සංග්‍රහ කරන ස්වභාවයා ගේ ආකාරයෙන් අනනුලෝමික සංසර්ගය වඤ්චා කෙරේ.
තමා වෙත පැමිණෙන ගිහියනට ධර්මයෙන් සංග්‍රහ කිරීමත්, විනයෙහි නියමිත සුදුස්සන්ට ආමිෂයෙන් වුව ද සංග්‍රහ කිරීමත්, සැම දෙනා පිළිබඳව ම මෛත්‍රී සහගත ක්‍රියා පැවැත්වීමත්, අනුකම්පා කළයුත්තන්ට අනුකම්පා කිරීමත් ශ්‍රමණ ගුණයෝ ය. ඒ ගුණයන්හි පිහිටා ජනයන්ට සුදුසු පරිදි සංග්‍රහ කරන බව සංග්‍රහශීලතා නමි. පමණ ඉක්මවා ගිහියන් හා මිත්‍රවී භික්ෂුවකට නුසුදුසු පරිදි ඔවුන් හා මිශ්‍ර බවට පැමිණීම “ අනනුලෝමික සංසර්ග” නමි. ඇතැම් භික්ෂූන් කෙරෙහි ඇති ගිහියන් හා මිශ්‍ර වීමේ ආශාව සමහර විට සංග්‍රහ ශීලතාවේ වේශයෙන් ඔවුන් කෙරෙහි පහළ වේ. එයින් රැවටුණු භික්ෂූහු සංග්‍රහ කිරීමේ ආකාරයෙන් අනනුලෝමික සංසර්ගයට පැමිණෙති.
ඇතැම් භික්ෂූහු පොහොසතකු හෝ පොහොසත් දරුවකු දුට හොත් ඔවුනට බෝධිසත්ව කරුණාව දක්වති. දුගියකු මගියකු යාචකයකු විපතට පත්වූවකු උපකාරයක් සොයා පැමිණිය හොත් රවා ගොරවා අසරණයා පලවා හරිති. සතුටු කර ගත හොත් ලාභයක් ලැබිය හැකි සේ පෙනෙන පොහොසතකු තමා කරා පැමිණිය හොත් මහා මෛත්‍රියක් දක්වා සිනාපාමින් පිළිගෙන පිළිසඳර කථා කොට, ඔහු පස්සේ ගොස් දාසයකු සේ ඔහු කියන හැම දෙයක් ම කර දෙති. ආගම නොදත් උඩඟු බෞද්ධයෝ ද ඒ ලාමක අදහස් ඇති භික්ෂූන්ගේ (පුච්ඡඤ්ජිකතාවට) නඟුට වනන ගතියට රැවටී “අනේ හාමුදුරුවෝ කොපමණ හොඳද, කොපමණ කරුණාවත් ද, අපට සැලකුවාදැ” යි ප්‍රශංසා කරති. උසස් අදහස් ඇති, නඟුට වනන ස්වභාවය නැති භික්ෂූන්ට නින්දා කරති.