1. උදය-ව්‍යය ඤාණය

විස්තර:- උදය-ව්‍යය දැනීම් අර්‍ථයෙන් හා ප්‍ර‍ත්‍යක්‍ෂ හෙයින් දැකීම් අර්‍ථයෙන් ද ඥාන දර්‍ශනය යි. ප්‍ර‍තිපක්‍ෂ ධර්‍මයන්ගෙන් විශුද්ධ වූ හෙයින් ඥාන දර්‍ශන විශුද්ධි නම් වූ එයම මෙයින් ආර්‍ය්‍ය මාර්‍ගයට පිළිපදිනුයි ප්‍ර‍තිපදා ඥාන දර්‍ශන විශුද්ධිය යි කියන ලදී.

ඒ වූ කලී උපන් මාත්‍ර‍ වූ ප්‍ර‍ගුණ නො වූ නුවණ සඳහා කියන ලදි. ප්‍ර‍ගුණ වූයේ නිත්‍ය සංඥාදීන් ගේ ප්‍ර‍හාණයෙන් සිද්ධ වු ප්‍ර‍හාණ පරිඥාවට අධිෂ්ඨාන වූයේ වෙයි. ඒ අධිගමයෙන් අටළොස් මහා විදර්‍ශනාවන් අතුරින් ඇතැම් විදර්‍ශනාවක් අධිගත වේ. ‘උදය-ව්‍යයයන් ප්‍ර‍ත්‍යක්‍ෂයෙන් ප්‍ර‍තිවේධ නො කොට සාමාන්‍යාකාරය නො වේය’යි තීරණ මාත්‍රයෙන් අතිශයින් ප්‍ර‍තිපක්‍ෂ ධර්‍මයන් ගේ ප්‍රාහාණය සමභව නොවේ. ප්‍ර‍තිපක්‍ෂ ප්‍ර‍හාණය නැති කල ඥානයන් ගේ වජ්‍ර‍යක් සේ නො නසන ලද වෙගත්‍වය ද, තීක්‍ෂණ විෂදත්‍වය ද, කොයින් වේ ද, එහෙයින් ප්‍ර‍ගුණ භාවයට පැමිණ උදය-ව්‍යය ඥානය ප්‍ර‍හාණ පරිඥා පාක්ෂික වූයේ ම දතයුතු. (යනු ටීකායි.)

එහෙයින් ඒ අනුලෝම ඥානය සම්පාදනය කරනු කැමැති යොගී විසින් උපක්ලේශ විනිර්මුක්ත වූ උදය - ව්‍යයඥානය ආදී කොට ඇති මේ අෂ්ටවිධ ඥානයෙහි යෝග කටයුතු යි.

ප්‍ර‍ශ්නයෙකි:- නැවත උදය - ව්‍යය ඥානයෙහි යෙදීම කුමක් පිණිස ද

පිළිතුර :- ත්‍රිලක්‍ෂණය සැලකීම පිණිස යි.

විස්තර:- යට කී දශ උපක්ලේශයන්ගෙන් කිලිටි වී මොට වූ උදය-ව්‍යය ඥානය යථා ස්වභාවයෙන් අනිත්‍යාදි ත්‍රිලක්‍ෂණය සලකා ගැනීමට අසමර්‍ථ යැ. උපක්ලේශ විනිර්මුක්ත වූයේ ම සමර්‍ථ වේ. එහෙයින් ම ලක්‍ෂණ සැලකීම පිණිස මෙහිදී නැවත ද යෝග වැඩිය යුතු.

විශේෂ:- කුමක් මෙනෙහි නො කිරීමෙන් කුමකින් වැසුණු හෙයින් ලක්‍ෂණ නො වැටහේ ද යත්:- අනිත්‍ය ලක්‍ෂණය උදය-ව්‍යය මෙනෙහි නො කිරීමෙන්, සන්තතියෙන් වැසුණු හෙයින් නො වැටහේ. දුඃඛ ලක්‍ෂණය සංස්කාරයන් නිතර පීඩා කරන බව මෙනෙහි නො කිරීමෙන් සතර ඉරියව්වෙන් වැසුණු හෙයින් නොවැටහේ. අනාත්ම ලක්‍ෂණය නා නා ධාතූන් වෙන්කොට මෙනෙහි නො කිරීමෙන් ඝනයෙන් වැසුණු හෙයින් නො වැටහේ.

උදය-ව්‍යය මෙනෙහි කොට සන්තතිය ඉගිලවීමෙන් අනිත්‍ය ලක්‍ෂණය යථා ස්වභාවයෙන් වැටහේ. සංස්කාරයන් නිතර නිතර පෙළෙන බව මෙනෙහි කොට ඉරියව්වෙන් වැසුණු බව ඉගිළ වූ කළ දුඃඛ ලක්‍ෂණය යථාස්වභාවයෙන් වැටහේ. පෘථිව්‍යාදි නා නා ධාතූන් විනිර්භෝග කොට ඝනය බිඳීම කළ කල්හි අනාත්ම ලක්‍ෂණය යථා ස්වභාවයෙන් වැටහේ.

විස්තර:- අන්‍යොන්‍ය සම්බන්‍ධ රූප-අරූප ධර්‍මයන් එකක් වශයෙන් ගැනීම වූ සමූහ ඝනය ද, ඒ ඒ ධර්‍මයනට ප්‍ර‍තිනියත කෘත්‍ය භේදයෙන් ඒකත්‍වයෙන් ගැනීම වූ කෘත්‍ය ඝනය ද, ඒ ආලම්බන සහිත ධර්‍මයන් ආලම්බන භේදයෙන් ඒකත්‍වයෙන් ගැනීම වූ ආලම්බන ඝනයදැ යි ඝනය ත්‍රිවිධ වේ. ‘මොහු හැම දෙන ම වෙන් වෙන්වැ ධාතු ආදී වශයෙන් වැටහෙන කල්හි අතින් පිරිමදින ලද පෙන පිඩක් සේ විනාශයට යෙති’යි ද ‘ප්‍ර‍ත්‍යය ලාභයෙන් පවත්නා ශූන්‍ය ධර්‍මමාත්‍ර‍යැ’යි තතු සේ අනාත්ම ලක්‍ෂණය අතිශයින් ප්‍ර‍කටවැ වැටහේ.

නැවත මෙහි අනිත්‍යය, අනිත්‍ය ලක්‍ෂණය, දුඃඛය, දුඃඛලක්‍ෂණය, අනාත්මය, අනාත්ම ලක්‍ෂණය යි මේ විභාගය දතයුතු. ඔවුනතුරින් අනිත්‍යය නම් ස්කන්‍ධ පඤ්චකය යි. කුමක් හෙයින් ද යත්:- විනාශය, අන්‍යථත්‍වය යන ස්වභාවය ඇති හෙයිනි. ඇතිවැ නැති වන හෙයින් හෝයි (මෙහි පූර්‍ව නයින් ජාති - ජරා - මරණ ස්වභාවයෙන් ද දෙවන නයින් මිහිකිරීම් - ව්‍යයවීම් ස්වභාවයෙන් ද අනිත්‍යය දැක්වූහ.)

උත්පාද-ව්‍යය අන්‍යථාත්‍වය (ජාති-ජරා-මරණ) යන මේ අනිත්‍ය ලක්‍ෂණය යි. ඉපිද නැතිවීමය යි කියන ලද ආකාර විකාරය හෝ අනිත්‍ය ලක්‍ෂණය යි.

යදනිච්චං තං දුක්ඛඃ[1] යමක් අනිත්‍ය නම් ඒ දුකැ යි’ වදාළ හෙයින් එම ස්කන්‍ධ පඤ්චකය ම නිරන්තරයෙන් පෙළන හෙයින් දුක් නම් වේ. ඒ නිතර පෙළෙන ආකාරය දුඃඛ ලක්‍ෂණය යැ.

යසං දුක්ඛං තදනත්තා1 යමක් දුක් නම් ඒ අනාත්මය යි වදාළ හෙයින් ඒ ස්කන්‍ධ පඤ්චකයම වශයෙනි නො පවත්නා හෙයින් අනාත්ම ලක්‍ෂණය යි.

මේ යෝගී තෙමේ මෙකී ලක්‍ෂණ හා ලක්‍ෂණයෙන් යුත් පඤ්චස්කන්‍ධය ද යන මේ සියල්ල උපක්ලේශයෙන් මිදුණු වීථියට පිළිපන් විදර්‍ශනා සඞ්ඛයාත උදය-ව්‍යයානුදර්‍ශනඥානයෙන් යතා ස්වභාවයෙන් සලකයි. මෙසේ සලකා නැවත - නැවත අනිත්‍යයැ, දුඃඛ යැ, අනාත්මය යි රූප-අරූප ධර්‍මයන් (තරාදියෙහි කිරන්නාක් මෙන්) නිශ්චය කරන - තීරණය කරන ඒ යෝගීහට ඒ විදර්‍ශනා ඥානය තියුණුව පවතී. සංස්කාරයෝ සැහැල්ලුවැ වැටහෙති.

විදර්‍ශනා ඥානය තියුණුවැ පවත්නා කල්හි සංස්කාරයන් සැහැල්ලුවැ වැටහෙන කල්හි ඉපදීමට හෝ ස්ථිතියට හෝ පැවැත්මට හෝ සංස්කාර නිමිත්තට හෝ නො පැමිණේ. ක්‍ෂය-ව්‍යය භේද සඞ්ඛ්‍යාත නිරෝධයෙහි ස්මෘතිය පිහිටයි. ‘සංස්කාරයන් මෙසේ ඉපිද මෙසේ නිරුද්ධ වෙති’යි දක්නා වූ යෝගීහට පෙර කී සේ උදය හැර ව්‍යයම මෙනෙහි කරන කල්හි ‘භඞ්ගානුපස්සනා නම්’ විදර්‍ශනා ඥානය උපදී.

  1. සං:නි: ඛන්‍ධවග්ග 351