උපාධ්‍යාය ග්‍රහණය

සාමණේර ශීලය සමාදන් වීමෙන් පසු පැවිද්ද ලැබූ තැනැත්තා විසින් උපාධ්‍යායයන් වහන්සේට වැඳගෙන උක්කුටිකයෙන් හිඳ, “උපජ්ඣායො මෙ භන්තෙ හොහි” යන වැකිය තුන් වරක් කියා උපාධ්‍යාය ග්‍රහණය කළ යුතු ය. ගෝලයා විසින් එසේ කී කල්හි උපාධ්‍යායයන් වහන්සේ විසින් “පාසාදිකෙන සම්පාදෙහි” යි කියා එය පිළිගත යුතු ය.

“උපජ්ඣායො භික්ඛවෙ! සද්ධිවිහාරිකම්හි පුත්ත චිත්තං උපට්ඨපෙස්සති. සද්ධිවිහාරිකො උපජ්ඣායම්හි පිතූචිත්තං උපට්ඨපෙස්සති. එවං තෙ අඤ්ඤමඤ්ඤං සගාරවා සප්පතිස්සා සභාගවුත්තිකා විහරන්තා ඉමස්මිං ධම්මවිනයෙ වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජන්ති” යන බුද්ධ වචනය පරිදි සාමණේර නම විසින් උපාධ්‍යායයන් වහන්සේ තමාගේ පියා ලෙස සලකාගෙන, උපාධ්‍යායයන් වහන්සේ කෙරෙහි අත්‍යාදර ගෞරවයෙන් යුක්තව, උන්වහන්සේට සර්වාකාරයෙන් කීකරුව වාසය කළ යුතු ය. උපාධ්‍යායයන් වහන්සේ විසින් ද තමන්ගේ සද්ධිවිහාරික සාමණේරයා පුත්‍රයකු මෙන් සලකා-ගෙන ඔහු කෙරෙහි කරුණාවත් විය යුතු ය. උපාධ්‍යායයන් වහන්සේ විසින් අභිනව සාමණේර නමට පා-සිවුරු දැරීම ආදිය තමන් සමීපයේම වාසය කරවා ගෙන පුහුණු කර විය යුතු ය. ඒවා පුහුණුවන තුරු නිමන්ත්‍රණාදියට නො යවා ළදරුවකු රක්නාක් මෙන් අභිනව සාමණේරයා රැකිය යුතු ය. සාමණේරයකු විසින් රැකිය යුතු ශික්ෂාවන් උගන්වා දිය යුතු ය. සාමණේරයා විසින් ද-

“අනුජානාමි භික්ඛවෙ! දසභඞ්ගෙහි සමන්නාගතං සාමණේරං නාසෙතුං, පාණාතිපාති හොති. අදින්නාදායි හොති, අබ්‍රහ්මචාරී හොති. මුසාවාදි හොති, මජ්ජපායි හොති, බුද්ධස්ස අවණ්ණං භාසති, ධම්මස්ස අවණ්ණං භාසති, සඞ්ඝස්ස අවණ්ණං භාසති, මිච්ඡාදිට්ඨිකො හොති, භික්ඛුනී දුසකො හොති”

යනුවෙන් දැක්වෙන නාසනාඞ්ග දශය අතුරෙන් එකකුදු නො බිඳ, සුවචව වාසය කළ යුතුය. එයින් එකකුදු කඩ කළ හොත් සරණ ගමනයේ පටන් සම්පූර්ණ සාමණේර ශීලය බිඳේ. උපාධ්‍යාය ග්‍රහණය ද නැති වේ. සඞ්ඝාරාමයෙහි ඔහුට ලැබී තුබුණු සෙනසුනට ද හේ අහිමි වේ. සඞ්ඝලාභයට ද අහිමි වේ. ඔහු ආයති සංවරයෙහි පිහිටා, නැවත සරණ සමාදානය නො කරත හොත් ඒ සාමණේරයා සිවුරු හරවා පහරමින් පහ කළ යුතු ය.

පාරාජිකාවට පැමිණි සාමණේරයා තමාගේ වරද පිළිගෙන නැවත සංවරයෙහි පිහිටනු කැමති වුව හොත්, නැවත සරණ සමාදානය කරවා උපාධ්‍යායග්‍රහණය ද කරවිය යුතු ය. සාමණේරයන්ගේ සරණ ගමනය භික්ෂූන්ගේ උපසම්පදා කර්ම වාක්‍යය වැනිය. උපසම්පදා කර්මවාක්‍යය කීමෙන් භික්ෂුවගේ චතුපාරිශුද්ධි ශීල සමාදානය සිදුවන්නාක් මෙන්, සරණ සමාදානයෙන් ම සාමණේරයන්ගේ දශශීල සමාදානය ද සිදු වේ. එහෙත් ආයති සංවරයෙහි පිහිටීම පිණිස හා දළ්හිකරණය පිණිස සරණ සමාදානය කරවීමෙන් පසු සිකපද දශය ද සමාදන් කරවිය යුතු ය. නාසනාඞ්ග දශයට අයත් නොවන වරදක්, සාමණේරයා අතින් සිදු වුව හොත්, ඒ වරදට දිය-දඬුවම්, වැලි-දඬුවම් ආදි යම් කිසි දඬුවමක් කළ යුතු ය. දඬුවම් කර ආයති සංවරයෙහි පිහිටීමෙන් ශීලය පිරිසිදු වේ. නැවත සිකපද සමාදන් නුවූවාට වරදක් නැත.