ස්කන්ධ පසක්ම වදෑරීම

මෙසේ මම යැ, මාගේ යැ යි, වරදවා ගැනීමට මේ පඤ්චස්කන්ධය වස්තුවන හෙයින් ද, මේ පඤ්චප්‍ර‍කාරය මැ පරම කොට ඇති හෙයින් ද, පඤ්චස්කන්ධයක් ම වදාළහ. අන්‍ය වූ ශීලස්කන්ධාදි වශයෙන් වදාළ පඤ්චස්කන්ධයෝ, සංස්කාරස්කන්ධයෙහි ඇතුළත් වන හෙයින් පඤ්චස්කන්ධයට ම ඇතුළු වෙති. මෙසේ සෙසු ස්කන්ධයන් ද එහි ම ඇතුළත් හෙයින් පසක් ම වදාළහ.

මෙසේ නො අඩු - නො වැඩි වශයෙන් (පඤ්චස්කන්ධය) විනිශ්චය දත යුතුයි.

(4) උපමා වශයෙන් :- ගිලනකු වැනි විඥාන උපාදානස්කන්ධයට වස්තු-ද්වාර ආලම්බන වන හෙයින් රූපූපාදානස්කන්ධය ගිලන්හලකට බඳු උපමා ඇත්තේ ය.

වේදනා- උපාදානස්කන්ධය ලෙඩකට බඳු උපමා ඇත්තේ ය.

(දුක්ඛදුක්ඛය, සංඛාරදුක්ඛය, විපරිණාමදුක්ඛය යන මොවුන් ගේ වශයෙන් හිංසා කරන හෙයිනි.)

සංඥා උපාදානස්කන්ධය, කාම සංඥාදී වශයෙන් රාගාදීන් හා සම්ප්‍ර‍යුක්ත වේදනා ඉපදීමට හේතුවන හෙයින් වා, පිත්, සෙම් ආදී රෝග හටගැනීම බඳු ය.

සඞ්ඛාරුපාදානස්කන්ධය වේදනා නමැති ගිලන් බවට නිදාන හෙයින් නොසැපදෑ සෙවුමක් බඳු උපමා ඇත්තේ ය. වේදනාව විඳීම් ස්වභාවය පිණිස අභිසංස්කරණය කෙරෙතැයි එහෙයින් කියන ලදී. ඒ මෙසේම, “අකුසලස්ස කම්මස්ස කතන්තා උපචිතත්තා විපාකං කායවිඤ්ඤාණං උපපන්තංහොති දුක්ඛසහගතං”[1] අකුශල කර්‍මය කළහෙයින් රැස්කළ හෙයින්, දුක් සහගත කායවිඤ්ඤාණය උපන්නේ වෙයි.

වේදනා සඞ්ඛ්‍යාත රෝගාතුර බැවින් නො මිදුණ හෙයින් විඥානොපාදානස්කන්ධය ගිලනකු බඳු ය.

තවද, පඤේචාපාදානස්කන්ධය පිළිවෙළින්, බන්‍ධනාගාරය, දෙතිස් කම්කටොළුය, අපරාධය, වධකය, වධයට සුදුසු පුද්ගලය යන මොවුන්ට බඳු ය. තවද, භාජනය, භෝජනය, ව්‍යඤ්ජනය, වළඳන්නාය, අනුභවකරන්නාය යන මොවුන්ටද බඳු ය. (ඒ සුගමයි)

මෙසේ උපමා වශයෙන් විනිශ්චය දතයුතු.

(5) දෙපරිද්දකින් දතයුතු බැවින් සංඛේප විස්තර වශයෙන් මේ පඤ්චොපාදානස්කන්‍ධය දෙපරිද්දකින් දතයුතු බැවින් විනිශ්චය දතයුතු.

සංඛේප වශයෙන් මේ පඤ්චුපාදානස්කන්‍ධය, ආශිවිෂොපම සූත්‍රයෙහි[2] වදාළ සේ, අමෝරාගත් කඩු ඇති වධකයකු සේද, භාරසූත්‍රාන්ත[3] වශයෙන් මහත් බරක් සෙයින් ද, ඛජ්ජනීය පරියාය[4] වශයෙන් කන්නකු සේ ද, යමකසූත්‍ර‍[5] වශයෙන් අනිත්‍ය-දුඃඛ-අනාත්ම සංඛ්‍යාත වධකයකු සේද දතයුතුය.

විස්තර වශයෙන් වනාහි මැඩීම නො ඉවසන හෙයින් රූපස්කන්ධය පෙණපිඩක් සේද, මොහොතක් රමණීය බැවින් වේදනාස්කන්ධය දියබුබුලක් මෙන්ද, වැරදි සේ පොළඹවන හෙයින් සංඥාස්කන්ධය මරීචියක් මෙන්ද, අසාර හෙයින් සංස්කාර ස්කන්ධය කෙසෙල් කඳක් මෙන් ද, වඤ්චාකරන හෙයින් විඥාන ස්කන්ධය මායාවක් මෙන්ද, ගත යුතුයි.

විශේෂ වශයෙන් වනාහි මනා රූමත් වූ ද අධ්‍යාත්මික රූපය අශුභ යැයි දතයුතු. වේදනා විවිධ දුඃඛයෙන් නො මිඳුන හෙයින් දුක් යයි ද, සංඥා - සංස්කාර වශයෙහි නො පවත්නා හෙයින් අනාත්මය යි ද, විඤ්ඤාණය ඇතිව නැතිවන ස්වභාව හෙයින් අනිත්‍යය යි ද, දතයුතු.

(6) බලන්නහුට අර්‍ථසිද්ධි වශයෙන් මෙසේ සංක්‍ෂේප වශයෙන් ද, විස්තර වශයෙන් ද, දෙපරිද්දෙන් බලන්නා වූ යෝගාවචරයා හට යම් අභිමතාර්‍ථ ලාභයෙක් වේ නම් ඒ වශයෙන් විනිශ්චය දතයුතු.

ඒ එසේමැයි:- සංක්‍ෂේප වශයෙන් පඤේචාපාදානස්කන්ධය අමෝරා ගත් කඩුව ඇති වධකයකු සේ බලන්නේ ස්කන්ධයන් කෙරෙන් වෙහෙසට නො පැමිණේ. විස්තර වශයෙන් ස්කන්ධාදිය පෙණපිඬු ආදිය මෙන් දක්නේ අසාර වූ පඤ්චස්කන්ධයෙහි සාර වශයෙන් නො දක්නේ ය. විශේෂයෙන් අධ්‍යාත්ම රූපය අශුභ වශයෙන් දක්නා යෝගාවචරතෙමේ කබලීකාරාහාරය පිරිසිඳ දැනගනී.

විස්තර වශයෙන් :- ආහාරසමුදයා රූපසමුදයො ‘ආහාර හටගැනීමෙන් රූප හටගනීය’යි කී හෙයින්, අධ්‍යාත්ම රූපයෙහි ඡන්‍දරාග දුරුකළ හෙයින් එයට හේතු වූ කබලීකාරාහාරයෙහි ද, ඡන්‍දරාගය පහකෙරේ. මේ පහාන පරිඤ්ඤය.

අධ්‍යාත්ම රූපය පරිග්‍ර‍හ කරන්නේ, අධ්‍යාත්ම රූපයට හේතු වූ කබලීකාරාහාරය ද, පිරිසිඳ දැනගනී. මේ ඤාතපරිඤ්ඤාය.

ඒ අධ්‍යාත්ම රූපයාගේ උත්පාද - භඞ්ගයන් දකින්නේ එයට හේතු වූ කබලීකාරාහාරයා ගේ ද, උත්පාද - භඞ්ග දක්නේ ය. මේ තීරණපරිඤ්ඤාය.

මේ ත්‍රිවිධ පරිඥායෙන් යුක්ත වූයේ, අශුභයෙහි ශුභයයි විපල්ලාසය දුරු කෙරේ. කාමෝඝය එතර කෙරේ. කාමයෝගයෙන් වෙන් වෙන්. කාමාශ්‍ර‍වයෙන් නිරාශ්‍ර‍ව වේ. අභිධ්‍යාකායග්‍ර‍න්‍ථය (විෂම ලෝභය) බිඳී. කාමඋපාදානය ළංකොට නො ගනී.

වේදනාව දුක් වශයෙන් දක්නේ, ස්පර්ශාභාරය පිරිසිඳ දනී. දුඃඛයෙහි සැපය යන විපර්‍ය්‍යාසය දුරු කෙරේ. භවෝඝය එතර කෙරේ. භයයෝගයෙහි නො යෙදේ. භවාශ්‍ර‍වයෙන් නිරාශ්‍ර‍ව වේ. ව්‍යාපාද කායග්‍ර‍න්‍ථය සිඳී. සීලබ්බතොපාදානයන් නො ගනී.

සංඥා-සංස්කාරයන්අනාත්ම වශයෙන් දක්නේ මනෝසඤ්චේතනාහාරය (කුශලා‘කුශල කර්‍ම සඞ්ඛ්‍යාත සංස්කාර ස්කන්ධය) පිරිසිඳ දනී. අනාත්මයෙහි ආත්මය යන විපර්‍ය්‍යාසය දුරු කෙරේ. දෘෂ්ටිඕඝය පහ කෙරේ. දෘෂ්ටි යෝගයෙන් වෙන් වේ. දෘෂ්ටි ආශ්‍ර‍වයෙන් නිරාශ්‍ර‍ව වේ. ඉදංසච්චාභිනිවේස කාය ග්‍ර‍න්‍ථය බිඳී. ආත්මවාදෝපාදානය (මමයැ මාගේය යි දැඩි කොට) නො ගනී.

විඥානය අනිත්‍ය වශයෙන් දක්නේ විඥානාහාරය පිරිසිඳී. අනිත්‍යයෙහි නිත්‍යය යන විපර්යාශය දුරු කෙරේ. අවිද්‍යා ඕඝය එතර කෙරේ. අවිද්‍යායෝගයෙන් නො බැඳේ. අවිද්‍යාශ්‍ර‍වයෙන් අනාශ්‍ර‍ව වේ. සීලබ්බතපරාමාසකායග්‍ර‍න්‍ථය බිඳී. දිට්ඨිඋපාදානය දැඩිකොට නො ගනී.

මෙසේ ධීර වූ යෝගී තෙමේ පඤ්චස්කන්ධයෙහි විපල්ලසාදි සකල සංක්ලේශප්‍ර‍හාණයෙන් විපුල ඵල ඇති දැකීම වූ වධකාදීන් වශයෙන් නුවණින් දක්නේ යි.

සාධුජන ප්‍රමෝදය පිණිස කළ විශුද්ධි මාර්‍ගයෙහි

ප්‍ර‍ඥාභාවනාධිකාරයෙහි ස්කන්ධ නිර්‍දෙශ නම් වූ තුදුස්වැනි

පරිච්ඡේදය මෙතෙකින් නිමියේයි.

  1. ධ:ස: චිතුප්පාදඛණ්ඩ 105

  2. සං:නි: සළායතන සං: 656

  3. සං:නි: ඛන්‍ධසංයුත්ත 338

  4. සං:නි: ඛන්‍ධසං: 401

  5. සං:නි: ඛන්‍ධක 412