ප්‍රස්තාවනා - වඤ්චක ධර්ම

වඤ්චක ධර්ම නමැති මෙම ග්‍රන්ථය චිත්ත චෛතසික සඞ්ඛ්‍යාත පරමාර්ථ ධර්මයන් ගේ එක්තරා තත්ත්වයක් දක්වන්නක් බැවින් අභිධර්ම ග්‍ර‍න්ථයකි. මෙම ග්‍ර‍න්ථයෙහි දක්වනුයේ ඒ චිත්ත චෛතසිකයන්ගේ වඤ්චකත්වය ය. චිත්තය වනාහි අති විචිත්‍ර‍ දෙයකි. එයට වඩා විචිත්‍ර‍ වූ තවත් දෙයක් ලෙව්හි නැත. එබැවින් තථාගතයන් වහන්සේ විසින් :

‘‘දිට්ඨං වො භික්ඛවේ! චරණං නාම චිත්තන්ති? එවං භන්තේති. තම්පි ඛො භික්ඛවෙ! චරණං නාම චිත්තං චිත්තේනේව චිත්තිතං තෙනාපි ඛො භික්ඛවෙ! චරණේන චිත්තේන චිත්තමෙව චිත්තතරං” යනු ද,

“නාහං භික්ඛවෙ! අඤ්ඤං එකනිකායම්පි සමනුපස්සාමි එවං චිත්තං යථයිදං භික්ඛවෙ! තිරච්ඡානගතා පාණා. තෙහි පි ඛො භික්ඛවෙ! තිරච්ඡානගතෙහි පාණෙහි චිත්තමෙව චිත්තතරං” යනු ද වදාරන ලදී.

සෝමනස්ස සහගත දෘෂ්ටි සම්ප්‍ර‍යුක්ත අසංස්කාරික සිත වූ මේ පළමුවන අකුශල චිත්තය සාමාන්‍යයෙන් එකක් වුව ද පුද්ගලයන් දහසක් තුළ ඇති වනුයේ දස දහස් ආකාරයකිනි. ලක්ෂයක් තුළ ඇති වනුයේ ආකාර ලක්ෂයකිනි. එක් පුද්ගලයකු තුළ ම වුව ද අවස්ථා දහසකදී ඇතිවනුයේ ආකාර දහසකිනි. අවස්ථා ලක්ෂයකදී ඇති වනුයේ ආකාර ලක්ෂයකිනි. සිත පමණක් නොව එය හා උපදනා වූ ලෝභාදී චෛතසිකයෝ ද, සිත සේ ම විචිත්‍ර‍ වෙති. සාමාන්‍යයෙන් එකක් වූ ලෝභය පුද්ගලයන් දහසක් කෙරෙහි උපදිනුයේ දහස් ආකාරයකිනි. දස දහසක් තුළ උපදිනුයේ ආකාර දස දහසකිනි. ලක්ෂයක් තුළ උපදිනුයේ ආකාර ලක්ෂයකිනි. එක් පුද්ගලයකු තුළ ඉපදීමෙහි ද ඒ ඒ අවස්ථාවල සැටියට නොයෙක් ආකාර වන්නේ ය. මේ චිත්ත චෛතසිකයන්ගේ විචිත්‍ර‍ත්වයයි.

මෙසේ විචිත්‍ර‍ වූ චිත්ත චෛතසිකයන් අතුරෙන් අකුශල චිත්ත චෛතසිකයෝ සමහර අවස්ථාවලදී ඒවා යම් කිසිවකුගේ සන්තානයෙහි උපදින්නාහු නම් ඒ පුද්ගලයාට ඒවා අකුශල ධර්මයන් බව නො දැනෙන තරමට කුශල ධර්මයෝයයි පුද්ගලයන් රවටති. උපන් පුද්ගලයාට කුශල ධර්මයකැ යි රැවටීමට හේතු වන සැටියට කුශල ධර්මයන් ගේ ආකාරය ගෙන උපදින්නා වූ ඒ ලෝභාදී අකුශල ධර්මයෝ වඤ්චක ධර්ම නම් වෙති. ‘‘පරාර්ථ කාමතා වේශයෙන් වඤ්චක ලෝභය දාතුකාමතා වේශයෙන් වඤ්චක ලෝභය” යනාදීන් මෙම ග්‍ර‍න්ථයෙහි දක්වනු ලබනුවෝ කුශලයන් ගේ ආකාරය ඇති ඒ අකුශල ධර්මයෝ ය. එයින් අකුශලයක කුශලය වීම හෝ කුශලයක අකුශලයක් වීම හෝ අදහස් කරනු නො ලැබේ. කිසිකලෙක අකුශලය කුශලයක් හෝ කුශලය අකුශලයක් හෝ නො වේ. මුළා නො වෙනු.

අමු මැටි පිඩේ යටිපැත්ත තුබූ ස්ථානයේ ආකාරය ගන්නාක් මෙන් සමහර විට ලෝභාදී ධර්මයෝ උපදනා පුද්ගලයා ගේ අදහස්වල ආකාරය ගනිති. එබැවින් පාපයට නො කැමති පාපය පිළිකුල් කරන පාපයට බිය වන කුශලාධ්‍යාශය ඇති තැනැත්තන් කෙරෙහි උපදනා කල්හි බොහෝ සෙයින් පුද්ගලයා ගේ අදහසට අනුකූලවීම් වශයෙන් ලෝභාදී අකුශල ධර්මයෝ කුශලයන්ගේ ආකාරයෙන් පහළ වෙති.

වඤ්චක ධර්ම නම් වූ කුශල ධර්මයන්ගේ වේශයෙන් සන්තානයෙහි පහළ වන්නා වූ ඒ අකුශල ධර්මයන්ගෙන් කෙරෙන වඤ්චනය තමා විසින් ම තමහට කරගන්නා වඤ්චනය වේ. තවත් ක්‍ර‍මයකින් කියතහොත් එය තමා ගේ සිත විසින් ම තමා ගේ සිතට කරන වඤ්චනයකි. එබැවින් අන්‍යයන් විසින් රැවටීමට දුෂ්කර වූ බොහෝ නුවණැති පුද්ගලයෝ ද ඔවුන් ගේ සන්තානයෙහි උපදනා වඤ්චක අකුශල ධර්මයන්ට රැවටෙති. සාමාන්‍ය ජනයා තබා බොහෝ ධර්ම ශාස්ත්‍ර‍ උගත්තු ද නොයෙක් විට ඔවුන් ගේ සන්තානයන්හි පහළ වන වඤ්චක ධර්මයන්ට රැවටී නො මග යෙති. සාමාන්‍ය ජනයන් ගේ රැවටීම ගැන කියනු ම කිම?

වඤ්චක ධර්මයන්ට රැවටී අගුණය ම ගුණය යි වරදවා ගෙන තමන් ගේ සන්තානයෙහි ඒවා වැඩි වැඩියෙන් ඇතිකර ගන්නෝ ද, පින් යයි වරදවා ගෙන ඇතැම් පව්කම් කරන්නෝ ද, සගමොක් මග යයි රැවටී අපාමගට බසින්නෝ ද ලෝකයෙහි බොහෝ ය. ඒ බව තේරුම් ගත හැකි වන්නේ වඤ්චක ධර්ම දැන උගෙන නුවණින් ලෝකය දෙස බලන්නවුන්ට ය. උගතා පවා නො මග යවන බැවින් ද වඤ්චක ධර්මයෝ මහානර්ථකරයහ.

පින් පව් නියම වශයෙන් හැඳින, තමන් ගේ සිත පිරිසිදු කර ගැනීමට හා තමන් ගේ ක්‍රියා පිරිසිදු කර ගැනීමට ද ඇත්තා වූ එකම උපාය වඤ්චක ධර්මයන් පිළිබඳ මනා දැනුමක් ඇති කර ගැනීමය. විශේෂයෙන්ම පරලොව යහපත සඳහා තම තමන් විසින් කරගන්නා පින් පිරිසිදුව කරගත හැකිවීමට වඤ්චක ධර්මයන් පිළිබඳ දැනුම තිබිය යුතුය. පැවිද්දන්ට හා ගුරුවරුන්ටත් අන්‍ය අනුශාසකයන්ටත් විශේෂයෙන් ඒ දැනුම තිබිය යුතුය.

වඤ්චක ධර්ම පිළිබඳව බෞද්ධ ජනතාවට අවබෝධයක් ඇතිකර ගැනුමට ඒවා පිළිබඳව ලියවුණු පොත පත තිබිය යුතුය. එහෙත් එය සඳහා සැපයුණු පොතක් අපේ රටේ දක්නට නැත. එබැවින් සාමාන්‍ය ජනයාට තබා උගතුන්ට ද වඤ්චක ධර්ම ගුප්ත දෙයක් වී තිබේ. බොහෝ දෙනා එබඳු ධර්ම කොටසක් ඇති බව පවා නොදනිති. ගුප්ත දෙයක් වී තිබෙන වඤ්චක ධර්ම ශක්ති පමණින් බෞද්ධ ජනයාට හෙළිකර දීම පිණිස වඤ්චක ධර්ම නම් වූ මෙම ග්‍රන්ථය අප විසින් සම්පාදිත ය.

වඤ්චක ධර්ම බොහෝය. මෙම ග්‍ර‍න්ථයෙහි දැක්වෙන්නේ ඒවායින් කොටසකි. එකවරට ම වඤ්චක ධර්ම සියල්ල සොයා දක්වා ග්‍රන්ථයක් කිරීම පහසු කාර්යයක් නොවන බැවින් සොයාගත හැකි වූ පමණින් මෙම ග්‍රන්ථය සම්පාදනය කරන ලදි. අපගේ මේ උත්සාහය වඤ්චක ධර්ම හෙළි කිරීමේ මුල පිරීම වශයෙන් සැළකිය යුතු ය.

මෙම ග්‍ර‍න්ථයෙහි දැක්වෙන වඤ්චක ධර්මයන් ගෙන් අටතිසක් නෙත්තිප්‍ර‍කරණාර්ථකථාවෙහි දැක්වුණු වඤ්චක ධර්මයෝ ය. ඉතිරි වඤ්චක ධර්ම දක්වා ඇත්තේ අභිධර්ම ග්‍ර‍න්ථවල එන කරුණු අනුසාරයෙන් අපට පෙනුණු සැටියකි. ඇසට නො පෙනෙන කයට හසු නො වන අද්‍ර‍ව්‍ය වූ සටහන් නැත්තා වූ පැහැයක් නැත්තා වූ චිත්ත චෛතසික ධර්මයෝ අතිසූක්ෂමයහ. එබැවින් ඒවායේ තත්ත්වයන් නිවැරදිව සෙවීම පහසු කාර්යයක් නො වේ. ඒවා ගැන සොයන්නවුන්ට නොයෙක් විට වැරදි හැඟීම් ඇතිවේ. එබැවින් අපට වැටහුණු සැටියට මෙහි දක්වන ලද කරුණු සියල්ල එසේම සත්‍යය යි අපි නො කියමු. සමහරවිට අපගේ රැවටීම් ද මෙම ග්‍ර‍න්ථයට ඇතුළත් වී තිබිය හැකි ය. පරමාර්ථ ධර්ම වේදීහු විමසත්වා!

මීට, රේරුකානේ චන්දවිමල ස්ථවිර

(1947) ශ්‍රී විනයාලංකාරාරාමය, පොකුණුවිට.