැබේවා යි සිතීම ලාභමච්ඡරිය යි. වණ්ණමච්ඡරිය, ධම්මමච්ඡරිය දෙක ගෘහස්ථයන්ට ද එසේම ය.