එක් දවසක් වලසෙක් ආහාර සොයා ඇවිද අවුත් හිමාලය වන ප්‍රදේශයෙහි අතුපතරින් සම්පූර්ණ වූ මනා සෙවන ඇත්තා වූ කොලොං ගසක් මුල හොත්තේ ය. ඒ ගස දිරූ අත්තක් සුළඟින් බිඳී වලසා පිට වැටිණ. වේදනාවට පත් වූ වලසා බියෙන් නැගිට මඳක් දුර පලා ගොස් තමහට පහර දුන් සතුරා කවරෙක්දැයි බලනුයේ කිසිවකු නොදැක, “මෙය අනිකකුගේ වැඩක් නොව මේ ගස දෙවියාගේ ම වැඩක් විය යුතුය”යි දෙවියා කෙරෙහි අස්ථානයෙහි කෝප ව ගසමුලට ගොස් ගසට හැන “දෙවිය, මම තගේ ගසින් කොළ නො කෑවෙමි. අතු නො බින්දෙමි, වෙන හානියක් ද නො කෙළෙමි. මා හැර වෙනත් බොහෝ සිවුපාවෝ ද මේ ගස යට නිදා ගන්නාහ. නුඹ උන්ට කිසිවක් නො කොට මට පමණක් විරුද්ධ වූයෙහි ය. මමත් මෙයට පලි ගන්නෙමිය. කවදා නුමුත් මේ ගස සහමුලින් විනාශ කරන්නෙමිය”යි දෙවියාට තර්ජනය කොට ගොස්, වනයට ලී කපන්නට එන්නවුන් ගැන පරීක්ෂා කරමින් සිටියේ ය.
වලසා වෛරයෙන් සිටින කාලයෙහි එක් රිය වඩුවෙක් තවත් දෙතුන් දෙනකුන් සමග වෑ පොරෝ ආදිය ද ගෙන ලී කපනු පිණිස ඒ වනයට ගියේ ය. වලසා ඔවුන් දැක මෙය පසමිතුරාගේ පිටු දැකීමට හොඳ ම අවස්ථාව යයි සිතා සතුටුව ඔවුන් සමීපයට ගොස් වඩුවාට කථා කොට, “යහළුව, මේ වනයට කිනම් ගසක් කපනු පිණිස අවුදැ”යි ඇසීය. එකල්හි රියවඩුවා “යහළුව, වනයෙහි ම හැසිරෙන බැවින් නුඹ, ලී ගැන දන්නවා ඇත. රෝද පට්ටමට කිනම් ලී වර්ගයක් යහපත්දැයි කියනු මැනව”යි කීය. වලසා කොලොං ගසෙහි අගය කියා එය තිබෙන තැන ද වඩුවාට කීය. වඩුවා එහි ගොස් කොලොං ගහ කපන්නට වන. කොලොං ගස දෙවියා තමාගේ ගස කපනු දැක සිතනුයේ මේ වලසා ඌට කිසිවක් නො කළා වූ මා කෙරෙහි අස්ථානයෙහි වෛර බැඳ මාගේ ගස නසවන්නේ ය. මම ද මෙයට පලිගැනීමට උපායකින් මූ මරවන්නෙමි යි සිතා වනයෙහි හැසිරෙන මිනිසකුගේ වේසයෙන් වඩුවා සමීපයට ගොස් “යහළුව, මේ ගස කුමට කපන්නෙහිදැ”යි ඇසීය. “කරත්ත තනනු පිණිස කපමි”යි වඩුවා කීය.
ඉක්බිති දෙවියා “මෙය කරත්ත සැදුමට සොඳ බව කියනු ලැබුවේ කවරකු විසින්දැ”යි අසා “වලසා විසිනැ” යි කී කල්හි “යහළුව‍්, වලසාගේ කීම සැබෑය; මෙය රිය තැනීමට ඉතා යහපත්ය. මේ ලීයෙන් සෑදූ රෝදය වලස් සමින් වෙලුව හොත් ලෝහයෙන් කළ රෝදයක් සේ ඉතා ශක්තිමත් වන්නේ ය. වැඩි මිලකට විකිණිය හැකි ද වන්නේ ය”යි කීය. “වලස් සම් ලබන්නේ කෙසේදැ”යි වඩුවා ඇසීය. දෙවියා කියනුයේ “යහළුව, නුඹ මෝඩයෙක් ද? මේ ගස මෙතැන ම තිබෙනු මිස කොහි වත් නොයන්නේ ය. මෙය පසුවත් කපා ගත හැකිය. මේ ගස ගැන කී වලසා වහා සොයා ගොස් මෙහි අවුත් ගස කපන සැටි කියා දෙන්න යයි කියා රවටා ඌ මෙතැනට කැඳවා ගෙන එව. එකල්හි ඌ හොට දිගු කරමින් ගස කපන තැන් දක්වන්නේ ය. එකල්හි හදිස්සියෙන් ම උගේ හිසට පොරොවෙන් ගසා ඌ මරා සම ගලවාගෙන හොඳ මස් ද පිස කා ගස ද කපාගෙන යන්නෙහි”ය යි කීය. වඩුවා ඒ අසා “මට අද මගුල් දිනයකැ”යි සතුටු ව වලසා මරා කා ගස ද කපාගෙන ගියේ ය. වෛරය නිසා වලසා නැසිණ. දෙවියා ද වාසස්ථානයෙන් පිරිහිණ. මෙසේ ඔවුනොවුනට වෛර කරන්නා වූ සියල්ලෝ ම දෙලොවින් ම පිරිහෙන්නාහුය.
වෛරය දීර්ඝ කාලයක් පවතින්නා වූ දෙයකි. සමහරුන්ගේ වෛරය කිකිළියකගේ බිත්තර කෑ ළදැරියගේ වෛරය මෙන් මරණින් මතු ජාති බොහෝ ගණනකට ද යන්නේ ය.