නාමයයි රූපයයි

සත්ත්වයා ය පුද්ගලයා ය කියා සලකනු ලබන දෙය ඉතා කෙටි ක්‍රමයකට බෙදන කල්හි නාමය රූපය කියා දෙකොටසෙක් වේ. ශරීරය යයි කියනු ලබන, බඹයක් පමණ උසට වැඩී තිබෙන කොටස වනාහි එක් ස්වභාවයකින් ම නො පවතින, නැවත නැවත අමුතු අමුතු ආකාරවලට පැමිණෙන දෙයකි. එය බාල කාලයේ දී බොහෝ දෙනාට ප්‍රිය වූ කුඩා දෙයකි. එය තරමක් පරණ වන කල්හි බඹයක් පමණට වැඩී අමුතු ආකාරයකට පෙරළෙන්නේය. එය තවත් පරණ වන කල රැලි වැටුණ, වක් වුණ. බොහෝ දෙනාට අප්‍රිය දෙයක් වේ. තවත් පරණ වන කල්හි බලන්නට වත් නුපුළුවන් වන සේ පිළිකුල් වූ, ගෙයක තබා ගමක වත් තබා ගත නොහෙන මළ කුණක් වේ. තවත් පරණ වන කල්හි වියළි ඇට ගොඩක් වේ. තවත් පරණ වන කල්හි පස් ගොඩක් වේ. මෙසේ පළමු තිබූ ස්වභාවය හැර නිතරම අමුතු ස්වභාවයකට පැමිණෙන බැවින් ඒ කොටසට රූපය යයි කියනු ලැබේ. රූප යන්නෙහි තේරුම පළමු ස්වභාවය හැර නැවත නැවත අන්‍ය ස්වභාවයනට පැමිණෙන දෙය යනුයි. ඒ වර්ගයට අයත් බාහිර වස්තූහු ද රූප නම් වේ.

ශරීරය යි කියනු ලබන රූප සමූහයන් වෙන් වෙන් වශයෙන් හැඳින්වීමට “ජේමිස්, කරෝලිස්, ජුවානිස් යනාදි නොයෙක් නම් කියති. “රූපං ජීරති මච්චානං නාමගොත්තං නජීරති” යනාදි දේශනා වල නාමය යි කියා තිබෙන්නේ ඒ නම් වලට ය. පරමාර්ථ ධර්ම කථාවෙහි නාමය යි කියනු ලබනුයේ ඒ නම් වලට නොවන බව මතක තබා ගත යුතුයි. ශරීරය වනාහි වැටුණු තැනක නොසෙල්වී එලෙස ම තිබෙන ක්‍රියා කිරීමේ ශක්තියක් නැති දැනීමක් නැති ලී කොට කැබැල්ලක් වැනි දෙයකි. එය තුළ විඥානය නම් වූ දෙයක් වේ. යන්ත්‍ර බලයෙන් ඔබ මොබ ගමන් කරන රථයක් මෙන් ඒ විඥානයේ බලයෙන් විඥානයේ මෙහෙයවීමෙන් ඒ ශරීරය ගමනාදි ක්‍රියා කරන්නේය. ඒ සිදුවීමෙහි තතු නොදත් අන්ධ පෘථග්ජන තෙමේ “මම යමි ය” කිය කියා එයට මුළා වන්නේය.

පරමාර්ථ ධර්ම කථාවෙහි නාමයයි කියනු ලබනුයේ සම්ප්‍රයුක්ත චෛතසික ධර්ම සමූහය සහිත වූ ඒ විඥානයට ය. විඥානය යනු දැනීමය. එය නිතරම දනු ලබන දෙය වූ අරමුණ හා සම්බන්ධය ඇතිව උපදනා දෙයකි. එබැවින් විඥානයාගේ පැවැත්ම අරමුණ තිබෙන දෙසට නැමී තිබෙනු වැනිය. එසේ අරමුණට නැමී පැවතීම නිසා සම්ප්‍රයුක්ත ධර්ම සහිත වූ විඥානය නාමය යි කියනු ලැබේ. සතර පරමාර්ථයෙන් එක් ධර්මයක් වූ නිර්වාණය මේ නාම රූප දෙකට ම සමාන නොවන අති සූක්ෂ්ම ධර්මයෙකි. එය සම කරත හොත් මඳෙකින්වත් සම කළ හැක්කේ නාම ධර්මයනටය. එබැවින් පරමාර්ථ ධර්ම කථාවෙහි දී ඒ නිවන නාමයනට ම ඇතුළත් කරනු ලැබේ.

ලෝක සම්මුතියේ හැටියට මිනිසුන් හා ද්‍රව්‍යයන් හැඳින්වීමට තබන ලද නාම, නාම නම් වෙති. පරමාර්ථ ධර්ම කථාවෙහි එකුන් අනූ චිත්තය ය, චෛතසික දෙපනස ය, නිවන ය යන මේ ධර්මයෝ නාම නම් වෙති. විදර්ශනා කථාවෙහි විදර්ශනා කිරීමට ගත යුතු ලෞකික සිත් එක් අසූවට හා චෛතසික දෙපනසට නාමය යයි කියනු ලැබේ. ලෝකෝත්තර ධර්ම විදර්ශනාවට නොගනු ලැබේ. මේ නාම විහාගය හොඳින් සිහි තබා ගත යුතුයි.

මෙතැන් පටන් “ඡද්ධාතුරොයං භික්ඛු පුරිසො” යනුවෙන් “ධාතු විභංග” සූත්‍රයෙහි වදාරන ලද සයක් වූ ධාතූන්ගේ වශයෙන් දෘෂ්ටි විශුද්ධි භාවනා ක්‍රමය දක්වනු ලැබේ. සත්ත්වයා නම් සයක් වූ ධාතුන්ගේ සමූහයකි.

ධාතු සය නම් :-

යන මොහුය. මෙයින් පෘථිවිධාත්වාදි පස රූපයෝය. විඥාන ධාතුව නාමයයි.

භාවනාවට පටන් ගත යුත්තේ නාම රූප ධාතූන් පිළිබඳ හොඳ අවබෝධයක් පළමුකොට ඇති කර ගෙනය. එබැවින් ධාතූන් පිළිබඳ සාමාන්‍ය විස්තරයක් කරනු ලැබේ. මෙය ඉතා හොඳින් නැවත නැවතත් කියවා ධාතූන් පිළිබඳ තේරුමක් ඇති කර ගත යුතුයි. මේ තතු වැටහෙන්නට දින ගණනක් ගත වන්නට පිළිවන. එහෙත් අවධානයෙන් යුතුව කියවා මුත් අන් සැටියෙකින් මේ වැටහීම නොලබා ගත හැකිය.

නාම ධාතු රූප ධාතු දෙවර්ගයෙන් රූප ධාතු ඖදාරික බැවින් ද ඇසට පෙනෙන බැවින් ද ස්පර්ශ කළ හැකි බැවින් ද අවබෝධ කර ගැනීම පහසුය. එ බැවින් භාවනා කරන කල්හි පළමුව රූප ධාතු පිළිබඳ භාවනා කළ යුතුය. එයට කලක් ගත විය හැකිය. රූප ධාතූන් ඥානයට හොඳින් දර්ශනය වූ කල්හි ඒවායේ අනුසාරයෙන් සූක්ෂ්ම වූ ද නාම ධාතූන් පහසුවෙන් දත හැකිය. එබැවින් රූප ධාතූන් පිළිබඳ විස්තරය මෙහි පළමු කොට කරනු ලැබේ.