සත්‍ය දර්ශනය හෙවත් යමක ඇති සැටිය නො වරදවා දැනුම ඥානය යි. වැරදි ලෙස දැනුම දෘෂ්ටිය යි. දෘෂ්ටිය වැරදි දැකීමක් වුවත් සෑම කල්හි පවත්නේ සත්‍ය දර්ශනයේ හෙවත් ඥානයේ වේශයෙනි. එබැවින් දෘෂ්ටියක් ඇති තැනැත්තේ එය සත්‍ය දර්ශනය සැටියට මිස වැරදි හැඟීමකැ යි නො පිළි ගනී.
මෝහයත් බොහෝ සෙයින් ඥාන වේශයෙන් ම පහළ වෙයි. මෝහය අධික වූ පමණට ඒ පුද්ගලයාට තමා පණ්ඩිතයකු සැටියට වැටහේ. එසේ වන්නේ මෝහයාගේ ඥාන වේශයෙන් වඤ්චකත්වය නිසා ය.
විචිකිත්සාව ද සමහර විට විමර්ශන ඥාන වේශයෙන් පහළ වේ. ලෝභ, මෝහ, දෘෂ්ටි, විතර්ක, විචාර, චිත්ත යන මේ ධර්මයෝ අකුශල පක්ෂයෙහි අකුශල කරණයට උපාය යෙදීම් ආදී වශයෙන් ඥානය සේ ක්‍රියා කෙරෙති.