අනුදත් දෙය පරිභෝග කිරීමේ වේශයෙන් කාමසුඛල්ලිකානුයෝගය වඤ්චා කෙරේ.
තථාගතයන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශ්‍රාවක වූ භික්ෂූනට සුව සේ මහණ දම් පිරිය හැකි වනු පිණිස චීවරය, පිණ්ඩපාතය, සේනාසනය, ගිලාන ප්‍රත්‍යය යයි සිවු පසයක් අනුදැන වදාරන ලදි. එය අනුදැන වදාළේ ප්‍රමාණයෙන් යුක්තව ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් යුක්තව පරිභෝග කිරීමට ය. ප්‍රණීත ප්‍රණීත ආහාර පාන වස්ත්‍රසේනාසනාදිය රැස්කර ගෙන ප්‍රත්‍යවේක්ෂා ඥානයෙන් තොරව, පමණ ඉක්මවා ඒවා පරිභෝග කරමින් ප්‍රීති වන ස්වභාවය කාමසුඛල්ලිකානුයෝගයයි. ඒ කාමසුඛල්ලිකානුයෝග සංඛ්‍යාත තෘෂ්ණාව සමහර විට අනුදත් ප්‍රත්‍යය පරිභෝග කිරීමේ වේශයෙන් පහළ වන්නේ ය. එයට රැවටුණ භික්ෂු තෙමේ ශීල පූරණ සමථ විදර්ශනා භාවනානුයෝගාදි ශ්‍රමණ කෘත්‍යයන් හැරදමා, කැප වශයෙන් හෝ අකැප වශයෙන් හෝ ප්‍රණීත ප්‍රණීත ප්‍රත්‍යයන් සොයා ප්‍රත්‍යාවේක්ෂා ඥානයෙන් තොර ව ඒවා පරිභෝග කරමින් ප්‍රීති වී වාසය කොට මහණ කමින් ලැබිය යුතු ඵලය නො ලබන්නෙක් වන්නේ ය. සමහර විට ඒ නිසා ම හේ මරණින් මතු අපායට ද යන්නේ ය.
අනුදත් දෙය පරිභෝග කිරීමේ වේශයෙන් එන කාමසුඛල්ලිකානුයෝගයෙන් වඤ්චිත වූ ගිහියා ද “තථාගතයන් වහන්සේ ගිහියාට දැහැමින් ධනය සපයා ගෙන සුවසේ ජීවත් වන්නටත්, අඹු දරුවන් පෝෂණය කරන්නටත් අනුදැන වදාළේයැ” යි සුචරිතයෙහි හැසිරීමට දානාදී පින්කම් කිරීමට කල්පනා නො කොට පස්කම් සැප විඳීම ම ජීවිතයේ උසස් ම දෙය සැටියට සලකා ක්‍රියා කොට දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයෙන් හා සම්බුද්ධ ශාසනයෙන් ලැබිය යුතු උත්තම ඵලයට අහිමි වන්නේ ය. සමහර විට අපායට ද යන්නේ ය.