විස්තර:- අටළොස් (18) මහා විදර්‍ශනා නම් අනිච්චානුපස්සනාදි ප්‍රඥයි.
ඒ මෙසේයි.
(1) අනිච්චානුපස්සනාව වඩන යෝගී නිත්‍ය සංඥාව දුරු කෙරේ.
(2) දුක්ඛානුපස්සනාව වඩන්නේ සුඛ සංඥාව ද
(3) අනත්තානුපස්සනාව වඩන්නේ ආත්ම සංඥාව ද
(4) නිබ්බිදානුපස්සනාව වඩන්නේ නන්‍දීය (සප්‍රීතික තෘෂ්ණාව) ද
(5) චිරාගානුපස්සනාව වඩන්නේ රාගය ද
(6) නිරොධානුපස්සනාව වඩන්නේ සමුදය ද
(7) පටිනිස්සග්ගානුපස්සනාව වඩන්නේ ආදානය (භව තෘෂ්ණාව) ද
(8) ඛයානුපස්සනාව වඩන්නේ ඝන සංඥාව (සන්තති - සමූහ - කෘත්‍ය - ආරම්මණ වශයෙන් එකත්‍වයෙන් ගැනීම) ද
(9) වයානුපස්සනාව වඩන්නේ සංස්කාරයන්ගේ රැස් කිරීම ද,
(10) විපරිණාමනුපස්සනාව වඩන්නේ ධුව සංඥාව (ස්ථිර වශයෙන් ගැනීම) ද
(11) අනිමිත්තානුපස්සනාව වඩන්නේ නිත්‍ය නිමිත්ත ද
(12) අප්පණිහිතානුපස්සනාව වඩන්නේ ප්‍රණිධිය (සුඛ වශයෙන් ගැනීම) ද
(13) සුඤ්ඤතානුපස්සනාව වඩන්නේ ආත්ම වශයෙන් අභිනිවේශය ද
(14) අධිපඤ්ඤධම්මවිපස්සනාව (සංස්කාර අනිත්‍යාදි වශයෙන් දක්නා නුවණ) වඩන්නේ තෘෂ්ණා-දෘෂ්ටි වශයෙන් දැඩිවැ ගැනීමද
(15) යථාභූත ඤානදර්‍ශනය වඩන්නේ සම්මොහාභිනිවෙශය ද
(16) ආදීනවානුපස්සනාව වඩන්නේ ආලය වශයෙන් දැඩිව ගැනීම ද
(17) පටිසඞ්ඛානුපස්සනාව (සංස්කාරයන් මිදීමේ උපාය ඥානය) වඩන්නේ අප්පටිසංඛය (අවිද්‍යාව) ද
(18) විවට්ටානුපස්සනාව වඩන්නේ කාම සයොහාදි ක්ලේශ ප්‍රවෘත්තිය ද දුරු කෙරේ.
මේ අටලොස් මහා විදර්‍ශනාවන් අතුරින් අනිත්‍යාදි ලක්‍ෂණ ත්‍රය වශයෙන් මේ යෝගියා විසින් සංස්කාර දක්නා ලද හෙයින් අනිත්‍ය - දුඃඛ - අනාත්මානුදර්‍ශනය ප්‍රතිවේධ කරන ලද්දේ වෙයි.
“යා ච අනිච්චානුපස්සනා, යා ච අනිමත්තානුපස්සනා. ඉමෙ ධම්මා එකට්ඨා ව්‍යඤ්ජනමෙව නා නා”[1] ‘යම් යම් අනිච්චානුපස්සනාවක් - යම් අනිමිත්තානුපස්සනාවක් වේ නම් මේ ධර්‍ම එකාර්‍ථ යැ. ව්‍යඤ්ජන ම වෙනසි’
එසේ ම “යා ච දුක්ඛානුපස්සනා යා ච අප්පණි හිතානුපස්ස - නා ඉමෙ ධම්මා එකට්ඨා ව්‍යඤ්ජන මෙව නානා”1 යම් දුක්ඛානුපස්සනාවක් යම් අප්පණිහිතානුපස්සනාවක් වේ නම් මේ ධර්‍ම එකාර්‍ථ යැ ව්‍යඤ්ජන ම වෙනසි.
“යා ච අනත්තානුපස්සනා - යා ච සුඤ්ඤතානුපස්සනා ඉමෙ ධම්මා එකට්ඨා ව්‍යඤ්ජනමෙව නානා”1 ‘යම් අනත්තානුපස්සනාවක් - යම් සුඤ්ඤතානුපස්සනාවක් වේ නම් මේ ධර්‍ම එකාර්‍ථ යැ ව්‍යඤ්ජනම වෙනසි’ යි වදාරන ලදි.
එහෙයින් ම ඒ අනිමිජ්ත - අප්පණිහිත - සුඤ්ඤතානුපස්සනාවෝ ද ප්‍රතිවේධ කරන ලද හ. අධිපඤ්ඤාධම්ම විපස්සනාව සියලු විදර්‍ශනාවේ ම ඇත්තී ය. (එහෙයින් එක දේශයකින් ප්‍රතිලබ්ධ වේය යනු ආශය යි.)
යථාභූත ඥානදර්‍ශනය කඞ්ඛාවිතරණ විසුද්ධියෙන් ම සංග්‍රහ කරන ලදි. (එය මුලදී ම සිද්ධ යැ යනු ආශාය යි.) එහෙයින් අධිපඤ්ඤාධම්මවිපස්සනාව හා යථාභූත ඥාන දර්‍ශනය ද ප්‍රතිවේධ කරන ලදි. සෙසු නිබ්බිදානුපස්සනාදි දස විදර්‍ශනාවන් අතුරින් කිසිවක් (එකදෙශයක්) ප්‍රතිවෙධ කරන ලද්දේ වෙයි. කිසිවක් ප්‍රතිවෙධ නො කරන ලද්දේ වෙයි.
ඒ මෙසේ යි:- අනිච්චානුපස්සනාව සිද්ධ කල්හි නිරොධානුපස්සනා ද, ඛයානුපස්සනා ද, විපරිණාමානුපස්සනා ද එකදේශයකින් සිද්ධ වේ.
දුඃඛානුපස්සනාව සිද්ධ කල්හි - නිබ්බිදානුපස්සනාව ද, ආදීනවානුපස්සනාව ද සිද්‍ධ වේ. අනත්තානුපස්සනාව සිද්ධ කල්හි ඉතිරි අනුපස්සනාව සිද්ධ වේ. (යනු ටීකාවයි.) ඔවුන්ගේ විභාගය පටිපදාඤාණදස්සන විසුද්ධියෙහි මතු ප්‍රකාශ කරම්හ.
විශේෂ:- ප්‍රතිවේධ කරන ලද විදර්‍ශනාඥාන සඳහා ම “මෙසේ ප්‍රගුණ කළ රූපා‘රූප කර්‍මස්ථාන ඇති යෝගී මතු භඞ්ගානුපස්සනාහි පටන් පහාන පරිඤ්ඤා වශයෙන් සියලු ආකාරයෙන් පැමිණිය යුතු අටළොස් මහා විදර්‍ශනාව පළමුවැ මෙහි ම එක දේශයක් ප්‍රතිවෙධ කරන්නේ එයට ප්‍රතිපක්‍ෂ ධර්‍ම පහ කෙරේය” යි එහෙයින් කියන ලදි.
වළා පහවීමෙන් අහස මෙන් ද, මඩ - මල බැහැරවීමෙන් ජලය මෙන් ද, කිලිටු පහවීමෙන් රන් මේන ද, කෙලෙස් පහවීමෙන් ඤාණයා ගේ පාරිශුද්ධිය වන හෙයින් ඒ යෝගී තෙමේ මෙසේ අනිච්චානුපස්සනාදියට ප්‍රතිපක්‍ෂ වූ නිච්චසඤ්ඤාදිය පහකිරීමෙන් කෙළෙස් බැහැරවීමෙන් විසුද්‍ධ ඤාණය ඇතිවැ ත්‍රිලක්‍ෂණය මෙනෙහි කිරීමෙන් සම්මසන ඤාණයාගේ පරතෙරට ගොස් නය විදර්‍ශනා සඞ්ඛ්‍යාත කලාප සන්මර්‍ශනය ඥානයට අනතුරුවැ ‘ප්‍රත්‍යුත්පන්න ධර්‍මයන්ගේ විපරිණාමානුපස්සනාවෙහි පැවති ප්‍රඥාව උදයව්‍යයානු දර්‍ශනයෙහි ඥානය’යි යමක් කියන ලදද ඒ උදයව්‍යයානු දර්‍ශනයට පැමිණිම පිණිස යොග (උත්සාහ) පටන් ගනී.
එසේ පටන් ගන්නේ ද, සැකෙවින් පටන් ගනී. මේ ඒ පිළිබඳ පාළියයි. “කථං පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනෙ පඤ්ඤා උදයබ්බයානුපස්සනෙ ඤාණං ජාතං රූපං පච්චුප්පන්නං. තස්ස නිබ්බන්ති ලක්ඛණං උදයො. විපරිණාම ලක්ඛණං වයො. අනුපස්සනා ඤාණං. ජාතා වෙදනා සඤ්ඤා - සඞ්ඛාරා -විඤ්ඤං - ජාතං චක්ඛු - ජාතො භවො පච්චුප්පන්නො. තස්ස නිබ්බන්ති ලක්ඛණං උදයො. විපරිණාම ලක්ඛණං වයො. අනුපස්සනා ඤාණන්ති.”[2]
ඒ මෙසේයි. ‘සන්තති පච්චුප්පන්න වූ හෝ ඛණ පච්චුප්පන්න වූ හෝ ධර්‍ම පිළිබඳ විපරිණාමානුපස්සනායෙහි නුවණ උදයව්‍යයානුදර්‍ශනයෙහි ඥානය යි.
උපන් රූපය පච්චුප්පන්න යැ. ඒ රූපයාගේ හට ගැනීම් ලක්‍ෂණය උදය යැ. පෙළීම් සඞ්ඛ්‍යාත විපරිණාම ලක්‍ෂණය ව්‍යාය යැ. අනුපස්සනාව ඤාණය යි.
උත්පන්න වේදනාව පච්චුපන්නය - පෙ - සඤ්ඤා - සඞ්ඛාර විඤ්ඤාණ යන ස්කන්‍ධ පිළිබඳව ද මෙසේ උත්පන්න චක්ඛුව පච්චුප්පන්නය, උත්පන්නභාවය පච්චුප්පන්නය. එහි නිබ්බත්ති ලක්‍ෂණය උදය යැ. විපරිනාම ලක්‍ෂණය ව්‍යය ය, අනුදර්‍ශනය ඥානයයි.
විශේෂ:- උදය - ව්‍යය දර්‍ශනය හුදෙක් ව්‍යය දර්‍ශනය පිණිස ය. එහෙයින් විපරිනාමානු දර්‍ශනයේ ඥානය යි කියා. ඒ ව්‍යය දර්‍ශනය ද උදය දර්‍ශනය පූර්‍වක හෙයින් උදය ව්‍යයානු දර්‍ශනයේ ඥානය යි කීහු. මෙහි ජාත (උත්පන්න) රූපය නම් “ජාතංභූතං” යනාදීන් හිමෙන් අතීත ධර්‍ම නොව ක්‍ෂණත්‍රය ය ට ඇතුළත් රූපය ය. හෙද මුලදී සන්මර්‍ශනයට දුෂ්කර හෙයින් සන්තති පච්චුප්පන්නන වසයෙන් විදර්‍ශනාවට නැගිය යුතුයි.
කලාපසන්මර්‍ශනයෙහි ජාති-ජරා-මරණ ශීර්‍ෂයෙන් ජාති - ජරා - මරණවත් ධර්‍ම කියන ලදී. මේ උදය ව්‍යයානු දර්‍ශනයෙහි එය බැහැර කිරීම සඳහා පටිච්චසමුප්පාද අඞ්ග අතුරින් භවය අවසන් කොට දේශනා කරන ලදි. (ටීකා)
ඒ යෝගී (මේ පාළි නයින්) උපන් නාමරූපයන් ගේ නිබ්බත්ති ලක්‍ෂණය ජාතිය (උත්පාදය) අලුත් ආකාරය උදය යි. විපරිණාම ලක්‍ෂණය ක්‍ෂය යැ, භඞ්ගය ව්‍යයයැයි ද නුවණින් බලයි.
ඒ යෝගී තෙමේ මෙසේ දැනගනී, මේ නාම-රූප උත්පත්තියෙන් පෙර නූපන් නාම-රූපයන් ගේ රැසෙක් හෝ පිඬු වූවෙක් හෝ නැත්තේ යැ. උපදින්නා වූ නාම - රූපයන් ගේ රැසකින් හෝ පිඩකින් හෝ ඊමක් නැත්තේ යැ. නිරුද්ධ වන්නා වූ නාම - රූපයන්ගේ ද දිශානුදිශාවන්ට යාමෙක් හෝ නැත්තේ යැ. නිරුද්ධ වූ නාම - රූපයන් ගේ ද එක් තැනෙක රාශි වශයෙන් ද, පිඬු වශයෙන් ද, නිධාන වශයෙන් ද පිහිටා සිටීමෙක් නැත්තේ යි.
නිදර්‍ශන:- වීණාව වයන කලැ උපදනා ශබ්දය උපදින්නට පෙර රැස්වීමෙක් නැත්තේ යැ, උපදනේ ද පිණ්ඩයකින් ආයේ නො වේ. නිරුද්ධ වන්නේ ද දිශානුදිශාවන්ට ගමනෙක් නැත්තේ යැ. නිරුද්ධ වූ යේ ද තැනෙකැ රැස් වැ නො සිටී. එහෙත් වීණාව ද, උපවීණාව (වාදන උපකරණය) ද, පුරුෂයා ගේ එයට සුදුසු ව්‍යායාමය ද, නිසා පෙර නොවූ ශබ්දය හටගනී. හටගෙන නස්නේ යි.
එසේ ම ‘සියලු රූපා‘රූප ධර්‍මයෝ පෙර නො වූවෝ ඇති වෙත්. ඇති වැ විනාශ වෙත්’ යැ යි මෙසේ සැකෙවින් උදය - ව්‍යය මෙනෙහි කොට, නැවැතැ මේ උදය - ව්‍යය ඥානය ම විභඞ්ගයෙහි “අවිජ්ජා සමුදයා රූප සමුදයො”[3] යි වදාළ පරිදි පඤ්චස්කන්‍ධ වශයෙන් බෙදා, “අවිජ්ජා සමුදයා රූප සමුදයො - තණ්හා සමුදයා -පෙ- කම්ම සමුදයා -පෙ- ආහාර සමුදයා රූප සමුදයො”1 අවිද්‍යාව ගේ උත්පත්තියෙන් රූප ඉපදීම වේ. තෘෂ්ණාව ගේ ඉපදීමෙන් රූප ඉපදීම වේ. කර්‍ම සමුදයයෙන් රූප සමුදය වේ. ආහාර සමුදයයෙන් රූප සමුදය වේ’ යැ යි මෙසේ ප්‍රත්‍යයන් ගේ සමුදයාර්‍ථයෙන් රූප ස්කන්‍ධයා ගේ උදයය බල යි.
නිබ්බත්ති ලක්‍ෂණය (රූප කලින් නො තිබී අලුතෙන් ම උපදනා බව්) බලන්නේ ද, රූප ස්කන්‍ධයා ගේ සමුදය බල යි.
විස්තර:- ‘අතීත භවයේ පැවැති අවිද්‍යා - තෘෂ්ණා - කර්‍ම යන ප්‍රත්‍යයන් නිසා භවයෙහි හටගත් රූපයන් ආහාරයා ගේ උපස්තම්භයෙන් සන්තති වශයෙන් පැවැත්ම වේ ය යි’ මෙසේ ප්‍රත්‍යය වශයෙන් ද (පෙර කී සේ) මේ රූපයෝ කලින් නො තිබී උපදනා හු යැ යනාදී නිබ්බන්ති ලක්‍ෂණයා ගේ බැලීම් වශයෙන් දැ යි මේ ආකාරයෙන් උදයය බලන්නේ යි.
(රූපයන් ගේ පැවැත්මට ප්‍රත්‍යය වන කරුණු අතුරින් බලවත් කාරණ හෙයින් කබලීකාරාභාරය ම මෙහි ගන්නා ලදුවත් ඒ ගැනීමෙන් ම ප්‍රවෘත්තියට සාමාන්‍ය ප්‍රත්‍යය වූ සෘතු - චිත්ත යෝ ද ගන්නා ලද්දාහු මැ යි. එහෙයින් චතුසමුඪානික රූපයාගේ ප්‍රත්‍යය වශයෙන් උදයය දක්වන ලද්දේ වෙයි. ((යනු ටීකායි.)
(අර්‍හත්මාර්‍ග ඥානයෙන්) අවිද්‍යාව ගේ අනුත්පාද නිරෝධයෙන් අනාගත රූප නිරෝධය වේ. (ප්‍රත්‍යය නැති කල්හි රූපයා ගේ අභාවය වන හෙයිනි) එසේ ම තෘෂ්ණා නිරෝධයෙන් ද -පෙ- කර්‍ම නිරෝධයෙන් ද, (කබලීකාරාහාර) ආහාර නිරෝධයෙන්ද අනාගත රූප ‘අනුත්පාද නිරෝධය වේ ය යි’ මෙසේ ප්‍රත්‍යය නිරෝධාර්‍ථයෙන් රූපස්කන්‍ධයා ගේ ව්‍යය බල යි. (මේ ප්‍රත්‍යය වශයෙන් ව්‍යය බැලීම යි.) විපරිණාම ලක්‍ෂණය බැලීමේනද, රූපයාගේ ව්‍යය බලයි. රූපස්කන්‍ධයා ගේ ව්‍යය බලන යෝගීතෙමේ මේ අවිද්‍යා - තෘෂ්ණා - කර්‍ම - ආහාර - නිරෝධයෙන් ද, විපරිණාම ලක්‍ෂණයෙන් දැ යි මේ පස් ආකාරයෙන් බල යි.
එසේම අවිද්‍යා සමුදයයෙන් වේදනා සමුදය වේ’ ය යි ප්‍රත්‍යය සමුදයාර්‍ථයෙන් වේදනාස්කන්‍ධයා ගේ සමුදය බලයි. ‘තෘෂ්ණා සමුදයෙන් ද, කර්‍ම සමුදයෙන් ද, ඵස්ස සමුදයෙන් ද වේදනා සමුදය වේ ය’යි ප්‍රත්‍යය සමුදයාර්‍ථයෙන් වේදනාස්කන්‍ධයා ගේ සමුදය බලයි. නිබ්බන්ති ලක්‍ෂණය බලන්නේ ද වේදනාව ගේ උදය බලයි. මෙසේ වේදනාස්කන්‍ධයා ගේ උදය බලන්නේ මේ පස් ලකුණු බලයි.
‘අවිද්‍යා - තෘෂ්ණා - කර්‍ම - ස්පර්‍ශ නිරෝධයෙන් වේදනා නිරෝධය වේය’ යි මෙසේ ප්‍රත්‍යය නිරොධයෙන් වේදනාස්කන්‍ධයා ගේ ව්‍යය දකී. විපරිණාම ලක්‍ෂණයද බලන්නේ වේදනාස්කන්‍ධයා ගේ ව්‍යය බලයි. මෙසේ වේදනාස්කන්‍ධයාගේ ව්‍යය බලන යෝගී මෙකී පස් ලකුණු බලයි.
‘අවිද්‍යා - තෘෂ්ණා - කර්‍ම - ස්පර්‍ශ සමුදයයෙන් සංඥා සමුදය වන්නේය’යි ද සංඥාව ගේ නිබ්බත්ති ලක්‍ෂණය ද බලන්නේ යි. ‘අවිද්‍යා - තෘෂ්ණා - කර්‍ම - ස්පර්‍ශ නිරොධයෙන් සංඥා නිරෝධය වන්නේය’යි සංඥාව ගේ නිරෝධය ද, විපරිණාම ලක්‍ෂණය ද බලන්නේ යි.
‘අවිද්‍යා - තෘෂ්ණා - කර්‍ම - ස්පර්‍ශසමුදයයෙන් සංස්කාර සමුදයය වන්නේය’යි ද සංස්කාරයන් ගේ නිබ්බත්ති ලක්‍ෂණය ද බලයි. ‘අවිද්‍යා - තෘෂ්ණා - කර්‍ම - ස්පර්‍ශනිරෝධයෙන් සංස්කාරනිරෝධය වන්නේය’යි සංස්කාර නිරෝධ ලක්‍ෂණය ද විපරිනාම ලක්‍ෂණය ද බලන්නේ ය.
‘අවිද්‍යා - තෘෂ්ණා - කර්‍ම - නාම - රූප සමුදයෙන් විඥාන සමුදයය වන්නේය’ යි විඥානයා ගේ සමුදය ද, නිබ්බත්ති ලක්‍ෂණය ද බලන්නේ යැ ‘අවිද්‍යා - තෘෂ්ණා - කර්‍ම - නාම - රූප නිරෝධයෙන් විඥාන නිරෝධය වන්නේය’යි, විඥානයා ගේ නිරෝධය ද, විපරිණාම ලක්‍ෂණය ද බලන්නේ යැ.
මෙසේ එක් එක් ස්කන්‍ධයෙහි (උදය - ව්‍යය වශයෙන්) දසය දසය බැගින් ගෙන සම පනස් (50) ආකාරයෙන් උදය - ව්‍යය කියන ලදි. ඒ සම පනස් ආකාරයා ගේ වශයෙන් ‘මෙසේත් රූපයා ගේ උදය වෙයි, මෙසේත් රූපයා ගේ ව්‍යය වේය’යි ප්‍රත්‍යය වශයෙන් බලයි.
‘මෙසේ රූපය නිපදී. මෙසේ රූපය වැනැසේය’යි නිබ්බත්ති ලක්‍ෂණය ද, විපත්ති ලක්‍ෂණය ද බලයි. මෙසේ ප්‍රත්‍යය වශයෙන් ද ක්‍ෂණ වශයෙන් ද විස්තර වශයෙන් මෙනෙහි කෙරේ.
විශේෂ:- පඤ්චස්කන්‍ධයන් අතුරෙන් ඒ ඒ ස්කන්‍ධයට සාමාන්‍ය ප්‍රත්‍යය වශයෙන් අවිද්‍යා - තෘෂ්ණා - කර්‍ම තුන දැක්වේ. විශේෂයෙන් ආහාර රූපස්කන්‍ධයට ද ඵස්සය වේදනා - සංඥා සංස්කාර ස්කන්‍ධයන් තුනටද, නාම - රූප විඥාන ස්කන්‍ධයට ද ප්‍රත්‍යය වේ.
විස්තර:- “විඤ්ඤාණ පච්චයා නාම රූපං”[4] පටිච්චසමුප්පාදයෙහි විඤ්ඤාණය නාම - රූප ප්‍රත්‍යය වශයෙන් කීවේ නිබ්බත්ති (ජනක) හේතු වශයෙනි. මහාපදාන - මහානිදාන සූත්‍රයන්හි1 හා අභිධර්‍මයෙහි[5] “නාම - රූප පච්චයා විඤ්ඤාණං”2 යි අන්‍යොන්‍ය ප්‍රත්‍යය දේශනයෙහි වදාළේ යි. ඒ වූ කලී ප්‍රවෘත්ති හේතු වශයෙනි. ඔවුන් ගේ නිරෝධයෙන් රූපාදීන් ගේ නිරෝධය වේ. (මේ ටීකා වචනයි.)
නාම - රූප ධර්‍මයන් ගේ උදයහා ව්‍යය ක්‍ෂණික වශයෙන් ද, සන්තනි වශයෙන් ද, අනුත්පන්න වශයෙන් දැයි තුන් ආකාරයෙකින් වේ. ‘අරූපස්කන්‍ධයන් ගේ උදය - ව්‍යය බැලීම සන්තති වශයෙන් වේ. ක්‍ෂණික වශයෙන් නො වේ යැයි’ යි කේචි වාදයෙකි. එහෙත් ප්‍රත්‍යය වශයෙන් උදය - ව්‍යය බැලීමෙහි දී අතීතාදී විභාගය නො ගෙන සර්‍වසාධාරණ හෙයින් අවිද්‍යාදි ප්‍රත්‍යයයෙන් වේදනාව ලැබෙන බව බල යි.
වැලි උත්පාදය නො බලයි. අවිද්‍යාදීන් ගේ අභාවයෙහි ඒ වේදනාව ගේ අනුත්පාදය බල යි. භඞ්ගය නො වේ. ‘ක්‍ෂණ වශයෙන් උදය - ව්‍යය දැකීමෙන් ප්‍රත්‍යුත්පන්නයන් ගේ උත්පාදය ද, ව්‍යය ද දකීය’ යි අන්‍යයෝ කියති. ඒ යුක්ත යැ.
ඒ මෙසේයි:- ‘සන්තති වශයෙන් රූප - අරූප ධර්‍මයන් උදය වශයෙන් ද, ව්‍යය වශයෙන් ද, මෙනෙහි කරන්නාහට පිළිවෙලින් භාවනාව බලවත් වූ කල්හි ඥානය තීක්‍ෂණ - විශද භාවයට පැමිණීමෙන් ක්‍ෂණ වශයෙන් උදය - ව්‍යය වැටහේ ය’ යි කියා යි. මේ වනාහි පළමු කොට ප්‍රත්‍යය වශයෙන් උදය - ව්‍යය මෙනෙහි කරනුයේ අවිද්‍යාදි ප්‍රත්‍යය ධර්‍ම හැරපියා උදය - ව්‍යයවත් වූ ස්කන්‍ධයන් ගෙන ඔවුනට ප්‍රත්‍ය වශයෙන් උදය - ව්‍යය දර්‍ශන මුඛයෙන් ක්‍ෂණ වශයෙන් ද උදය - ව්‍යය මෙනෙහි කර යි. ඔහු ගේ නුවණ තීක්‍ෂණ වැ විශද වැ පවත්නා කල්හි රූප - අරූප ධර්‍ම ක්‍ෂණයක් පාසා උපදනවුන්ව ද බිඳෙනවුන්ව ද වැටහේ. (යනු ටීකාගත විස්තරයෙකි.)
මෙසේ මෙනෙිහ කරන යෝගීහු ගේ ‘මෙසේ මේ ධර්‍මයෝ පෙරැ නොවී හටගනිති. පෙරවී වැනැසෙත් ය යි’ නුවණ අතිශයින් විශද වේ. මෙසේ අවිද්‍යාදි ප්‍රත්‍යය වශයෙන් ද, උත්පාදාදි ක්‍ෂණ වශයෙන් ද, දෙ පරිද්දෙකින් උදය - ව්‍යය බලන ඒ යෝගීහට දුඃඛාදි සත්‍ය භේදය, අනුලෝමාදි ප්‍රතීත්‍ය සමුප්පාද භේදය, එකත්‍ථාදීනය භේදය, අනිත්‍යාදි ලක්‍ෂණ භෙදය යන මොහු ප්‍රකට වෙති.
විශේෂ:- ඒ යෝගී යම් නුවණකින් ‘අවිද්‍යාදීන් ගේ සමුදයෙන් ස්කන්‍ධයන් ගේ සමුදය වේ. අවිද්‍යාදීන් ගේ නිරෝධයෙන් ස්කන්‍ධයන් ගේ නිරෝධය වේය යි’ දකී නම් මේ දැකීම ඒ යෝගීහු ගේ ප්‍රත්‍යය වශයෙන් උදය - ව්‍යය දැකීම යි. යම් නුවණකින් නිබ්බත්ති ලක්‍ෂණ - විපරිණාම ලක්‍ෂණ දකී නම් ඒ දැකීම ක්‍ෂණ වශයෙන් උදය - ව්‍යය දැකීමයි.
“අවිජ්ජා සමුදයා රූපසමුදයො, අවිජ්ජානිරොධ රූප නිරොධො”[6] යනාදීන් අවිද්‍යාදීන් ගේ සමුදයයෙන් හා නිරෝධයෙන් රූපස්කන්‍ධාදීන් ගේ සමුදය හා නිරෝධය වන්නාක් මෙන් ‘නිබ්බත්ති ලක්‍ෂණය හා විපරිණාම ලක්‍ෂණය බලන්නේ ස්කන්‍ධයන් ගේ උදය - ව්‍යය බලන්නේය’යි වචන භේදය නො කොට කියන ලදි. (යනු ටීකායි.)
විස්තර:- උත්පත්තික්‍ෂණයෙිහ ම නිබ්බත්ති ලක්‍ෂණය ද, භඞ්ගක්‍ෂණයෙහි ම විපරිණාම ලක්‍ෂණය ද වන හෙයින් මෙසේ ප්‍රත්‍යය විසින් ද, ක්‍ෂණ විසින් ද, දෙපරිද්දෙකින් උදය - ව්‍යය බලන්නා වූ ඒ යෝගීහට ප්‍රත්‍යය වශයෙන් උදය දැකීමෙන් සමුදයසත්‍යය ප්‍රකට වේ. ස්කන්‍ධාදීන් උපදවන අවිද්‍යාදී ප්‍රත්‍යය අවබෝධ වන හෙයිනි. ජාති දුඃඛය අවබෝධ වන හෙයින් ක්‍ෂණ වශයෙන් උදය දර්‍ශනයෙන් දුඃඛසත්‍යය ප්‍රකට වේ. ප්‍රත්‍යය ධර්‍මයන් ගේ අනුත්පාද නිරෝධයෙන් ප්‍රත්‍යය වත් (ප්‍රත්‍යයෙන් උපදින) ධර්‍මයන් ගේ අනුත්පාද නිරෝධය අවබෝධ වන හෙයින්, ප්‍රත්‍යය වශයෙන් ව්‍යය දර්‍ශනයෙන් නිරෝධ සත්‍යය ප්‍රකට වේ. මරණ දුක අවබෝධ වන හෙයින් ක්‍ෂණ වශයෙන් ව්‍යය දර්‍ශනයෙන් දුඃඛ සත්‍ය ම ප්‍රකට වේ.
මෙසේ මේ යෝගීහට උත්පත්ති වශයෙන් හා ක්‍ෂණ වශයෙන් උදය - ව්‍යය දැකීම වූ මෙ ලෞකික සම්මාදිට්ඨිය මාර්‍ගය යි, මාර්‍ගසත්‍යය ද ප්‍රකට වේ. ‘ප්‍රදීපය තමා ද ප්‍රකාශ කරන්නා සේ’ ආර්‍ය්‍ය මාර්‍ගය තමා ද ප්‍රකට වේ. ඒ ප්‍රකට භාවය ද මොහාන්‍ධකාර විගමනයෙන් වේ. තවද ඒ යෝගීහට ප්‍රත්‍යය වශයෙන් උදය දර්‍ශනයෙන් අනුලොම පටිච්චසමුප්පාදය ප්‍රකට වේ. ‘මේ අවිද්‍යාව ඇති කල්හි මේ සංස්කාරය වේ යයි’ මෙසේ අවබෝධ වන හෙයිනි. ‘මේ අවිද්‍යාදී ප්‍රත්‍යය ධර්‍ම නිරෝධයෙන් මේ සංස්කාරය නිරුද්ධවීය’යි අවබෝධ වන හෙයින් ප්‍රත්‍යය වශයෙන් ව්‍යය දර්‍ශනයෙන් ප්‍රතිලොම ප්‍රතීත්‍යසමුත්පාදය ප්‍රකට වේ. තවද ක්‍ෂණ වශයෙන් උදය - ව්‍යය දර්‍ශනයෙන් ප්‍රතීත්‍ය සමුත්පන්න ධර්‍ම ප්‍රකට වේ. සංස්කාර ලක්‍ෂණය අවබෝධ වන හෙයිනි.
ඒ මෙසේයි:- සංස්කාර ධර්‍ම උදය - ව්‍යය දෙකින් යුක්ත වේ. ඒ සංස්කාර ධර්‍මයෝ ද පටිච්චසමුප්පන්නයෝ ය. තවද ඒ යෝගීහට ප්‍රත්‍යය වශයෙන් උදය - ව්‍යය දර්‍ශනයෙන් එකත්‍ථනය ප්‍රකට වේ. හේතු - ඵල සම්බන්‍ධයෙන් ‘සන්තානය නො සිඳ පවත්නා බව අවබෝධ වන හෙයිනි. එකල්හි උච්ඡේද දෘෂ්ටිය මනාව බැහැර වේ. ක්‍ෂණ හෙයින් උදය දර්‍ශනයෙන් නානාත්‍ථනය ප්‍රකට වේ.
ඒ මෙසේයි :- උත්පාද - ස්ථිති - භඞ්ග වශයෙන් අලුත් අලුත් නාම - රූප ධර්‍මයන් ඉපදීම අවබෝධ වන හෙයිනි. එකල මනාසේ ශාශ්වතදෘෂ්ටිය දුරු වේ.
තවද ඒ යෝගීහට ප්‍රත්‍යය වශයෙන් උදය - ව්‍යය දර්‍ශනයෙන් අව්‍යාපාරනය ප්‍රකට වේ. නාම - රූප ධර්‍මයන් ගේ තමා වශයෙහි නො පවත්නා බව අවබෝධ වන හෙයිනි. එකල්හි මනාකොට ආත්මදෘෂ්ටිය පහවේ. ඒ යෝගීහට ප්‍රත්‍යය හෙයින් උදය දර්‍ශනයෙන් එවං ධම්මතානය ප්‍රකට වේ. ප්‍රත්‍යයට අනුරූප හෙයින් ඵලයා ගේ උත්පාදය අවබෝධ වන හෙයිනි. එකල මනාකොට අක්‍රිය දෘෂ්ටිය දුරු වේ. ඒ යෝගීහට ප්‍රත්‍යය වශයෙන් උදය දර්‍ශනයෙන් අනාත්ම ලක්‍ෂණය ප්‍රකට වේ. සංස්කාර ධර්‍මයන් ගේ උත්සාහ රහිත බව හා ප්‍රත්‍යය පිළිබඳ පැවතුම් ඇති බව අවබෝධ වන හෙයිනි. ක්‍ෂණ හෙයින් උදය - ව්‍යය දර්‍ශනයෙන් අනිත්‍ය ලක්‍ෂණය ප්‍රකට වේ. ඇතිවැ නැති වන බව අවබෝධ වන හෙයින් හා පූර්‍වාන්ත - අපරාන්ත විවෙකය අවබෝධ වන හෙයිනි.
දුඃඛ ලක්‍ෂණය ද ප්‍රකට වේ. උදය - ව්‍යය දෙකින් නැවැතැ නැවැතැ පෙළෙන බව අවබෝධ වන හෙයිනි. ස්වභාව ලක්‍ෂණ ද ප්‍රකට වේ. උදය - ව්‍යය දෙකින් පිරිසිඳිනා ලද බව අවබෝධ වන හෙයිනි. පඨවි-ඵස්සාදි ස්වභාව ලක්‍ෂණයෙහි සඞ්ඛත ලක්‍ෂණයා ගේ ද තාවකාලික (පරිත්ත කාලික) බව ද ප්‍රකට වේ. උදය ක්‍ෂණයෙහි ව්‍යයයාගේ ද, ව්‍යය ක්‍ෂණයෙහි උදයයාගේ ද අභාවය අවබොධ වන හෙයිනි.
මෙසේ ප්‍රකට වූ සත්‍ය - ප්‍රතිත්‍ය සමුත්පාද - නය අනිත්‍යාදි ලක්‍ෂණ ඇති ඒ යෝගීහට ‘පෙර නූපන් විරූ මේ ධර්‍මයෝ උපදිති. උපන් නාම - රූප ධර්‍මයෝ නිරුද්ධ වෙත්ය’ යි නිත්‍යයෙන් අලුතවූවන් වැ මැ සංස්කාරයෝ වැටහෙති. හුදෙක් නිත්‍ය නවකයන් වැ නොවැ හිරු උදාවන කල්හි තණ අග පිණිබිඳු මෙන් ද, දිය බුබුලක් මෙන් ද, දඬුයෙන් දියෙහි ඇඳි ඉරක් මෙන් ද, හිදි අග වැටුණු අබැටක් මෙන් ද, විදුලිය ගැසීමක් මෙන් ද, ස්වල්ප කලක් සිටින්නන්ව ද, ඉන්‍දජාත - මරිචි - ස්වප්න - අලාතවක්‍ර - ගන්‍ධර්‍වනගර - ඵෙණ - කදලි ආදියක් මෙන් ද, අසාර වේය යි ද (නිස්සාර වේය යි) වැටහේ.
මෙපමණකින් මේ යෝගීහු විසින් ‘ව්‍යය ධර්‍ම වූයේ ම උපදී. උපන් නාම - රූප ධර්‍ම සමූහය විනාශයට පැමිණේය’යි මේ ආකාරයෙන් සමපණස් ලක්‍ෂණ ප්‍රතිවේධ කොට පැවති උදය - ව්‍යයානුපස්සනා නම් වූ වන තරුණ විදර්‍ශනා ඥානය ලබන ලද්දේ වේ. ආරබ්ධ විදර්‍ශකය යි ගිණිමට යේ.
විශේෂ:- කලාප සන්මර්‍ශනාදි වශයෙන් පැවැති සන්මර්‍ශන ඥානය නිෂ්පර්‍ය්‍යායෙන් විදර්‍ශනා නම නො ලබයි. උදය - ව්‍යයානු දර්‍ශනාදි වශයෙන් පැවැති ඥානය ම විදර්‍ශනා ඥාන නම ලබ යි. එහෙයින් ආරබ්ධවිදර්‍ශකයා ය යි ගණයට යේයැ යි කියන ලදැයි යනු ටීකා යි.