සර්‍වාකාරයෙන් ශික්‍ෂාපද බිඳ නො ගැන්ම ය; බිඳුණු ප්‍රතිකර්‍ම කරගත හැකි ශික්‍ෂාපදවලට ප්‍රතිකර්‍ම කර ගැන්ම ය; සප්තවිධ මෛථුනයෙන් වියුක්ත වීම ය; අන්‍යවූත් ක්‍රෝධ, උපනාහ, මක්ඛ, පලාස, ඉස්සා, මච්ඡරිය, මායා, සාඨෙය්‍ය, ථම්හ, සාරම්භ, මාන, අතිමාන, මද, පමාද යනාදි පාපධර්‍මයන් නො ඉපදවීම ය. අප්පිච්ඡතා, සන්තුඨිතා, සල්ලෙඛතාදි ගුණ උපදවීම ය යන මේ හේතු වලින් ශීලයාගේ අඛණ්ඩ, අච්ඡිද්‍ර, අසබල, අකල්මාෂ භාවය වන්නේ ය.
යම් සීල කෙනෙක් ලාභ, යස, ධන, ඤාති, අඞ්ග, ජීවිත පිණිස පවා නො බිඳ රැකැ ගන්නා ලද්දේ ද පමා වරදෙකින් බිඳුණ ද යළි පිළියම් කරැ ගන්නා ලද්දේ ද, මෛථුන සංයෝගයන්ගෙන් හෝ ක්‍රෝධ උපනාහාදි පාපධර්‍මයන්ගෙන් අනුපහතයෝ ද ඒ සීලයෝ සර්‍වප්‍රකාරයෙන් අඛණ්ඩ, අච්ඡිද්‍ර, අසබල, අකම්මාස සීලයෝ යයි කියනු ලැබෙත්. එබඳු සීලයෝ මැ තෘෂ්ණාදාසත්‍වයෙන් මුදන බැවින් භුඡිස්ස නම් වෙති. නුවණැතියන් විසින් පසස්නා ලද බැවින් විඤ්ඤුප්පසත්‍ථ නම් වෙති. තෘෂ්ණා දෘෂ්ටි විසින් ස්පර්‍ශ නො කළ බැවින් අපරාමට්ඨ නම් වෙති. උපචාර අර්පණා සමාධි උපදවන බැවින් සමාධි සංවත්තනික නම් ද වෙත්. මෙසේ හෙයින් අඛණ්ඩාදි භාවය මැ ශීලයා ගේ වොදාන - (පිරිසිදු බව) යයි දත යුතු යි.
ද්විධ සීල වොදාන
මේ සීල වෝදානය - (සීලයාගේ පිරිසිදු බව) වනාහි සීල විපත්තියෙහි ආදීනව දැක්ම ය. සීලසම්පත්තියෙහි ආනිසංස දැක්ම ය යන දෙයාකාරයෙන් සිද්ධ වේ.