තච පඤ්චක කර්මස්ථානය

star_outline
  1. ශරීරයේ කොටසක් වූ මේ කෙස්: දුගඳ නිසා ද, පිත්-සෙම්-ලේ-සැරව-මල-මුත්‍රාදි කැත කුණු නිසා හටගත් දෙයක් වන බැවින් ද, එක්තිස් කැත කුණු ගොඩේ ම හට-ගත් දෙයක් වන නිසා ද කැත දෙයකි.
  2. ශරීරයෙහි කොටසක් වූ මේ ලොම්: දුගඳ නිසා ද, පිත්-සෙම්-ලේ-සැරව-මල-මුත්‍රාදි කැත කුණු නිසා හටගත් දෙයක් වන බැවින් ද, එක්තිස් කැත කුණු ගොඩේ ම හට-ගත් දෙයක් වන නිසා ද කැත දෙයකි.
  3. ශරීරයේ කොටසක් වූ මේ නිය: දුගඳ නිසා ද, පිත්-සෙම්-ලේ-සැරව-මල-මුත්‍රාදි කැත කුණු නිසා හටගත් දෙයක් වන බැවින් ද, එක්තිස් කැත කුණු ගොඩේ ම හට-ගත් දෙයක් වන නිසා ද කැත දෙයකි.
  4. ශරීරයේ කොටසක් වූ මේ දත්: දුගඳ නිසා ද, පිත්-සෙම්-ලේ-සැරව-මල-මුත්‍රාදි කැත කුණු නිසා හටගත් දෙයක් වන බැවින් ද, එක්තිස් කැත කුණු ගොඩේ ම හට-ගත් දෙයක් වන නිසා ද කැත දෙයකි.
  5. ශරීරයේ කොටසක් වූ මේ සම: දුගඳ නිසා ද, පිත්-සෙම්-ලේ-සැරව-මල-මුත්‍රාදි කැත කුණු නිසා හටගත් දෙයක් වන බැවින් ද, එක්තිස් කැත කුණු ගොඩේ ම හට-ගත් දෙයක් වන නිසා ද කැත දෙයකි.

ධාතු වශයෙන්:-

  1. ශරීරයේ කොටසක් වූ මේ කෙස්: සත්ත්වයකු නො වන, පුද්ගලයකු නො වන, ආත්මයක් නො වන, අයිති කරුවකු නැති පඨවි ධාතු කොටසකි.
  2. ශරීරයේ කොටසක් වූ මේ ලොම්: සත්ත්වයකු නො වන, පුද්ගලයකු නො වන, ආත්මයක් නො වන, අයිති කරුවකු නැති පඨවි ධාතු කොටසකි.
  3. ශරීරයේ කොටසක් වූ මේ නිය: සත්ත්වයකු නො වන, පුද්ගලයකු නො වන, ආත්මයක් නො වන, අයිතිකරුවකු නැති පඨවි ධාතු කොටසකි.
  4. ශරීරයේ කොටසක් වූ මේ දත්: සත්ත්වයකු නො වන, පුද්ගලයකු නො වන, ආත්මයක් නො වන, අයිති කරුවකු නැති පඨවි ධාතු කොටසකි.
  5. ශරීරයේ කොටසක් වූ මේ සම: සත්ත්වයකු නො වන, පුද්ගලයකු නො වන, ආත්මයක් නො වන, අයිති කරුවකු නැති පඨවි ධාතු කොටසකි.

පැවිදි වන තැනැත්තා විසින් පැවිදි වීමෙන් පසු ද මේ භාවනාව නො හැර කළ යුතු ය.

හිස-කේ කැපීමෙන් පසු ගිහි ගඳ යන පරිදි සබන් ගා හොඳින් ඇඟ උලා නා පිරිසිදු විය යුතු ය. පැවිදි වන තැනැත්තා එසේ කර ගැනීමට නො සමත් තැනැත්තෙක් වේ නම් ගුරුවරයා විසින් ප්‍රව්‍රජ්‍යාපේක්ෂකයා නාවා පිරිසිදු කළ යුතු ය. එසේ කිරීමේදී පියකු ආදරණීය දරුවකු නාවන්නාක් මෙන් කැත නො සිතා, කරුණාවෙන් කළ යුතු ය. ඉක්බිති පිරිසිදු වත් හඳවා ප්‍රව්‍රජ්‍යාපේක්ෂකයා පැවිදි කරන තැනට කැඳවා ගෙන යා යුතු ය. පැවිදි වන තැනට පැමිණි පසු පැවිදි වන කුලපුත්‍රයාගේ මා-පියෝ එහි වෙත් නම්, පළමු කොට ඔවුන්ගේ පා වැඳ සමුගෙන, උපාධ්‍යාචාර්යවරයා ඇතුළු රැස්ව සිටින භික්ෂූන් වහන්සේලාගේද පා වැඳ සිවුරු අතට ගෙන, උපාධ්‍යාචාර්යයන් වහන්සේ ඉදිරියේ උක්කුටිකයෙන් හිඳ, වැඳ-ගෙන පැවිද්ද අයැදිය යුතු ය. ඒ සඳහා කියන වාක්‍යය මෙසේ ය.

ඔකාස! අහං භන්තෙ! පබ්බජ්ජං යාචාමි.

දුතියම්පි අහං භන්තෙ! පබ්බජ්ජං යාචාමි.

තතියම්පි අහං භන්තෙ! පබ්බජ්ජං යාචාමි.

සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්‍ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජෙථ මං භන්තෙ! අනුකම්පං උපාදාය.

දුතියම්පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්‍ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජෙථ මං භන්තෙ! අනුකම්පං උපාදාය.

තතියම්පි සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්‍ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජෙථ මං භන්තෙ! අනුකම්පං උපාදාය.

මේ වාක්‍යය කියා උපාධ්‍යාචාර්යයන් වහන්සේ අතට තමාගේ සිවුරු පිළිගන්වා, නැවත ද උපාධ්‍යාචාර්යයන් වහන්සේ ඉදිරියෙහි උක්කුටිකව හිඳ වැඳ-ගෙන මේ වාක්‍යය කියනු.

සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්‍ථාය එතං කාසාවං දත්වා පබ්බාජෙථ මං භන්තෙ අනුකම්පං උපාදාය. දුතියම්පි සබ්බ දුක්ඛ -පෙ- උපාදාය. තතියම්පි සබ්බ දුක්ඛ -පෙ- උපාදාය.

මේ වාක්‍යය කියා ප්‍රව්‍රජ්‍යාපේක්ෂකයා සිවුරු ඉල්ලූ කල්හි, ගුරුවරයා විසින් සිවුරුපටිය ප්‍රව්‍රජ්‍යාපේක්ෂකයා ගේ කරෙහි ලා, හැඳ පොරොවා ගැනීමට තමන් අත තිබෙන සිවුරු ඔහුට දිය යුතු ය. ප්‍රව්‍රජ්‍යාපේක්ෂකයා විසින් ගුරුවරයාගෙන් ලත් ඒ සිවුරු ප්‍රත්‍යවේක්‍ෂා කොට හැඳ පොරොවා ගත යුතු ය. පැවිදි වන තැනැත්තා සිවුරු හැඳ පොරොවා ගැනීමට සමත් නොවේ නම්, ගුරුවරයා හෝ අනිකකු හෝ ඒවා හැඳ පොරොවා ගැනීමට උපකාර විය යුතු ය. මෙසේ ගුරුවරයකුගෙන් ලබා නොගෙන ගිහියකු විසින් සිවුරු හැඳීම නො කළ යුතු ය. පැවිද්ද ලබන තැනැත්තා කලින්ම සිවුරු හැඳ පොරවා ගෙන සිටිය හොත් ඒවා ඉවත් කර සිවුරු දී පැවිදි කළ යුතු ය. එසේ නො කොට සරණ සමාදානය කළේ ද පැවිද්ද නො පිහිටන්නේ ය. උපාධ්‍යායයන් වහන්සේගේ අණින් අනිකකු විසින් සිවුරු හැඳ වුව ද වටනේ ය. උපාධ්‍යායයන් වහන්සේ විසින් ‘මේ සිවුරු මොහුට හඳවන්නය’ යි කියා ගිහියකු අතට දුන හොත් උපාධ්‍යායයන්ගේ අණින් ගිහියකු විසින් සිවුරු හැඳවීම ද වටනේ ය. සිවුරු හැඳ පොරොවාගත් පසු ප්‍රව්‍රජ්‍යාපේක්ෂකයා නැවත ද උපාධ්‍යායයන් වහන්සේ වෙත ගොස්, පසඟපිහිටුවා පා වැඳ උක්කුටිකව වැඳ ගෙන හිඳ, තිසරණ සහිත පැවිදි දසසීලය මේ වාක්‍යය කියා ඉල්ලිය යුතු ය.

ඔකාස! අහං භන්තෙ තිසරණෙන සද්ධිං පබ්බජ්ජා දසසීලං ධම්මං යාචාමි: අනුග්ගහං කත්වා සීලං දෙථ මෙ භන්තෙ. දුතියම්පි අහං භන්තෙ -පෙ- මෙ භන්තෙ. තතියම්පි අහං භන්තෙ -පෙ- මෙ භන්තෙ අනුකම්පං උපාදාය.

මෙය කී කල්හි උපාධ්‍යායයන් වහන්සේ විසින් “යමහං වදාමි තං වදෙහි” යි කියා නමස්කාර පාඨය කියවා ඉක්බිති-

බුද්ධං සරණං ගච්ඡාමි.

ධම්මං සරණං ගච්ඡාමි.

සඞ්ඝං සරණං ගච්ඡාමි.

.

දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.

දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.

දුතියම්පි සඞ්ඝං සරණං ගච්ඡාමි.

.

තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.

තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.

තතියම්පි සඞ්ඝං සරණං ගච්ඡාමි.

මෙසේ නිග්ගහිතාන්ත වශයෙන් වචන එකට සම්බන්ධ කොට හෝ “බුද්ධම් සරණම් ගච්ඡාමි” යනාදීන් මකාරාන්ත කොට වචන වෙන් කොට උච්චාරණය කිරීමෙන් හෝ සරණ සමාදානය කරවිය යුතු ය. මේ දෙයාකාරයෙන් ම සමාදන් කරවීම වඩා හොඳ ය. බොහෝ ආචාර්යවරු එසේ කරති. “පාණාතිපාතා වෙරමණී සික්ඛාපදං සමාදියාමි” යනාදි සිකපද නො කීයේ ද සරණ සමාදානයෙන් ම සාමණේර භාවයට පැමිණීම සිදු වේ. සිකපද කීම මෙහි ප්‍රධාන කරුණක් නො වේ.

ගිහියාගේ සරණ ගමනය චේතනාව ප්‍රධාන කරුණක් වන බැවින් කවර බසකින් කවර ආකාරයකින් සිකපද කීයේ ද සරණ ගමනය සිදු වේ. සාමණේරයන්ගේ සරණ ගමනය සිදුවන්නේ පාළිභාෂාවෙන් ම වචන නො වරදවා, අකුරු නො වරදවා, ස්ථාන කරණ සම්පත්තිය ඇතිව, අකුරු හොඳාකාර කියැවෙන පරිදි ගුරුවරයා විසින් කියවීමෙන් හා ගෝලයා විසින් එසේ ම නො වරදවා කීමෙන් ය. ගුරු-ගෝල දෙදෙනාගෙන් එක් අයකු වුව ද මනාකොට උච්චාරණය කිරීමට අසමත් වුවහොත් සරණ ගමනය සිදු නො වේ. දත් නැති මහල්ලන්ට ඒවා සම්පූර්ණ කොට උච්චාරණය නො කළ හැකි ය. එ බැවින් දත් නැති මහලු තෙරුන් වහන්සේලා විසින් ගෝලයන් මහණ කිරීමේ දී අනිකකු ලවා සරණ සමාදානය කරවා ගත යුතු ය.