නේවසඤ්ඤානාසඤ්ඤායතනය ධ්‍යානය වඩනු කැමැති යෝගාවචර තෙමේ පස් ආකාරයකින් ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියෙහි වසී බවට පැමිණීමෙන් මේ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට ළංවූ විඤ්ඤාණඤ්චායතන නමැති පසමිතුරා ඇත්තේ ය. නේවසඤ්ඤා නාසඤ්ඤායතනය සංස්කාරයන් ගේ සියුම් බවට පැමිණීමෙන් විශේෂයෙන් සන්හුන්නා සේ සන්හුන් බවට පැමිණියේත් නොවේ. ඒ සන්හුන් බව නැති හෙයින් ම (රූපාදිස්කන්‍ධයෙහි) ප්‍රත්‍යයයෙන් යැපිය යුතු හෙයින් හා රෝගයට මුල් බැවින් ද රෝගයක් බඳුවේ. දුක් බැවින් හා රිදීම ඇති කරන හෙයින් ගඩක් (පොළක්) බඳු වේ. පීඩා උපදවන හෙයින් හුලක් බඳු වේ. මේ සියල්ල සංඥාව ඇති කල්හිම වන හෙයින් “සඤ්ඤා රොගො, සඤ්ඤා ගණ්ඩො, සඤ්ඤා සල්ලො”[1] යි සංඥාව රෝගයෙක; ගඩෙක; හුලෙකැ’යි වදාළහ. (මෙහි සංඥා නම් විඥානය ය)
(මෙහි වනාහි පඤ්චචෝකාර භවගත සංඥාව (විඥානය) අභිප්‍රේතය. ප්‍රකට හෙයිනි. හුදෙක් එපමණක් නොව වේදනා චේතනාදිය ද සංග්‍රහ වේ) මෙසේ ආකිඤ්චඤ්ඤායතනයෙහි දොස් දැක එහි ආසා දුරුකොට නේවසඤ්ඤා නාසඤ්ඤායතනයෙහි ආනිසංසද බලා එය ශාන්ත වශයෙන්, ප්‍රණීත වශයෙන්) මෙනෙහි කොට ප්‍රථමරූප්‍යවිඥානයා ගේ අභාවය අරමුණු කොට පැවැති ඒ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තිය ම “ශාන්තයැ ශාන්තයැ” යි නැවත නැවත මෙනෙහි කරන, ආවර්‍ජනා කරන, ප්‍රත්‍යවේක්‍ෂා කරන, තර්‍ක කරන, විතර්‍ක කරන, (එහිම සිත) නැවත නැවත පිහිටුවන ඒ යෝගවචරයා ගේ සිත්හි නීවරණයෝ පහවෙති. සිහිය පිහිටයි. උපචාරධ්‍යානයෙන් සිත එකඟ වේ. හෙතෙම ඒ ධ්‍යාන නිමිත්ත නැවත නැවත වඩයි. ඒ වඩන්නාහට විඤ්ඤාණාපගමයෙහි ආකිඤ්චඤ්ඤායතනය මෙන් ආකිඤ්චඤ්ඤායතනය යි කියන ලද සතර නාමස්කන්‍ධ සංඛ්‍යාත අරමුණෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතන ධ්‍යාන සිත අර්පණා වශයෙන් මනාව උපදී. (මෙහි අර්පණා ක්‍රමය ද යට කී සේ දතයුතු)
මෙතෙකින් ඒ යෝගාවචර තෙම:- “සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නේවසඤ්ඤා නාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති”[2] පෙරකී සේ සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය ඉක්ම නේවසඤ්ඤා නාසඤ්ඤායතනයට පැමිණ වාසය කෙරේ.
විස්තර පෙර කී සේ මැයි.
මෙහි ද, ආලම්බනය ද, ධ්‍යානය ද, ආකිඤ්චඤ්ඤායතන නම් වේ. දෙවියන්ගේ වාසස්ථානය ආධාරාර්‍ථයෙන් දේවායතන නම් වන්නා සේ තෘතිය අරූපධ්‍යානයට අරමුණු වන හෙයින් ආකිඤ්චඤ්ඤ වූයේ ම ආයතන නම් වේනුයි ආකිඤ්චඤ්ඤායතන නම් වේ.
ඒ ධ්‍යානයා ගේ ඉපදීමට හේතු වූ බැවින් කාම්බෝජ දේශය අශ්වයන් ඉපදීමට ස්ථාන සංඛ්‍යාත ආයතන වන්නා සේ ආකිඤ්චඤ්ඤවූයේ ම ආයතන වේනුයි ආකිඤ්චඤ්ඤායතන නම් වේ. මෙකී ආරම්මණය ද ධ්‍යානය දැයි දෙකම අපවත් කිරීමෙන් හා මෙනෙහි නො කිරීමෙන් ඉක්මවා මැ ව්‍යක්ත වූ සංඥාවක් නැති හෙයින් සංඥා යයි ච, සංඥා ස්වභාවය නො ඉක්ම වූ හෙයින් අසංඥා යයි ද නොකිය යුතු වූ යම් සංඥාවක් ඇති හෙයින් ඒ ධ්‍යානය නේවසඤ්ඤා නාසඤ්ඤා නම් වේ.
එහෙයින් “තඤ්ඤෙව ආකිඤ්චඤ්ඤායතනං සන්තතො මනසිකරොති සඞ්ඛාරාවසෙසසමාපත්තිං භාවෙති. තෙන වූච්චති නෙවසඤ්ඤී නාසඤ්ඤීති”[3]
“ඒ ආකිච්චඤ්ඤායතන සමාපත්තිය ම ශාන්ත වශයෙන් මෙනෙහි කරයි. සංස්කාරාවශේෂ සමාපත්තිය වඩයි. එහෙයින් ඒ පුද්ගලතෙම ‘නේවසඤ්ඤී නාසඤ්ඤී’ යයි කියනු ලැබේ.” මෙ සේ පුද්ගලාධිෂ්ඨාන ධර්‍මදේශනා වශයෙන් (සංඥාවත් වූ පුද්ගලයාගේ වශයෙන්) සංඥාව උද්ධරණය කොට දක්වා වදාළ සේක.
(ඒ අරමුණ හා පවත්නා ආකාරය ද දක්වනු පිණිස මේ වදාළ සේක.)
ඒ ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය ශාන්ත වශයෙන් මෙනෙහි කොට සංස්කාරාවශේෂ සමාපත්තිය වඩන ඒ පුද්ගලතෙම නේවසඤ්ඤී නාසඤ්ඤී නම් වේ.
විස්තර:- ප්‍රථම ආරූප්‍යයාගේ අභාවය අරමුණුකොට උපදවන හෙයින් ඒ තෘතියාරූප්‍ය ධ්‍යානය ද සන්හුන් අරමුණු ඇති හෙයින් කාරණූපචාර වශයෙන් ශාන්තය යි මෙනෙහි කෙරේ. අංග ශාන්ත භාවයෙන් මෙනෙහි කරත් හොත් වෙනසක් නැති හෙයින් (ඉක්මීම නො වන හෙයින් මේ හුදෙක්) ආරම්මණ ශාන්ත භාවයෙන් ම මෙනෙහි කරයි.
ශාන්ත වශයෙන් මෙනෙහි කරත් ම ආදීනව දැක්මෙක් කෙසේ වේදැ යි චෝදනාවට පරිහාර දක්වනුවෝ ධ්‍යානයට සමවදිනු නො කැමති බැවින් ඉක්මවීම වන්නේය යි කීහ.
ඒ එසේමැයි:- යම් ධ්‍යානයක් ශාන්ත වශයෙන් මෙනෙහි කෙරේනම් ඒ ධ්‍යානය ආවජ්ජන සමාපජ්ජනාදි ප්‍රතිපත්තියෙන් පුරුදු කරන්නේ වේ. එහෙත් තෘතීයාරූප්‍යයෙහි ඒ සර්‍වප්‍රකාරයෙන් නැත්තේය. හුදෙක් අරමුණු කිරීම් මාත්‍රයෙකින් මෙනෙහි කිරීම වෙයි. ආකිඤ්චඤ්ඤායතනයට වඩා නේවසඤ්ඤා නාසඤ්ඤායතනය අතිශයින් ශාන්ත බැවින් හා ප්‍රණිත බැවිනි.
කුමක් මෙන් ද යත්:- මහත් වූ රාජානුභාවයෙන් ඇතකු පිට නැගී නුවර වීථියෙහි හැසිරෙන මහරජන තෙමේ එක් කඩක් තරව හැඳ, එක් කඩක් හිසේ බැඳ ඇත්දත් සුනු ඇඟපුරා තවරා ගෙන නොයෙක් ඇත්දත් කැටයම් කරන්නාවු ශිල්පියකු දැක “කොළ! මේ ඉතා දක්‍ෂ ශිල්පියෙක් වේය”යි ඔහුට තුටුපහටු වුවද “මම ද රාජ්‍ය සම්පත් හැරපියා මෙ බඳු ශිල්පියෙක් වෙමි”යි ඕහට අදහසෙක් නො වේ මය. ඒ රාජ්‍යශ්‍රියම මහානුභාව බැවිනි. වැලි ඔහු ඉක්මවා ඔබ්බට යන්නේ ය. ඒ සේ ම ඒ යෝගාවචරයා ද ඒ තෘතීයාරූප්‍යය ශාන්ත වශයෙන් මෙනෙහි කොට එය ඉක්මවා සංඥාවශේෂ සමාපත්ති නම් වූ යම් සමාපත්තියක් නිසා නේවසඤ්ඤී නාසඤ්ඤීය යි කීයේ නම් ඒ සමාපත්තිය වඩනේ වෙයි මෙහි සංඥාශීර්‍ෂයෙන් දේශනාව විය. මේ සංස්කාරයන් ගේ පරම සියුම් බවට පැමිණියාවූ ඒ චතුර්ථාරූප්‍ය සමාපත්තිය යි දතයුතු.
රූපාවචර ප්‍රථමධ්‍යානයා ගේ උපචාරයේ පටන් ධ්‍යාන පිළිවෙළින් කෙලෙසුන් සැස තුනී කරන්නාක් මෙන් පැවති භාවනා පිළිවෙළින් සංස්කාරයන් තුනීකොට අන්තිම සියුම් බවට පමුණුවන ලද සංස්කාර මේ ධ්‍යානයෙහි ඇති හෙයින් එයින් මත්තෙහි නිරෝධය මුත් සංස්කාරයන් ගේ පැවැත්මෙක් නැත්තේයි. එ හෙයින් ම චතුර්ථාරූප්‍ය සමාපත්තිය සංස්කාරාවශේෂ සමාපත්තිය යි කියන ලදී.
මෙහි වූ කලී පරමාර්ථ වශයෙන් චතුර්‍ථාරූප්‍ය ධ්‍යාන ලාභීහුගේ කුසල චිත්ත හෝ සතරවන අරූප තලයෙහි පහළ වූ සතර (අරූපසකන්‍ධ) විපාක චිත්තය හෝ දෘෂ්ටධර්‍ම සුඛ විහරණය පිණිස ඒ ධ්‍යානයට සමවන් රහතන්ගේ ක්‍රියා චිත්තය හෝ නේවසඤ්ඤා නාසඤ්ඤායතන නම් වේ. එහෙත් මෙහි විශේෂයෙන් අධිප්‍රඥා ශික්‍ෂාය යි කියන ලද මාර්‍ගාධිගමයට පූර්‍වභාගයෙහි පැවැති ධ්‍යානයට සමවන් පෘථග්ජනශෛක්‍ෂයන්ගේ ඒ ධ්‍යානය පිළිබඳ චිත්ත චෛතසික ධර්‍මයෝ ම කැමති වන ලදහ. ඖදාරික සංඥාවක් නැති හෙයින් ද, සියුම් සංඥාවක් ඇති හෙයින් ද, සම්ප්‍රයුක්ත ධර්‍ම සහිත ඒ ධ්‍යානයෙහි සංඥා ඇත්තී ද නොවෙයි. නැත්තී ද නොවේය යි නේවසඤ්ඤා නාසඤ්ඤා නම් වේ.
විශේෂ :- මෙහි සංඥාවන් ගේ ඖදාරික සුඛුම භාවය ඒ ඒ භව වශයෙන් දතයුතු. පඤ්චවෝකාර භවයෙහි සංඥාවට වඩා චතුවෝකාර භවයෙහි සංඥාව සියුම් වේ. යට තුන් භූමියෙහි සංඥාවෝ ඖදාරිකයහ. එබඳු ඖදාරික සංඥා නැති හෙයින් නේවසඤ්ඤා යයි ද ඉතා සියුම් සංඥා ඇති හෙයින් න අසඤ්ඤා යයි ද ව්‍යවහාර වේ.
‘නේවසඤ්ඤා’ යන පදයෙහි ‘න’ කාරය අභාවාර්‍ථයෙහි වේ. ‘න අසඤ්ඤා’ යන්නෙහි ‘න’ කාරය අන්‍යාර්‍ථයෙහි ය. අකාරය අභාවාර්‍ථයෙහි පවතී. එසේ වන්නා “අසඤ්ඤං අනාසඤ්ඤං”යි සෙසු ධ්‍යානයන්හි මෙන් ඖදාරික සංඥා නැති හෙයින් අසඤ්ඤ ද, සර්‍වප්‍රකාරයෙන් සංඥාවගේ අභාවය නුවූ හෙයින් අනාසඤ්ඤා ද, වන හෙයින් ‘නේවසඤ්ඤානාසඤ්ඤා’ යයි කියන ලදි.
නේවසඤ්ඤා නාසඤ්ඤා වූයේ ද, මනායතන ධර්‍මායතනයන්ට එක දේශයකින් ඇතුළත් වන හෙයින් ආයතන වූයේ ද, හේමනුයි නේවසඤ්ඤා නාසඤ්ඤායතන නම් වේ. (මෙහි ආයතන භාවය ආධාර හෙයින් නිශ්‍රය වශයෙන් වේ.) එසේ ම සියුම් සංඥාව විදර්‍ශනා කෘත්‍යයට අපොහොසත් බැවින් නේවසඤ්ඤායයි ද, සංස්කාරාවශේෂ සූක්‍ෂම භාවයෙන් විද්‍යාමාන හෙයින් නාසඤ්ඤායයි ද ව්‍යවහාර හෙයින් ඒ දෙපදය ගළපා නේවසඤ්ඤා නාසඤ්ඤාය යි කියන ලදී. එය ම අවශේෂ ධර්‍මයන්ට ආධාරවේ නුයි නේවසඤ්ඤා නාසඤ්ඤායතන නම් වේ.
තවද මෙහි සංඥා මාත්‍රය පමණක් නො වැ වේදනාව ද ගෙන ‘නේව වේදනා නා වේදනා’ චිත්තය ද ගෙන “නෙව චිත්තං නා චිත්තං” ස්පර්‍ශය ගෙන නෙව ඵස්සො නා ඵස්සො, යනාදීන් ඒ ඒ සම්ප්‍රයුක්ත ධර්‍මයෙහි ව්‍යවහාර කළ හැකි වුව ද, මේ දේශනාව සංඥා ශීර්‍ෂයෙන් (ප්‍රධාන කොට) ගෙන මෙසේ ව්‍යවහාර කරන ලදි. නානත්ත කායා නනත්ත සඤ්ඤී, යනාදියෙහි මෙනි. (මෙහි සංඥා නම්, විඥානය) යම්කිසි අර්‍ථයක් නිසා ස්වභාවයෙන් ඇතැයි කිවයුතු ධර්‍මයාගේ ම අන්කිසි අර්‍ථ විශේෂයක් නිසා නැතැ යි කිවයුතු බැවින් මෙසේ කියන ලදී.
නිදර්‍ශනයෙහි:- හෙරණ නමක් පළමු දිනයෙහි පාත්‍රයෙහි තෙල් ගල්වා තුබුයේය. පසුදා උදය කැඳ වළඳන පිණිස තෙරුන්නාන්සේ ‘පාත්‍රය ගෙනව’යි කී කල ස්වාමීනි! පාත්‍රයෙහි තෙල් යැ’යි කීය. එසේ වන්නා ‘ඒ තෙල් ගුලාවෙහි වැක්කිරීමට ගෙනෙව’යි තෙරුන් කී කල ස්වාමීනි! ‘තෙල් නැතැ’යි හෙරණ කීය. මේ උපමායෙන් භික්‍ෂූන් ලග්නා අකැප කිළියෙහි තෙල් සහිත පාත්‍රය තුබූ හෙයින් එහි කැඳ වත්කළ කල කැඳ සමග සන්නිධි වන හෙයින් තෙල් ඇතත් නලයක පුරාලන පමණ තෙල් නැති හෙයින් ‘තෙල් නැතැයි’ කී. එසේ ඒ සංඥාව ද ඖදාරික සංඥා කෘත්‍යය කිරීමට අසමර්‍ථ හෙයින් නේවසඤ්ඤා නම් වුව ද, සංස්කාරාවශේෂ සූක්‍ෂම භාවයෙන් ඇති හෙයින් නාසඤ්ඤා නම් වේ.
විශේෂ:- මෙහි සංඥා කෘත්‍ය නම් අරමුණු හැඳිනීම හා විදර්‍ශනා ගෝචර භාවයට පැමිණ නාමරූපයන් ගේ කලකිරීම වූ නිර්විදා ඥානය ඉපදවීම ය. ‘මඳ උණුසුම් ජලය නහන්නාගේ ශරීරය නොදවා සුව එලවන සේ ය’ මේ සංඥාව සංස්කාරාවශේෂ සූක්‍ෂම භාවයෙන් ප්‍රකට වැ සඤ්ජානන කෘත්‍යය කිරීමට අසමර්‍ථ හෙයින් යට තුන්ධ්‍යානයෙහි සංඥාව මෙන් විදර්‍ශනා ඥානයාගේ ගෝචර බවට පැමිණ නිර්විදාඥානය ඉපදවීමට අසමර්‍ථ වේ. අරමුණෙහි ඉතා සන්හුන්ව පවත්නා හෙයින් අරමුණු හැඳිනීම ද නොකට හැකි වෙයි. එහෙයින් ම අනිත්‍යාදි වශයෙන් මෙනෙහි කොට විදර්‍ශනාවට අරමුණු වැ නිර්‍වෙදය ඉපදවිය නොහැකි වේ.
විස්තර:- අන්‍ය වූ කාමාවචර රූපාවචරාදි චිත්ත-චෛතසික සඞ්ඛ්‍යාත සෙසු ස්කන්‍ධයන්හි විදර්‍ශනාභිනිවේශ නොකළ (අනිත්‍යාදි වශයෙන් නොදත්) මහණ නේවසඤ්ඤා නාසඤ්ඤායතන මාත්‍රයක්ම සම්මර්‍ශනය කොට නිර්විදාඥානය පැමිණෙන්නට සමර්‍ථ නො වේ. සර්‍වඥයන් වහන්සේ හැර සියල්ලන් ගෙන් අගතැන්පත් සැරියුත් මහතෙරුන් වහන්සේ ද පවා නො පොහොසත් වේම ය, ප්‍රකෘතියෙන් විදර්‍ශනා වඩනා සැරියුත් තෙරුන් වහන්සේ වැනි මහා ප්‍රාඥ යෝගාවචර තෙමේ ස්කන්‍ධාදීන් ගේ පටන් විදර්‍ශනාභිනිවේශය කොට ද්වාරාලම්බනයන් නිසා පවත්නා ධර්‍මයන් ගේ වශයෙන් ද්වාදසායතන-අට්ඨාරස ධාතුන් විදර්‍ශනා කරනුයේ ඒ නේවසඤ්ඤා නාසඤ්ඤායතන අරමුණුකොට ඇති උදයව්‍යයඥානය උපදවන්නට සමර්‍ථ වේ.
කෙසේද යත්:- ‘මෙසේ මේ ධර්‍මයෝ නො තිබී උපදිති.” “තිබී වැනසෙති යි” කියා ය. චතුර්ථාරූප්‍ය ධ්‍යාන චිත්තෝත්පාදයට ඇතුළත් වූ ස්පර්‍ශාදී වූ ධර්‍මයන් වෙන් නොකොට (කලාප වශයෙන්) සම්මර්‍ශනය කෙරේ. ඵස්සාදි ධර්‍මයන් වෙන්කොට වෙන වෙන ම අනුපද ධර්‍ම වශයෙන් එක එක ධර්‍මය පිළිවෙළින් අනිත්‍යාදි වශයෙන් සම්මර්‍ශනය කරන්නා හට මේ සතරවන අරූප ධ්‍යානය විදර්‍ශනා කොට ඒ නිර්විදාඥානය නො ලැබේ.
(ස්පර්ශාදි ධර්‍මයන් වෙන් වෙන් කොට වෙන වෙන ම ස්වරූපයෙන් ගෙන අනිත්‍යාදි වශයෙන් සම්මර්‍ශනය කිරීම අනුපද ධර්‍ම විදර්‍ශනාව ය.)
එසේ චතුර්‍ථරූප්‍ය ධ්‍යානයෙහි ඇතුළත් ස්පර්‍ශාදි එක එක ධර්‍මය ගෙන අනිත්‍යාදි වශයෙන් බැලීමට නුවණැත්තවුන් අතුරින් අගතැන් පත් සැරියුත් මහ තෙරණුවෝ ද අසමර්‍ථය හ. හුදෙක් එහි ඇතුළත් ස්පර්‍ශාදි ධර්‍ම එක්කොට කලාප වශයෙන් විදර්‍ශනාවට අරමුණු වේ. මාර්‍ග-උදකෝපමායෙන් ද මේ අර්‍ථය දත යුතු.
මගට පිළිප් තෙර කෙනකුන් ඉදිරියේ යන හෙරණ නම් වහන් තෙමෙන පමණ දියත්තක් දැක ස්වාමීනි! වහන් ගැලවුව මැනව! ‘ජලය ඇතැයි’ කී. එකල තෙරුන් වහන්සේ සාමණෙරය! දිය ඇත්තේ වී නම් ‘නහන කඩ ගෙනෙව ජලය නහමි’යි කීහ. එකල හෙරණ, ස්වාමීනි! ‘ජලය නැතැ’යි කී. එහිදු වහන් තෙමෙන පමණ ජලය ඇති හෙයින් ජලය ඇතැයි ද නහන පමණ ජලය නැති හෙයින් ජලය නැතැයි ද කීයේ වේ. එසේ ම ව්‍යක්ත සංඥා නැති හෙයින් නේවසඤ්ඤායයි ද, සංස්කාරාවශේෂ සූක්‍ෂම භාවයෙන් විද්‍යාමාන හෙයින් නාසඤ්ඤායයි ද, දතයුතු.
උපසම්පජ්ජ විහරති = මෙය ද පෙර කී සේම ය.
(මේ ටීකාගත විස්තරයෙකි.)
ප්‍රශ්නයෙහි:- යට ධ්‍යානයන්හි “අනන්තො ආකාසො, අනන්තං විඤ්ඤාණං, නත්‍ථි කිඤ්චි”යි, ඒ ඒ තැන කීවා සේ මෙහි භාවනාකාරය නො කීවේ කවර හෙයින් ද?
පිළිතුර:- භාවනා ආකාරය නම් උපචාර සහිත ධ්‍යානයා ගේ තමා පිළිබඳ අරමුණෙහි පවත්නා ආකාරය යැ. මෙහි අරමුණු නම් ආකිඤ්චඤ්ඤායතන ධර්‍ම යැ. ඔවුන් ගන්නා කල පුරෝගාමි ධර්‍මයන් ගේ වශයෙන් එකක් හෝ ගත යුතු ය.
වෙන වෙන ම සියල්ල හෝ ගත යුතු ය. එකක් ගන්නේ ප්‍රථම පක්‍ෂයේ විඤ්ඤාණය ගතයුතු වේ. එසේ වන්නා විඤ්ඤාණං ‘විඤ්ඤාණ’ යි මෙනෙහි කිරීමෙන් විඤ්ඤාණඤ්චායතන ගැනීම වේ. මෙසේ ගනු ලබන්නේ චතුර්‍ථාරූප්‍යයට ආකිඤ්චඤ්ඤායතනය අරමුණු වන හෙයින් ආකිඤ්චඤ්ඤං ආකිඤ්චඤ්ඤං (කිසිවක් නැතැ යි) මෙනෙහි කළ යුතු වේ. එසේ වන්නා ආකිඤ්චඤ්ඤායතනය හෝ අභාවය ආලම්බනය වේ.
නේවසඤ්ඤා නාසඤ්ඤායතන භාවය ආලම්බනය නො වේ. මේ මෙහි අකාරණය. එසේ ධ්‍යානය නො පවත්නා හෙයිනි. (චතුර්‍ථාරූප්‍ය ධ්‍යානය විඤ්ඤාණඤ්චය හෝ ආකිඤ්චඤ්ඤය අරමුණු කොට නො පවත්නේ මය.)
තව ද ප්‍රශ්නයෙකි:- චතුර්‍ථාරූප්‍ය ධ්‍යානයේ ශාන්ත බව කුමක් ද? එසේ නම් කුමක් හෙයින් පාළියෙහි එසේ නො කියන ලද ද?
පිළිතුර :- සූත්‍රයෙහි හුදෙක් එසේ නො ගන්නා ලදි. විභඞ්ගයෙහි වනාහි:-
“තඤ්ඤෙච ආකිඤ්චඤ්ඤායතනං සන්තතො මනසිකරොති. සඞ්ඛාරාවසෙස සමාපත්තිං භාවෙති”[4] යි දක්නා ලැබේ.
ප්‍රශ්නය :- එසේ නම් කුමක් හෙයින් සූත්‍රයෙහි ද විභඞ්ගයෙහි මෙන් එසේ නොගන්නා ලද ද?
පිළිතුර :- වෛනෙයාධ්‍යාශය වශයෙන් හෝ දේශනා විලාශ හෙයිනි. ඒ මෙසේ යි :- යට තුන් ආරූප්‍යයෙහි “අනන්තො, ආකාසො, අනන්තං විඤ්ඤාණං, නත්‍ථිකිඤ්චි”යි භාවනාකාරය ගන්නා ලදි. එහි නො එසේ ගත් කල්හි ම ඒ අර්‍ථය අවබෝධ කෙරෙති. ඔවුන් ගේ වශයෙන් සූත්‍රයෙහි එසේ වදාළහ.
විශේෂ :- අභිධර්‍මයෙහි සූත්‍රාන්ත භාජනිය ද සූත්‍රාන්ත ගතිකයැ. යම් වෛනේයජන කෙනෙක් බෙදා වදාළ කල්හි ම ඒ අර්‍ථය අවබෝධ කෙරෙත් නම් ඔවුන්ගේ වශයෙන් විභඞ්ග භාවනාචාරය වදාළහ. ධර්‍මස්වාමි වූ සම්‍යක් සම්බුද්ධයන් වහන්සේ ද, ධර්‍මදේශනා ප්‍රකාරය දන්නා සේක් ඇතැම් තැනෙකැ භාවනා ආකාරය ගනිති. ඇතැම් තැනෙකැ නො ගනිත්. ඒ ඒ දේශනාව ම ඒ ඒ වෛනේයයන් විනයනය සඳහා යැ. මේය දේශනා විලාශය නම්.
තවද අර්‍ථයෙකි :- “සූත්‍රාන්ත දේශනාව පර්‍ය්‍යාය (අමුඛ්‍ය = අප්‍රධාන) කථාව හෙයින් එහි භාවනා ආකාරය නොනැගේ. එහෙත් අභිධර්‍ම දේශනාව නිෂපර්‍ය්‍යාය (ප්‍රධාන කථාව) හෙයින් එහි භාවනා ආකාරය ගන්නා ලදි.
මෙසේ මෙහි භාවනා ආකාරය ගැනීමේ හා නො ගැනීමේ හේතු දතයුතු.
මතාන්තරයෙකි :- අභයගිරි - ජේතවන වැසි ඇජරෝ ‘චතුර්‍ථරූප්‍යධ්‍යානයෙහි වෙනස දැක්වීම සඳහා සූත්‍රයෙහි දී භාවනා ආකාරය නො ගන්නා ලදැයි, යෙති. ඒ විශේෂ අනුපූර්‍ව භාවනායෙන් ජනිත යැ. හෙද (ඒ අනුපූර්‍ව භාවනාව ද) ප්‍රභාතව්‍ය ධර්‍ම පහකිරීමෙන් සියලු ධ්‍යාන ලැබිය යුතු හෙයින් ප්‍රහාන ක්‍රමයෙන් ජනිත යැ.
ඒ මෙසේ යි:- කාමච්ඡන්‍දාදි විරාගයෙන් ප්‍රථමධ්‍යානය ද, විතර්‍ක - විචාර සංසිඳවීමෙන් ද්විතීයධ්‍යානය ද, ප්‍රීති විරාගයෙන් තෘතීයධ්‍යානය ද, සොමනස්ස (සුඛ) අස්තඞ්ගමයෙන් චතුර්‍ථ ධ්‍යානයදැ’යි මෙසේ රූපාවචර ධ්‍යාන වදාළහ. රූප සංඥාදි ඉක්මවීම මුල්කොට අරූපධ්‍යාන වදාළහ. හුදෙක් ධ්‍යාන පමණක් නොවේ. සියලු සීලය ද, සියලු ප්‍රඥාව ද, ප්‍රතිපක්‍ෂ ධර්‍ම ප්‍රහාණයෙන් ම සම්පාදනය කළ යුතු හෙයින් ප්‍රහාතව්‍ය ධර්‍ම සමතික්‍රමණ මුඛයෙන් දේශිත යැ.
ඒ මෙසේ යි:- ‘ප්‍රාණඝාතය හැර ප්‍රාණඝාතයෙන් වැළකීමය’ යනාදීන් සීල සංවරය ද, ඇසින් දැක නිමිති කුඩා නිමිති නො ගැනීම ය යනාදීන් ඉන්‍ද්‍රිය සංවරය ද, (නෙව දවාය නමදාය) ක්‍රීඩා පිණිස මද වැඩීම පිණිස නොවේ යනාදීන් භෝජනයෙහි පමණ දැනීම ද, මිථ්‍යා ආජීවයෙන් වෙන් වැ සම්‍යක් ආජීවය කරන්නේ ය යනාදීන් ආජීවපාරිශුද්ධිය ද, ‘පඤ්චුපාදානක්ඛන්‍ධයෙහි අධික ලෝභය හැර පහවූ අභිධ්‍යා ඇතිව විසිය යුතු ය’ යනාදීන් ජාගරියානුයොගය ද, ‘අස්මිමානය නැසීමෙන් අනිත්‍ය සංඥාව වැඩිය යුතු ය’ යනාදීන් මේඝිය සූත්‍රාගත සේ[5] ප්‍රඥා ප්‍රතිපක්‍ෂ ධර්‍මප්‍රහාණයෙන්, විදර්‍ශනා ප්‍රඥාව වැඩීම ද, දේශනා කළහ. එහෙයින් ම ප්‍රහාතව්‍ය ධර්‍ම ඉක්මවීම් මුඛයෙන් ම ධ්‍යාන දේශනා කරනු බුදුහු “විවිච්චෙව කාමෙහි” යනාදීන් වදාළහ. එය යට කී සේ ය. තවද රූප සංඥාදීන් සමතික්‍රමණ මුඛයෙන් අරූපාවචරධ්‍යාන වදාළහ.
විස්තර :- එහි (රූපාවචර ප්‍රථමධ්‍යානය) භාවනා විශේෂයෙන් අධිගත වූ විතර්‍කාදීන්ගෙන් හා තීක්‍ෂණ - විශ ද ශූරභාවය - ඇති ශ්‍රද්ධාදි පඤේචන්‍ද්‍රිය ධර්‍මයන්ගෙන් යුක්ත හෙයින් කාමච්ඡන්‍දාදි නීවරණයන් හා ඒ හා පවත්නා පාප ධර්‍මයන් වික්කම්භණය කිරීමෙන් උත්තරිමනුෂ්‍ය ධර්‍මත්‍වයට පැමිණි රූපාවචර ප්‍රථම ධ්‍යානය කාමාවචර ධර්‍මයන්ට වඩා අතිශයින් සියුම් වේ. ශාන්ත වේ. ප්‍රණීත වේ. එසේම ද්විතීය ධ්‍යානය භාවනා විශේෂයෙන් විතර්‍ක-විචාර සංඛ්‍යාත ඖදාරිකාංගප්‍රාණයෙන් ප්‍රථම ධ්‍යානයට වඩා අතිශයින් සංසුන් වෙයි. එසේ ම තෘතීය-චතුර්‍ථ ධ්‍යානයෝ ක්‍රමයෙන් පළමු පළමු ධ්‍යානද්වයට වඩා ශාන්තතර ශාන්තතම වෙති. එසේම අරූපාවචර ප්‍රථමධ්‍යානය රූප විරාග භාවනා වශයෙන් පවත්නා හෙයින් ආරම්මණ ශාන්ත බැවින් හා අඞ්ගයන්ගේ සංසුන් බැවින් ප්‍රකෘති කාමාවචර ධර්‍මයන්ට වඩා ද, සියලු රූපාවචර ධ්‍යානයන්ට වඩා ද ශාන්ත වෙයි. සියුම් වෙයි. අරූපාවචර ද්විතීයධ්‍යානාදිය පිළිවෙළින් ශාන්ත භාවයෙන් ඒ ආලම්බන කොට පවත්නා ධ්‍යාන ධර්මයෝ ද ශාන්ත ස්වභාවය ඇත්තෝ වෙති.
විශේෂ :- ලෝකෝත්තර ධර්‍මලාම්බනික වූ සෝවාන් ආදි මාර්‍ග ඵල ධර්‍මයන් මතු මත්තෙහි ක්‍රමයෙන් සංසුන් වන්නා සේ ධර්‍මයන්ගේ වශයෙන් මහද්ගත භාවයෙන් භේදයක් නැතත් රූපාවචර චතුර්‍ථධ්‍යානයට වඩා අරූපාවචර ධ්‍යානය අඞ්ග වශයෙන් ද සංසුන් වෙයි. එහෙයින් අරූපධ්‍යානයා ගේ ශාන්ත විමෝක්‍ෂ බව වදාරන ලදි. එසේ ම ද්විතීයාරූප්‍යාදීහු ද, ප්‍රථමාරූප්‍යට වඩා අඞ්ග වශයෙන් ද, ආලම්බන වශයෙන් ද, ශාන්ත, ශාන්තතර, ශාන්තතම භාවයට පැමිණියාහු ය. එසේ ම ශාන්තාදි භාවයට පැමිණියා වූ භාවනා විශේෂ සමායෝගයෙන් (මේ භාවනා විශේෂය වනාහි) ප්‍රථමධ්‍යාන උපචාරයෙහි පටන් ඒ ඒ ප්‍රභාතව්‍ය ධර්‍මයන් ඉක්මවීමෙන් ශාන්ත සූක්‍ෂම භාවයට පමුණුවමින් චතුර්‍ථාරූප්‍යයෙහි සංස්කාරාවශේෂ සූක්‍ෂම භාවයට පමුණුවයි.
එහෙයින් චතුර්‍ථාරූප්‍යය වනාහි ආරම්මණ භාවයෙන් ද, නාමධර්‍මයන්ගේ විභූතාකාරයෙන් ද, සිටීමට නො පොහොසත් වී නම් අරමුණු කිරීමෙහි කෙසේ සමර්‍ථවේ ද? නො වේම ය. එහෙයින් ශාස්තෘන් වහන්සේ යට තුන් ධ්‍යානයෙහි භාවනා ආකාරය වදාරා මෙහි එබන්දක් නො ලැබෙන බැව් දක්වන්නට පර්‍ය්‍යාය දේශනා හෙයින් සූත්‍රයෙහි භාවනා ආකාරය නො දෙසූ සේක. එහෙත් අරමුණු සහිත ධර්‍මය අරමුණෙහි පවත්නා ආකාරය ඇත්නු යි අති සූක්‍ෂම භාවයට පැමිණියා වූ ඒ ධ්‍යානය දක්වනු පිණිස “තඤ්ඤෙච ආකිඤ්චඤ්ඤායතනං සන්තතො මනසි කරොති”යි වදාළහ. යථාධර්‍ම ශාසන හෙයින් හෝ පූර්‍වභාග ප්‍රතිපදා වශයෙන් හෝ “සන්තතො මනසිකරොති”යි වදාළහ. එකල යෝගාවචරයාහට ඒ අරමුණ ප්‍රකට හෙයිනි. එහෙත් අර්පණා වශයෙන් සූත්‍රයෙහි භාවනා ආකාරය අප්‍රකට හෙයින් නො ගන්නා ලදි.
ඒ එසේ මැ යි :- කර්‍මස්ථානය බුද්ධානුස්සති ආදි කිසි තැනෙකැ ආදියෙහි අප්‍රකට වේ. ආනාපානසති ආදි කිසිවෙකැ මධ්‍යයෙහි අපකට වේ. උපසමානුස්සති ආදිය සේ කිසිවිටෙකැ ආදි - මධ්‍ය දෙක්හි අප්‍රකට වේ. චතුර්‍ථාරූප්‍යයෙහි වනාහි අවසානයෙහි අප්‍රකට වේ. භාවනාව මුදුන් පැමිණි කල්හි ආලම්බනය ද, අප්‍රකට වන හෙයිනි. එහෙයින් මේ විශේෂය දක්වනු පිණිස බුදුහු චතුර්‍ථාරූප්‍යයෙහි භාවනාකාරය නො ගත්හ. සර්‍වප්‍රකාරයෙන් නැති නිසා නො වේ ය යි මෙහි නිෂ්ටාවට යා යුතු.
නේවසඤ්ඤා නාසඤ්ඤායතන කර්‍මස්ථානයේ විස්තර කථාව ය.