අන්‍යයන් හා බෙදා වැළඳීමේ ආකාරයෙන් මිථ්‍යාජීවය වඤ්චා කෙරේ.
භික්ෂූන් විසින් තමන් ලත් ආහාර පාන වස්ත්‍ර භෛෂජ්‍යාදි ප්‍රත්‍යයෙන් සංග්‍රහ කිරීමට සුදුස්සෝ ද නුසුදුස්සෝ ද වෙති. තමන්ට සිවුපසය සපයන දායකයන්ට භික්ෂූන් විසින් ධර්මයෙන් මිස අන් වස්තුවකින් සංග්‍රහ නො කළ යුතුය. සමහර භික්ෂූහු ගිහියන් සතුටු කොට ඔවුන් ගෙන් වඩ වඩා ලැබීමේ බලාපොරොත්තුවෙන් ඔවුනට ද ප්‍රත්‍යයෙන් සංග්‍රහ කෙරෙති. එසේ කොට ලබන ප්‍රත්‍යයෙන් ජීවත් වීම මිථ්‍යා ජීවය යි. ඒ මිථ්‍යා ජීවය සමහරවිට සංවිභාගශීලතා නම් වූ ගුණ ධර්මයා ගේ වේශය ගන්නේ ය. එයින් වඤ්චිත වූ භික්ෂූහු පරෝපකාරයේ හා කරුණා මෛත්‍රීන්ගේ ද ත්‍යාගවත් බවගේ ද අනුසස් කියමින් තමන් විසින් ප්‍රත්‍යයෙන් සංග්‍රහ කිරීම නුසුදුසු ගිහියන් හට ප්‍රත්‍යයෙන් සංග්‍රහ කරමින් ඔවුන් මුළා කොට ඔවුන්ගේ ශ්‍රද්ධාව නැති කොට ඔවුන්ගේ පින්කම් කිලිටි කොට තුමූ ද අපාගත වෙති.
භික්ෂූන් විසින් ප්‍රත්‍යයෙන් සංග්‍රහ කරනු ලබන ගිහියන් කෙරෙහි භික්ෂූන් ගැන සතුටක් ඇති වෙයි. සමහරු එය ශ්‍රද්ධාව යැ යි සිතත්. එය ශ්‍රද්ධාව නොව ශ්‍රද්ධා වේශයෙන් පැමිණෙන තෘෂ්ණාව හා එක් වූ ප්‍රීතියකි. එබඳු සතුටක් නම් තමන්ට උපකාර කරන සොරකු ගැන වුව ද ඇති වේ. යම්කිසි ගිහියකු විසින් තමාට හෝ තමාගේ දරුවකුට නෑයකුට තමාගේ ගමට රටට ජාතියට උපකාර කිරීම ගැන භික්ෂුව හට පැහැදී ඒ භික්ෂුවට සංග්‍රහ කරනු ලැබුයේ ද දන් දෙනු ලදුයේ ද එයින් ඒ දායකයාට ලැබෙතහොත් ලැබෙන්නේ දුබල පිනකි. බෞද්ධ පොත්වල දැක්වෙන හැටියට සම්පූර්ණ අනුසස් ලැබිය හැකි පිනක් අත්පත් වන්නේ ශීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත ශ්‍රමණ ගුණයන් ගැන පැහැදී භික්ෂූන්ට සත්කාර කරන දන් දෙන පින්වතුන්ට පමණෙකි.