නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
රැවටීම සත්ත්වයාගේ ස්වභාවයකි. කොතරම් උගතකු නැණවතකු වුවද අසර්වඥ නම් හෙතෙමේ සමහර කරුණුවල දී රැවටේ. මන්ද බුද්ධිකයෝ වනාහි නොයෙක් කරුණුවලට නිතර නිතර රැවටෙති. රැවටීම වනාහි අන් පුද්ගලයකුට හෝ වස්තුවකට හෝ රැවටීම ය, තමාට ම රැවටීම යයි දෙපරිදි වේ. එයින් අනුන්ට හා අන් දේවලට රැවටීම ලෝකයේ කවුරුනුත් දන්නා ප්‍රට කරුණකි. තමාට ම තමා රැවටීම වනාහි සෑම දෙනා ම නො දත් ගුප්ත කරුණකි. එක්කෙනකු විසින් අනෙකකු රවටන්නට තැත් කළත් අනෙකා නුවණැතියෙක් වී නම් රැවටිල්ලට ඔහු හසුවනුයේ කලාතුරකිනි. හසුවූයේ ද ඔහුට වැඩි කල් නො ගොස් ඒ බව අවබෝධ වේ. ඒ බව අනෙකකු විසින් කියුව හොත් ඔහුට වහා ම එය අවබෝධ වේ.
බොහෝ උගත්තු ද නුවණැත්තෝ ද නොයෙක් විට තමන්ට රැවටෙති. මන්දබුද්ධිකයන් ගේ තමන් ගැන රැවටීම කියනුව කිම? තමා ගැන රැවටුණු තැනැත්තාහට අනුනට රැවටුණ තැනැත්තාට මෙන් ඒ බව පහසුවෙන් අවබෝධ නො වේ. බොහෝ සෙයින් ඔහුට ඒ රැවටිලි මුළු ජීවිත කාලයේ දී ම නො වැටහේ. ඔහු ගේ රැවටුම තේරුම් ගත් අන් නුවණැතියකු විසින් ඒ බව ඔහුට කියූවත් ඔහු එය නො පිළිගන්නේය. එබැවින් අනුන්ට රැවටීමට වඩා මහත් වූ නපුරු වූද රැවටිල්ල තමා ගැන ම රැවටීම බව කිව යුතු.
මෙහි තමාට තමා රැවටීම යැයි කියනු ලබනුයේ අන්‍ය ධර්මයක වේශයෙන් අන්‍ය ධර්මයක ආකාරයෙන් සත්ත්ව සන්තානයෙහි පහල වන සිත්වලට රැවටීම ය. ස්වීය තත්ත්වය වසා ගෙන අන්‍ය වේශයකින් සිත් පහළ වනුයේ නන් වෙස් ගන්නා කෙලෙසුන් හා සම්ප්‍රයෝගයෙනි. ආර්‍ය්‍ය මාර්ග ඥානය උපදවා එහි බලයෙන් මතු නූපදනා පරිද්දෙන් කෙලෙසුන් නො නැසූ පුද්ගලයා තුළ, ඒ කෙලෙසුන් කොතෙක් කල් යටපත් වී තිබුණත් කොතරම් උත්සාහයකින් යට පත් කරන ලදුවත් කෙලෙසුන්ට හිත වූ අරමුණක් මුණ ගැසුණු කල්හි ඒ ක්ලේශයෝ උපදනාහු ය. කෙලෙසුන් ගේ හා පව් කම්වල ආදීනවය දැක්වෙන ධර්මයන් ඇසීමෙන් ද, කෙලෙසුන් හා පව් පිළිකුල් කරන සත්පුරුෂයන් ඇසුරු කිරීමෙන් ද, නුවණ වැඩීමෙන් ද, සත්ත්වයන් කෙරෙහි කෙලෙසුන්ට හා පව්කම්වලට බියක් පිළිකුලක් ඇති වේ. එය වනාහි කෙලෙසුන්ටත් පව්කම්වලටත් විරුද්ධ හැඟීමකි.
ආරක්ෂකයකු ඇත්තා වූ ගෙයකට සොරුන්ට පිවිසීමට අවකාශ මඳ වන්නාක් මෙන් ක්ලේශයන්ට විරුද්ධ වූ ඒ හැඟීම ඇත්තා වූ තැනැත්තාගේ සන්තානයෙහි ක්ලේශයන් ගේ පහළ වීමටත් පහළ වී ක්‍රියාකාරී වීමටත් අවකාශ මඳ වන්නේ ය. එකල්හි ක්ලේශයෝ ඒ පුද්ගලයා ගේ සන්තානයෙහි පහළ වීමටත් ක්‍රියාකාරී වීමටත් අන් මගක් ගනිති. එනම් යම්කිසි කුශල ධර්මයක වේශය, කුශල ධර්මයක ආකාරය ගැනීම ය.
ක්ලේශයක් තමා ගේ ආකාරය සඟවා යම් කිසි කුශල ධර්මයක වේශයෙන් උපන් කල්හි, කෙලෙසුන් පිළිකුල් කරන කෙලෙසුන්ට බිය වන තැනැත්තා රැවටෙන්නේ ය. හෙතෙම ‘කුශල ධර්මයකැ’යි සිතා එය පිළිගන්නේ ය. එයට ස්වසන්තානයෙහි වැඩෙන්නටත් ක්‍රියාකාරී වීමටත් ඉඩ දෙන්නේ ය. මෙසේ තමන්ගේ නියම ආකාරය සඟවා යම් කිසි කුශල ධර්මයක වේශයෙන් පහළ වන්නා වූ ක්ලේශයෝ වඤ්චක ධර්ම නම් වෙති. තමන්ගේ සන්තානයෙහි ම හටගන්නා වූ මේ ක්ලේශයන්ට රැවටීමට ලෝක ව්‍යවහාරය අනුව කියන කල්හි තමාට තමා රැවටීම ය යි කියනු ලැබේ.
කෙලෙසුන් කෙරෙන් දුරු ව පාපයෙන් වෙන් ව ශුද්ධ ජීවිතයක් ගත කරනු කැමැත්ත ඇති ගිහි පැවිදි බොහෝ සත්පුරුෂයෝ වඤ්චක ධර්ම නම් වූ කුශල වේශයෙන් පැමිණෙන මේ ක්ලේශයන්ට රැවටී, ශුද්ධ ව විසීමේ අපේක්ෂාව තිබියදී ම ඒ ක්ලේශයන්ට ඉඩ දීම් වශයෙන් සමහර විට කෙලෙස් වඩති.
කෙලෙස් සහිත සිතිවිලි සිතති. ඒ ක්ලේශයන්ට වසඟ වීමෙන් “පින් කරමි” යන අදහසින් පව් කරති. ආත්මශුද්ධිය අපේක්ෂා කරන පින්වතුන්ට කෙලෙසුන් ගේ නන් වෙසින් පැමිණීම මහත් බාධාවකි. ක්ලේශයන් ගේ වඤ්චක ස්වභාවය ගැන නො දත් පුද්ගලයෝ මේ ක්ලේශ වඤ්චනයට වඩාත් හසු වෙති. ආත්ම ශුද්ධය අපේක්ෂා කරන පෘථග්ජනයන්හට ඒ ශුද්ධිය මැනවින් රැක ගැනීමට ඇත්තා වූ උපාය නම්, ක්ලේශයන් ගේ වඤ්චක ස්වභාවය ගැනත් ඒ ඒ ක්ලේශයන් ගන්නා වේශයෙනුත් මැනවින් දැන ගැනීම ය. එබැවින් ආත්ම විශුද්ධිය අපේක්ෂා කරන පින්වතුන්ට දැන ගැනීම පිණිස ක්ලේශ සඞ්ඛ්‍යාත පාප ධර්මයන් නා නා කුශල ධර්මයන් ගේ වෙස් ගන්නා සැටි දක්වනු ලැබේ. එය ආදරයෙන් කියවා වඤ්චක ධර්ම පිළිබඳ අවබෝධයක් ඇති කර ගනිත්වා!