භත්තුදේසක සම්මුතිය.

බොහෝ භික්ෂූන් වෙසෙන සඞ්ඝාරාමවලට පැමිණ, දන් දෙනු කැමැත්තෝ පස්නම-දසනම යනාදි වශයෙන් භික්ෂූන්ට තම තමන්ගේ නිවෙස්වලට ආරාධනා කෙරෙති. සඞ්ඝයාහට කරන ආරාධනා පිළිගෙන ඒවාට භික්ෂූන් නියම කර යැවීමට භික්ෂුවක් සඞ්ඝයා විසින් සම්මත කර ගත යුතු ය. සම්මුතිය ලත් භික්ෂුව විසින් ආරාධනා පිළිගෙන, ඉරටුවල හෝ පතුරුවල පත්වල හෝ දානයට යා යුතු තැන් සටහන් කොට, ඒ සියල්ල කලවම් කොට, ඨිතිකාවේ පටන් හෝ ඨිතිකාවක් නැති කල්හි මහ තෙරුන් වහන්සේගේ පටන් පිළිවෙලින් සලාක දිය යුතු ය. සලාක ලැබූ භික්ෂූන් විසින් තම තමන් ලැබූ සලාකවල සඳහන් වී ඇති තැන්වලට යා යුතු ය. මේ බත් උදෙසීමේ ක්‍රමය ය.

සම්මුතිය කරන කර්ම වාක්‍යය.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, යදි සඞ්ඝස්ස පත්තකල්ලං, සඞ්ඝො (තිස්සං) භික්ඛුං භත්තුද්දෙසකං සම්මන්නෙය්‍ය. එසා ඤත්ති.

සුණාතු මෙ භන්තෙ! සඞ්ඝො, සඞ්ඝො (තිස්සං) භික්ඛුං භත්තුද්දෙසකං සම්මන්නති. යස්සායස්මතො ඛමති (තිස්සස්ස) භික්ඛුනො භත්තුද්දෙසකස්ස සම්මුති සො තුණ්හස්ස. යස්ස නක්ඛමති, සො භාසෙය්‍ය.

සම්මතො සඞ්ඝෙන (තිස්සො) භික්ඛු භත්තුද්දෙසකො, ඛමති සඞ්ඝස්ස, තස්මා තුණ්හී. එවමෙතං ධාරයාමි.