පින් කැමති බැව්හි ආකාරයෙන් කර්මාන්තයට ඇලුම් කරන බව වඤ්චා කෙරේ.
සඞ්ඝාවාස ප්‍රතිමාගෘහ දහම් හල් ලිං පොකුණු ආදිය කිරීමටත් කරවීමටත් තවත් නොයෙක් කර්මාන්ත කිරීමටත් කරවීමටත් කැමති බව කම්මාරාමතා නමි. ඇතැම්හු උත්පත්තියෙන් ම ඒ වැඩවලට ඉතා කැමැත්තෝ ය. ඒ කර්මාන්තයෙහි ඇල්ම ගිහි ජීවිතයට නම් යහපති. ශ්‍රමණ ජීවිතයට එය යහපත් නොවේ. භික්ෂුවක ගේ ප්‍රධාන කෘත්‍යය වනුයේ සිල් රැකීම, ධර්මය ඉගෙනීම, ධර්මය ගැන සිතීම, විමසීම, දහම් දෙසීම, භාවනා කිරීම යන මේවා ය. භික්ෂූන් විසින් කර්මාන්ත කරවීමේ යෙදිය යුත්තේ තමන් ගේ ප්‍රධාන කෘත්‍යයන් නො පිරිහෙන ලෙස එක්තරා ප්‍රමාණයකට ය. සමථ විදර්ශනා භාවනාදියට ඇලුම් නො කරන කර්මාන්තයන්ට ඇලුම් කරන භික්ෂූන් ගේ ඒ ස්වභාවය සමහර විට ඔවුන් කෙරෙහි පින් කරනු කැමැති බවෙහි ආකාරයෙන් පහළ වේ. පින්, ශ්‍රමණයන් විසින් ද කළ යුතු බැවින් එයට ඔවුහු රැවටෙති. රැවටුණා වූ ඔවුහු මහණ දම් පිරීම අමතක කොට පින් කරමුයි කර්මාන්තයෙහි ම යෙදෙන්නට වන්නාහ. එයින් ඔවුහු ශ්‍රමණ ධර්මයෙන් පිරිහෙති. සුදුසු කර්මාන්ත කිරීම කරවීම භික්ෂූන්ට ද අයෝග්‍ය නොවේ. ඒවා කළ යුත්තේ ශ්‍රමණ ධර්මය නො පිරිහෙන ලෙසට ය.