ඉන් රූප සප්තකය:-
1. ආදානනිකේඛප රූප වශයෙන්
2. චයොවුද්ධන්‍ථ ගමන රූප ”
3. ආහාරමය රූප ”
4. සෘතුජ රූප ”
5. කර්‍මජ රූප ”
6. චිත්තසමුත්‍ථාන රූප ”
7. ධර්‍මතා රූප ”
සත් පරිද්දෙන් විදර්‍ශනාවට නගයි.
1. එහි අදාන නම් ප්‍රතිසන්‍ධි යැ, නික්‍ෂෙප නම් චුතියයි. යෝගාවචර තෙමේ මෙසේ ආදාන නික්ඛේප වශයෙන් හවුරුදු සියයක් (100) පිරිසිඳ සංස්කාර ත්‍රිලක්‍ෂණයට ආරෝපණය කෙරේ.
ඒ මෙසේ යි:- ප්‍රතිසන්‍ධි - චුති අතරැ පැවැති සියලු සංස්කාර (රූප) යො උත්පාද- නිරුද්ධ වශයෙන් පවත්වා හෙයින්ද, ජරා-මරණ දෙකින් පෙරළෙන හෙයින්ද තාවකාලික (ක්‍ෂණික) හෙයින් ද, නිත්‍ය ස්වභාවයෙන් නො පවත්නා හෙයින් ද අනිත්‍යයි.
උපන් සංස්කාර ස්ථිතියට පැමිණෙන හෙයින් ද, ස්ථිතියෙහි පැවති සංස්කාර ජරාවෙන් (දිරීමෙන්) පීඩිතවන හෙයින් ද, ජරාවට පැමිණි සංස්කාර ඒකාන්තයෙන් බිඳෙන හෙයින් දැ යි මෙසේ නිරතුරු වැ පෙළෙන හෙයින් ද, ඉවසීමට දුෂ්කර හෙයින් ද, සසර දුකට පිහිටවන හෙයින් ද, සැපයට ප්‍රතිපක්‍ෂ හෙයින් ද දුක් වේ.
විශේෂ අර්‍ථයෙකි:- ‘උපන් සංස්කාර ස්ථිතියට නො පැමිණෙත්වා ස්ථිතියට පැමිණියාහු නො දිරත්වා, දිරුවාහු නො බිඳෙත්වා, යි මෛස් මෙකී ස්ථිති-ජරා-භෙද (අවස්ථා තුනෙකි) කිසිවකු ගේ වශයෙහි නො පවත්නා හෙයින් ශුන්‍යයි. එසේ ශුන්‍ය හෙයින් ද, වශයෙහි නො පවත්නා හෙයින් ද, ස්වාමි වූවක්හු නැති හෙයින් ද, වශයෙහි පවත්නකු නැති හෙයින් ද, පර පරිකල්පිත ආත්මයක් නැති හෙයින් ද අනාත්ම යි. මෙසේ අදාන - නිඛේප වශයෙන් සියක් (100) වසකින් පරිච්ඡේද කළ රූපය අනිත්‍ය - දුඃඛ - අනාත්ම හෙයින් ත්‍රිලක්‍ෂණයට නගයි.
2. වයොවුද්ධන්‍ථ ගමන වශයෙන් ආරෝපණය කෙරේ. ඒ වනාහි වයස් වශයෙන් වැඩුණු රූපයා ගේ අස්තඞ්ගමය බැලීම් වශයෙන් ත්‍රිලක්‍ෂණයට නැගීම යි.
ඒ මෙසේයි:- ඒ යෝගීතෙමේ එම අවුරුදු සියය ප්‍රථම වයස යැ, මධ්‍යම වයස යැ, පශ්චිම වයස යැ යි තුන් වයසින් පිරිසිඳී. එහි මුල තෙතිස් (33) වස ප්‍රථම වයස යැ, මැද සුතිස් (34) වස මධ්‍යම වයස යැ. අග තෙතිස් (33) වස පශ්චිම වයස යි.
මෙසේ තුන් වයසින් පිරිසිඳ ‘ප්‍රථම වයසෙහි පැවැති රූපය මධ්‍යම වයසට නො පැමිණ එහි ම නිරුද්ධ වේ.’ ‘එහෙයින් ඒ රූපය අනිත්‍ය යැ. යමක් අනිත්‍ය නම් ඒ දුක යැ. යමක් දුක් නම් ඒ අනාත්ම යැ යි’ විදර්‍ශනා වඩ යි.
මධ්‍යම වයස්හි පැවති රූපය ද පශ්චිම වයසට නො පැමිණ එහි ම නිරුද්ධ වේ. එහෙයින් එද අනිත්‍ය යැ, දුක් යැ, අනාත්ම යැ යි විදර්‍ශනා කෙරේ. පශ්චිම වයස්හි පැවති රූපය ද මරණයෙන් මත්තෙහි යාමට සමර්‍ථයකු නැති හෙයින් හෙද අනිත්‍ය යැ, දුඃඛ යැ, අනාත්ම යැ යි ත්‍රිලක්‍ෂණයට නග යි. මෙසේ තුන් වයසින් වයෝවුදධන්‍ථ ගමන වශයෙන් ත්‍රි ලක්‍ෂණයට නඟා නැවතැ:-
“මන්‍දා ඛිඩ්ඩා ච වණ්ණා ච - බලා පඤ්ඤා ච හායනා,
පබ්හාරා ච පවඞ්කා ච - මොමුහා සයනා දස” යී
(1) මන්‍ද දශක, (2) ක්‍රීඩා දශක, (3) වර්‍ණ දශක, (4) බල දශක, (5) ප්‍රඥා දශක, (6) හායනදශක, (7) පබ්හාර දශක, (8) ප්‍රවඞ්ක දශක, (9) මොමුහු දශක, (10) ශයන දශක යන මේ දශක වශයෙන් වයොවුද්ධන්‍ථ ගමන වශයෙන් තිලකුණට නග යි.
(1) එහි හවුරුදු සියයක් (100) ජීවත් වන්නහු ගේ මුල දස හවුරුද්ද මන්‍ද දශකයයි, එකල හේ මන්‍ද-චපල කුඩා ළදරුවෙක් වේ.
(2) ඉක්බිති හේ බෙහෙවින් ක්‍රීඩාවෙහි ඇලෙන හෙයින් ක්‍රීඩා දශකයට පැමිණේ.
(3) අනතුරු වැ හේ ශරීර වර්‍ණය ප්‍රසන්න වැ වර්‍ණවත් බවට පැමිණෙන හෙයින් වර්‍ණ දශකයට පැමිණේ.
(4) අනතුරු වැ හේ ශරීර ශක්තියෙන් වැඩී දැඩී බවට පැමිණෙන හෙයින් බල දශකයට පැමිණේ.
(5) එයින් මතු ඔහුට නුවණ ස්ථිර වැ පිහිට යි. ස්වභාවයෙන් නුවණ නැත්තාට ද එකල මඳ වූ ද නුවණ උපදී. ඒ ප්‍රඥා දශකය යි.
(6) ඉන් මතු පෙර කී දෑ පිරිහෙන හෙයින් පරිහානි දශකය යි.
(7) අනතුරු වැ ඔහුගේ සිරුර ඉදිරියට නැමීමෙන් පබ්හාර දශකයට පැමිණේ.
(8) අනතුරු වැ ඔහුගේ සිරුර නගුල් කොනක් සේ වක්වන හෙයින් ප්‍රවඞ්ක දශකයට පැමිණේ.
(9) පසු වැ ඔහු ගේ සිහි - නුවණ පිරිහී මුළාවන හෙයින් මොමුහු දශකයට පැමිණේ.
(10) අවසන්හි හේ නිතර ශයන පරායන හෙයින් ශයන දශකයට පැමිණේ.
ඒ යෝගී තෙමේ මේ දශ-දශක වශයෙන් වයො වුද්ධත්‍ථ ගමනයෙන් ත්‍රිලක්‍ෂණයට නඟනු පිණිස මෙසේ සලකයි. ප්‍රථම මන්‍ද දශකයෙහි පැවති රූප දෙවෙනි දශකයට නො පැමිණ එහිම නිරුද්ධ වෙයි. -පෙ- නවම දශකයෙහි පැවති රූප දශම දශකයට නො පැමිණ එහිම නිරුද්ධ වෙයි. දශම දශකයෙහි පැවති රූප දෙවන භවයට නො ගොස් මෙහි ම නිරුද්ධ වෙයි. එබැවින් එයද අනිත්‍ය යැ, දුක් යැ, අනාත්මයැ යි ත්‍රිලක්‍ෂණයට නඟ යි. මෙසේ දශක වශයෙන් වයොවුද්ධත්‍ථි ගමනයෙන් ත්‍රිලක්‍ෂණයට නග යි.
නැවැත එම වර්‍ෂ සියයම (100) වර්‍ෂ පඤ්චක වශයෙන් විසි (20) කොටසකට බෙදා වයෝවුද්ධනථ ගමන වශයෙන් ත්‍රිලක්‍ෂණයට නඟ යි.
ඒ මෙසේයි:- පළමු පස් වසෙහි පැවති රූප දෙවෙනි පස් වසට නො පැමිණ එහි ම නිරුද්ධ වෙයි. එහෙයින් එය අනිත්‍ය යැ, දුඃඛ යැ, අනාත්ම යි. දෙවෙනි පස්වසෙහි පැවති රූපය තුන්වැනි -පෙ- එකුන් විසිවැසි (19) පස් වසෙහි පැවති රූපය, විසිවැනි (20) පස් වසට නො ගොස් එහි ම නිරුද්ධ වේ. විසිවැනි පස් වසෙහි පැවති රූප මරණයෙන් මතු යාමට අසමර්‍ථ යැ. එහෙයින් එය ද අනිත්‍ය යැ, දුඃඛ යැ, අනාත්ම යි. මෙසේ විසි (20) කොටස් වශයෙන් වයොවුද්ධන්‍ථ ගමනයෙන් ත්‍රිලකුණට නග යි. නැවැතැ තෙතිස් (33) කොටසක් කොට අවුරුදු තුන-තුන වශයෙන් ද, පනස් (50) කොටස් කොට අවුරුදු දෙක-දෙක වශයෙන්, සියක් (100) කොටස් කොට එක්-එක් වර්‍ෂය වශයෙන් ද, එක් අවුරුද්දක් වස්සාන හේමන්ත ගිම්හාන වශයෙන් තුන් කොටසක් කොට එක එක සෘතු වශයෙන් වස්සාන සෘතුවෙහි සිව් මස පැවති රූපය හේමන්ත සෘතුවට නො පැමිණ එහි ම නිරුද්ධ විය. හේමන්තයෙහි පැවති රූපයට ගිම්හාන සෘතුවට නො පැමිණ එහි ම නිරුද්ධ විය. එහෙයින් එය අනිත්‍ය යැ. දුක යැ, අනාත්ම යැ යි ත්‍රිලක්‍ෂණයට නඟ යි. නැවැතැ එක් වසක් ෂට් සෘතු වශයෙන් සය කොටසක් කොට වස්සානයෙහි දෙමස පැවති රූපය සරදයට නො පැමිණ එහි ම නිරුද්ධ විය. සරදයෙහි පැවති රූපය හේමන්තයට ද, හේමන්තයෙහි පැවති රූපය සිසිරයට ද, සිසිරයෙහි පැවති රූපය වසන්තයට ද, වසන්තයෙහි පැවති රූපය ගිම්හයට ද, ගිම්හයෙහි පැවති රූපය නැවැතැ වස්සානයට ද, නො පැමිණ එහිම නිරුද්ධ විය. එහෙයින් අනිත්‍ය යැ, දුඃඛ යැ, අනාත්මයැ යි මෙසේ ත්‍රිලක්‍ෂණයට නගයි. නැවැත එක් මසක් කාළ පක්‍ෂ- ශුක්ල පක්‍ෂ වශයෙන් ගෙන කාල පක්‍ෂයෙහි පැවති රූපය ශුක්ල පක්‍ෂයට නොපැමිණ එහි ම නිරුද්ධ වී යැ යි ත්‍රිලක්‍ෂණයට නග යි.
නැවැතැ එක් දවසක් රෑ-දාවල් වශයෙන් බෙදා රෑ පැවැති රූපය දවාලට නොපැමිණ එහි ම නිරුද්ධ විය. දහවල් පැවති රූපය රැයට නො පැමිණ එහි ම නිරුද්ධ විය. එහෙයින් අනිතයය දුඃඛ අනාත්මයැ යි තිලකුණට නග යි. අනතුරුවැ ඒ රෑ-දාවල් ද පූර්‍වාහ්නාදී වශයෙන් ස කොටසක් කොට පෙරවරු පැවති රූ, මධ්‍යාහ්නයට නො පැමිණ මධ්‍යාහ්නයෙහි පැවති රූ සායාහ්නයට නො පැමිණ - සායහ්නයෙහි පැවති රූ පෙරයමට නො පැමිණ - පෙරයම පැවැති රූ මැදියමට නො පැමිණ - මැදියම පැවති රූ පසුයමට නො පැමිණ එහි ම නිරුද්ධ වේයැ යි තිලකුණට නග යි.
නැවත එම රූපය ම ඉදිරියට යාම යැ, පෙරළා ඊම යැ, ඉදිරිපස බැලීම යැ, අවට බැලීම යැ, අත් පා හැකිලීම යැ, දිග හැරීම යැ යන මොවුන් ගේ වශයෙන් ද සලකයි. ඉදිරියට යාමෙහි පැවති රූපය පෙරළා ඊමට නො පැමිණ එහි ම නිරුද්ධ විය. අත් පා හැකිලීමෙහි පැවති රූපය අත් පා දිග හැරීමට නො පැමිණ එහි ම නිරුද්ධ විය. එහෙයින් අනිත්‍ය යැ, දුක යැ, අනාත්මයැ යි තිලකුණට නග යි.
නැවැතැ ගමනෙහි දී එක් පියවරක් උද්ධරණ - අතිහරණ - වීතිහරණ - වොස්සජන - සන්නික්ඛෙපන සන්නිරුම්භන වශයෙන් සය (6) කොටසක් කෙරේ.
විස්තර:- පය භූමියෙන් නැඟීම උද්ධරණ නම්, පය ඉදිරියට යැවීම අතීහරණ නමි, කණු-කටු සර්‍පාදීන් ගෙන් කිසිවක් දැක පය ඔබිනොබ යැවීම වීතිහරණ නමි. පය යටට හෙළීම වොස්සජන නමි. පොළොවෙහි පා තැබීම සන්නික්ඛේපන නමි. දෙවන පය උදුරන කලැ පෘථිවිය සමඟ පෙළීම සනින්රුම්භන නමි.
ඔවුනතුරින් පා උද්ධරණයෙහි පඨවි - ආපෝ ධාතුවය හීන වූවා වෙ යි. සෙසු තේජෝ - වායෝ ධාතුව වැඩිවැ බලවත් වේ. අතීහරණ, වීතිහරණ යන්හි ද එසේ මැ යි.
වොස්සජනයෙහි තේජෝ-වායෝ ධාතු ද්ව අඩුවැ හීන වේ. පඨවි-ආපො ධාතු ද්වය අධිකවැ බලවත් වේ. සන්නික්ඛේපන සන්නිරුම්භනයන්හි ද එසේ මැ යි.
මෙසේ සය කොටසක් කොට ඔවුන් ගේ වශයෙන් ඒ වයොවුඞ්න්‍ථගම රූපය තිලකුණට නග යි.
ඒ මෙසේයි:- පා එසවීමෙහි පැවති ධාතුහු ද, ඔවුන් නිසා පැවති රූප ද යන මේ සියලු ධර්‍මයෝ පා ඉදිරියට එළවීමට නො පැමිණ එහි ම නිරුද්ධ වෙති. එහෙයින් අනිත්‍යය හ. දුඃඛය හ. අනාත්මය හ.
එසේම අතිහරණයෙහි පැවැති රූප ධර්‍මයෝ වීතිහරණයට ද -පෙ- සන්නිරුම්භනයට ද, නො පැමිණ එහි ම නිරුද්ධ වෙති.
මෙසේ ඒ ඒ තන්හි උපන් රූපයෝ අනෙක් අනෙක් කොටසකට නො පැමිණ ඒ ඒ තන්හී ම පර්‍ව-පර්‍ව වැ සන්‍ධි - සන්‍ධි වැ ඔධි වැ රත්යක බලෙකැ බහාලු තල මෙන් ‘තට-තට’ යන හඬ ඇති වැ මෙන් බිඳෙති. එහෙයින් අනිත්‍යය හ. අනිත්‍යය හෙයින් දුඃඛය හ. දුක් හෙයින් අනාත්මය හ යි. මෙසේ පර්‍ව - පර්‍වගත සංස්කාර විදර්‍ශනා වඩන්නා හට රූප සන්මර්‍ශනය සුඛුම වේ.
ඒ සුඛුම බවට මේ උපමාවෙකි:- දරහුළු - තණහුළු ආදියෙහි පුරුදු වූ පහන්සිළු නො දුටු පසල් දනව් වැස්සෙක් නුවර අවුත් ආපනයක් තුළ දැල්වෙන පහනක් දැක, මේ මනාප වූ දැය කිම්දැ යි එක් මිනිසකු විචාළේය. මෙහි මනාප නම් කිම් ද මේ පහන නම. තෙල් හැ වැටිය ක්‍ෂය වීමෙන් මේ පහන ගිය මග පවා නො පැන්නේය යි ඒ මගියාට කී නුවර වැස්සා මෙසේ ද කී. මෙහි ලා ‘මෙද ඖදාරික යැ. මේ වැටිය කෙමෙන් දනු ලබන කලැ තුන්වන - තුන්වන භාගයෙහි දැල්ල අනික් ප්‍රදේශයකට නො පැමිණ නිරුද්ධ වේ. ඔහු මෙසේ ද කී. “මෙද ඖදාරිකයැ” මේ පහන් වැටියෙහි අඟුලක් - අඟුලක් පමණ පෙදෙසහි, අඩ‘ඟුලක් - අඩ‘ඟුලක් පමණ පෙදෙසෙහි, හූයෙහි හූයෙහි, අංශුවෙහි අංශුවෙහි දැල්ල අනෙක් අංශුවකට නො ගොස් නිරුද්ධ වේ. එහෙයින් අංශුව හැර දැල්ලක් පැනවීමට නො හැක්කේ ය යි සිතී. එහි තෙල් අවසන් වීමෙන් හා වැටිය අවසන් වීමෙන් පහන ගිය මාර්‍ගය නොපැන්නේ ය යි පුරුෂයාගේ දැනීම මෙන් යෝගියාගේ ආදාන - නික්ඛේප වසයෙන් සියක් අවුරුද්දෙන් පිරිසිඳින ලද රූපයේ තිලකුණට නැගීමද, පහන් වැටියෙහි තුන්වන - තුන්වන භාගයෙහි දැල්ල අනෙක් අනෙක් ප්‍රදේශයකට නොපැමිණ නිරුද්ධ වන්නේ ය යි පුරුෂයාගේ දැනුම මෙන් ඒ යෝගියා ගේ වර්‍ෂ සියයේ තුන්වන කොටස පිරිසිඳී (වයොවුදධන්‍ථගාමී) රූපය ත්‍රිලක්‍ෂණයට එළවීම වේ.
පුරුෂයාගේ අඞ්ගුල අතරෙහි දැනුම මෙන් යෝගීහු ගේ දස වසින් - පස් වසින් - සතර වසින් - තුන් වසින් - දෙ වසින් - එක් වසින් යන මේ නයින් පිරිසිඳින ලද රූපය ත්‍රිලක්‍ෂණයණට එළවීම යි.
‘අඩඟුල් - අඩඟුල් අතරැ දැල්ල අනෙක් - අනෙක් අඩඟලකට නො ගොස් නිරුද්ධ වේ, යැයි පුරුෂයා දැනීම මෙන් යොගියා ගේ එක් - එක් සෘතු වශයෙන් එක් වසක් තුනට හෝ සයට බෙදා සිවු මසින් දෙ මසින් පිරිසුන් රූපය තිලකුණට එළවීම දතයුතු.
හූයෙහි - හූයෙහි දැල්ල අනෙකකට නො ගොස් නිරුද්ධ වේ යන පුරුෂයා ගේ දැනීම මෙන් යෝගීහු ගේ කෘෂ්ණ - ශුකල පක්‍ෂ වශයෙන් ද, රෑ - දාවල් වශයෙන් ද එක රෑ දාවලක් සකොටසකට බෙදා පූර්‍වාශ්ණාදි වශයෙන් පිරිසුන් රූපය තිලකුණට නැගීම ද, අංශුවෙහි දැල්ල අනෙකකට නො පැමිණ නිරුද්ධ වේ යන පුරුෂයා ගේ දැනුම මෙන් යෝගීහු ගේ අභික්කමාදී වශයෙන් ද, උද්ධරණාදි එක් - එක් කොට්ඨාස වශයෙන් ද, පිරිසුන් රූපය තිලකුණට නැගීම ද දතයුතු.
ඒ යෝගී මෙසේ නානා අයුරින් වායොවුද්ධත්‍ථගාමී රූය තිලකුණට නගා නැවත ද එම රූපය විභාග කොට ආහාරමයාදී වශයෙන් සිවු කොටසක් කොට එක් එක් කොටස තිලකුණට නගයි.
3. ආහාරමය රූප වශයෙන්:- ආහාරමය රූපය ක්‍ෂුධා සුහිත කාල වශයෙන් ප්‍රකට වේ.
ඒ මෙසේ යි:- ක්‍ෂුධා කාලයෙහි උපන් රූප මලානික වේ. ක්ලාන්ත වේ. දා ගිය කනුවක් මෙන් ද, අඟුරු පැසෙක සැඟවුණු කවුඩකු මෙන් ද දුර්වර්ණ වෙයි. නපුරු වැ සිටී. සුභික්‍ෂ (ආහාරයෙන් පිරුණු) කලැ උපන් රූප තෘප්ත වෙයි, ප්‍රණිත වෙයි, මෘදු වෙයි, සිනිඳු වෙයි, මනා පහස් ඇති වේ.
ඒ යෝගී තෙමේ එය පරිග්‍රහ කොට බඩ සා කලැ පැවති රූප බඩ පිරි කලට නො පැමිණ ඒ සා කල ම නිරුද්ධ වේ. බඩ පිරි කලැ පැවැති රූප ද, බඩ සා කලට නො පැමිණ එකල ම නිරුද්ධ වේ. එහෙයින් ඒ රූප අනිත්‍ය යැ, දුඃඛ යැ, අනාත්ම යැ යි මෙසේ එහි තිලකුණට නගයි.
4. සෘතුජ රූප වශයෙන් :- සෘතුජ රූපය ශීත - උෂ්ණ වශයෙන් ප්‍රකට වේ.
ඒ මෙසේයි:- උෂ්ණ කාලයෙහි පවත්නා රූප මලානික වේ, ක්ලාන්ත වේ, දුර්‍වණ වේ, ශීත කාලයෙහි පවත්නා රූප තෘප්ත වේ. ප්‍රණීත වේ, මෘදු වේ. සුව පහස් ඇත්තේ වේ, සිනිඳු වේ. ඒ යෝගී තෙමේ ඒ රූප පරිග්‍රහ කොට උෂ්ණ කාලයෙහි පැවැති රූපය ශීත කාලයට නො පැමිණ එහි ම නිරුද්ධ වේ. ශීත කාලයෙහි පැවති රූපය ද උෂ්ණ කාලයට නො පැමිණ එහි ම නිරුද්ධ වේ. එහෙයින් එය අනිත්‍ය යැ, දුඃඛ යැ, අනාත්ම යැ යි මෙසේ තිලකුණට නගයි.
5. කර්‍මජ රූප වශයෙන් :- කර්‍මජ රූප ආයතන සඞ්ඛ්‍යාත ද්වාර වශයෙන් ද ප්‍රකට වේ.
ඒ මෙසේයි:- චක්‍ෂුර්ද්වාරයෙහි, චක්‍ෂුර්‍දශක - කාය දශක - භාව දශක වශයෙන් කර්‍මජ රූප තිසෙක් (30) වේ. ඔවුනට උපස්තම්භක සෘතු - චිත්ත - ආහාර සමුත්‍ථාන ශුද්ධාෂ්ටක තුන - තුන වශයෙන් සූවිසි (24) රූපය දැ යි සූපනසෙක් (54) වේ. ශ්‍රොත්‍ර - ඝ්‍රාණ ජිහ්වා චාරයන් හිද එසේම සුපනස බැගින් වේ.
කාය ද්වාරයෙහි කාය භාව දශක වශයෙන්ද, සෘතුසමුත්‍ථානාදී වශයෙන් දැ යි රූප සුසාලිසෙක් (44) වේ. මනෝද්වාරයෙහි හෘදය වස්තු දශකය, කාය දශකය, භාව දශකය යන මොවුන් ගේ වශයෙන් ද සෘතුසමුත්‍ථානාදී වශයෙන් ද සූපනසෙක් (54) ම වේ.
(මනොද්වාරය නම් සාවජ්ජන භවාඞ්ග යැ. එයට නිඃශ්‍රය බැවින් හදවත සඳහා නිඃශ්‍රිත ව්‍යවහාරයෙන් ‘මනෝද්වාරෙ’ යි යූහු. ‘යම් තැනෙක මනෝස්වාරොත්පත්තිය ද හේ මනොද්වාර නමැ යි යනු සත්‍යයි.) ඒ යෝගීතෙමේ ඒ සියලු රූප පරිග්‍රහ කොට චක්‍ෂුර්ද්වාරයෙහි පැවැති රූපය ශ්‍රෝත්‍ර ද්වාරයට නො පැමිණ එහි ම නිරුද්ධ වේ. ශ්‍රෝත්‍රද්වාරයෙහි පැවැති රූපය ඝ්‍රාණද්වාරයට ද, ඝ්‍රාණද්වාරයෙහි පැවති රූපය ජිව්හාද්වාරයට ද, ජිව්හාද්වරයෙහි පැවැති රූපය කායද්වාරයට ද, කායචාරයෙහි පැවැති රූපය මනෝද්වාරය ද, නො පැමිණ එහි ම නිරුද්ධ වේ. එහෙයින් එය අනිත්‍ය යැ, දුඃඛ යැ, අනාත්ම යැ යි මෙසේ තිලකුණට නගයි.
6. චිත්ත සමුත්‍ථාන වශයෙන්:- චිත්ත සමුත්‍ථාන රූපය සෝමනස්ස - දෝමනස්ස කාලයෙහි පැවතීම වශයෙන් ප්‍රකට වේ.
ඒ මෙසේයි:- සොම්නසින් යුත් කලැ උපන් රූප සිනිඳු වේ. මෘදු වේ. ප්‍රණීත වේ. සුඛ ස්පර්‍ශ වේ. දොම්නස් කලැ උපන් රූප - ම්ලාන වේ, ක්ලාන්ත වේ. දුර්‍වණ වේ.
ඒ යෝගී තෙමේ ඒ රූප පරිග්‍රහ කොට සොම්නස් කලැ පැවැති රූපය දොම්නස් කල නො පැමිණ එහිම නිරුද්ධ වේ. දොම්නස් කලැ පැවැති රූපය සොම්නස් කලට නො පැමිණ එහි ම නිරුද්ධ වේ. එහෙයින් අනිත්‍ය යැ, දුඃඛ යැ, අනාත්මයැ යි මෙසේ එහි තිලකුණට නගයි. මෙසේ චිත්ත සමුත්‍ථාන රූප පරිග්‍රහ කොට එහි ත්‍රිලක්‍ෂණයට නගන යෝගීහට මේ අර්‍ථය ප්‍රකට වේ.
“ජීවිතං අත්තභාවො ච - සුඛදුක්ඛා ච කෙවලා
එකචිත්තසමායුත්තා - ලහුසො වත්තතෙ ඛණො
චුලාසිති සහස්සානි - කප්පං තිට්ඨන්ති යෙ මරූ
නත්‍ථෙව තෙපි තිට්ඨන්ති - ද්‍වි චිත්තෙහි සමාහිතා
යෙ නිරුද්ධා මරන්තස්ස - තිට්ඨමානස්ස වා ඉධ
සබ්බෙව සදිසා ඛන්‍ධා - ගතා අප්පටි සන්‍ධිකා
අනන්තරා ච යෙ භග්ගා - යෙ ච භග්ගා අනාගතෙ
තදන්තරා නිරුද්ධානං - වෙසමං නත්‍ථි ලක්ඛණෙ
අනිබ්බත්තෙන න ජාතො - පච්චුප්පන්නෙන ජීවති
චීත්තභඞ්ගා මතො ලොකො - පඤ්ඤත්ති පරමත්‍ථියා
අතිධානගතා භග්ගා - පුඤ්ජොනත්‍ථි අනාගතෙ
නිබ්බතතා යෙපි තිට්ඨනති - ආරග්ගෙ සාසපුපමා
නිබ්බත්තානඤ්ච ධම්මානං - භඞ්ගො නෙසං පුරක්ඛතො
පලොකධම්මා තිට්ඨන්ති - පුරාණෙහි අමිස්සීතා
අදස්සනාතො ආයන්ති - භඞ්ගා ගච්ඡත්‍ය දස්සනං
විජ්ජුප්පාදො ව ආකාසෙ - උප්පජ්ජන්ති වයන්තී ච
*[1] දිවිය, අත් බව් හා - සුව දුක් දහම් මත් වේ.
එක් සිත් සැණක් පැවැතේ - එ සැණ ද ඉතා ලුහු වේ
සුවාසූ දහසක් - කප් සිටින දෙවියෝවත්
උපන් සිත හා නසිනෙන් - දෙසිත් සැණෙකින් නො සිටිත්.
මැරෙනහු සෙ දිවමන් - සතන් නැසෙන පස්කඳ
පිළිසඳ නො යනුයෙන් මතු - සම වේ සියල නැසුමෙන්
අනතුරුව ද නැසුණු - අනාකල ද නැසෙන සුලු
දෙ අතුරැ පැවැතැ - සකරන් ලකුණු නො වෙනසි
නො උපතේ නූපනි - වත්මන් සිතින් දිවමනි
සිත්නට½[2] මළැයි පරමත් - දිවමන්නම් වහරමත්
බුන්දම් නො සැඟවිණි - අනාකැ පිඩුවෙක් නැති
හිදී අගැ අබැටක් ලෙසින් - වත්තමන සකර පැවැතෙ
නිපන් එ සකර දම් - වැනැසුම් පෙරටු කොට ගෙන
පැරැණි දම් හා නුමුසුවැ - වැනැසෙන සුලැවැ සිටුනේ
කිසි තැනෙකින් නො ඒ - නැසුණේද නොදැක්මට යේ
අහසෙහි නැගි විදුලි සේ - සකර උපදී වැනැසේ
මෙසේ ආහාරමයාදී රූපයෙහි තිලකුණු අරවා නැවැතැ ධර්‍මතා රූපයෙහි තිලකුණු අරව යි.
ධර්‍මතා රූපය නම්:- පිටත (අනින්‍ද්‍රිය බඬ වූ) යකට- ලෝහ- සුදු ඊයම්- කළු ඊයම්- රන්- රිදී- මුතු- මැණික්- වෙරළු මිණි- සක්- කළුගල්- පබළු- රතුකැට- මාසිරිගල්- පොළෝ- පහණ- ගල්- තණ- රුක්- ලිය ආදී ප්‍රභේද ඇති මට ගන්නා කප පටන් ගෙන උපදනා රූපය යි. එය මේ යෝගී හට අශෝක අඞ්කුර වශයෙන් ප්‍රකට වේ.
ඒ මෙසේ:- අශෝක අංකුර රූපය ආදියෙහි ම තුනී රත් පැහැය. නැවැතැ දෙතුන් දිනක් ඇවෑමෙන් මඳක් රත්වේ. අනතුරුවැ තරුණ පත් බඳු වර්‍ණ වේ අනතුරු වැ මේරු පත් බඳු පැහැවේ. ඉක්බිති කොළ පත් පැහැ වේ. අනතුරුව නිල් පත් පැහැ වේ. එතැන් පටන් වර්‍ණාදි වශයෙන් සමාන ස්වභාව ඇති රූපය හේතු - ඵල පරම්පරා නො සිඳ පවත්නේ හවුරුද්දකින් පමණ පඬුවන් වැ නටුවෙන් ගැලවී බිම හෙයි. ඒ යෝගී තෙමේ ඒ පරිභ්‍රව කොට තුනී රතු කල පැවැති රූපය මඳ රතු කාලයට ද -පෙ- පඬුවන් පත් කල පැවැති රූපය නටුයෙන් ගිලිහී වැටෙන කාලයට නො පැමිණ නිරුද්ධ වේ. එහෙයින් එය අනිත්‍ය යැ. දුඃඛ යැ, අනාත්මයැ යි මෙසේ එහි තිලකුණට නගා මේ නයින් සියලු ධම්මතා රූපය සන්මර්‍ශනය කෙරේ. (මේ දුඃඛය වනුයේ ඒ ගැන ඇලුම් ඇත්තහුට යැ.)
මෙසේ රූප සප්තක වශයෙන් පළමුකොට තිලකුණට නගා සංස්කාර සන්මර්‍ශනය කෙරේ.