චතුර්ථ මාර්ගඥානය

මේ තුන් වැනි අනාගාමිමග්ගඤාණයට අනතුරුව ද යට කී සේ ඵල සිත් උපදී. මෙතෙකින් මේ ආර්‍ය්‍ය පුද්ගල තෙමේ අනාගාමි නම් වූ සවන ආර්‍ය්‍ය පුද්ගලයා වේ.

විශේෂ:- මේ ආර්‍ය්‍ය තෙමේ ඔපපාතිකවැ පඤ්චසුද්ධාවාසයෙහි පිරිනිවෙනුයේ ඒ බඹලොවින් ප්‍ර‍තිසන්‍ධි වශයෙන් මේ කාම ලෝකයට නො එන හෙයින් පෙරළා නො එනසුලුනු යි අනාගාමි නම් වේ.

එයින් මතු ප්‍ර‍ත්‍යවේක්‍ෂණ සිත් පෙර කී සේ මැයි. මෙසේ ප්‍ර‍ත්‍යවෙක්‍ෂා කොට ද, ඒ අනාගාමි ආර්‍ය්‍යශ්‍රාවක එම ආසනයෙහි සිට ම හෝ, පසු කලෙක හෝ රූප රාග යැ, අරූප රාග යැ, මාන යැ, උද්ධච්ච යැ, අවිජ්ජා යැ යන උද්ධම්භාගීය පඤ්ච සංයෝජනයන්ගේ නිරවශේෂ ප්‍ර‍හාණයෙන් සතර වන අර්‍හත් භූමියට පැමිණීම පිණිස (විදර්‍ශනා) යෝග කෙරේ. හෙතෙමේ ඉන්‍ද්‍රිය, බල, බොජ්ඣඞ්ගයන් එක් රැස් කොට ඒ සංස්කාර ජාතයම අනිත්‍ය යැ, දුඃඛ යැ, අනාත්මයැ යි ඥානයෙන් පිරිමදී. පෙරළ යි. විදර්‍ශනා වීථියට බසී. මෙසේ පිළිපන් ඒ යෝගීහට යට කී සේ ම සංඛාරුපෙක්ඛා ඤාණවසානයෙහි එක් මනොද්වාරාවර්‍ජනයකින් මතු අනුලොම - ගොත්‍ර‍භූ (වොදාන) ඤාණයන් උපන් කලැ වොදානයට අනතුරුවැ අර්‍හත්මාර්‍ගය උපදී. ඒ මාර්‍ග සම්ප්‍ර‍යුක්ත ඥානය අරහත්තමග්ගඤාණයැ යි කියනු ලැබේ.

චතුර්ථ මාර්ගඥානය නිමි.

මේ අර්‍හන්මාර්‍ගඥානයට අනතුරුව ද පෙර කී සේ ඵල සිත් දත යුතු යි. මෙතෙකින් මේ තෙමේ අර්‍හත් නම් වූ අටවැනි ආර්‍ය්‍යපුද්ගලයා වේ. මහා ඛීණාසව වූ, අන්තිම දේහය දරන බහා තබන ලද ස්කන්ධාදී බර ඇති ස්වකීය අර්‍ථයට පැමිණි, ක්‍ෂය කළ භව සංයෝජන ඇති, ස්කන්ධාදීන් ගේ ස්කන්‍ධාදි අර්‍ථයන් මොනවට දැනැ විමුක්ත වූ, සදේවක ලෝකයා ගේ අග්‍ර‍ දක්‍ෂිණාවට සුදුසු වූ අටවැනි ආර්‍ය්‍ය පුද්ගලයා වේ.