හයතුපට්ඨාන ඥානය, ආදීනවානුදර්ශන ඥානය, නිර්වේදානුදර්ශන ඥානය යන ඥාන තුන ම සංස්කාරයන් ගේ දෝෂ දර්ශන වශයෙන් එක ධර්මයෙකි. ඥාන තුනක් වනුයේ දෝෂය, බිය විය යුත්තක් වශයෙන් දැකීම ය, පිළිසරණක් නැති බව දැකීම ය, සතුටු නො විය යුත්තක් ඇලුම් නො කළ යුත්තක් සැටියට දැකීම ය යන, ආකාරත්‍රයාගේ වශයෙනි. හයතුපට්ඨාන ඥානාදි ඥාන තුන ඇති වූ කල්හි ඒ ඥානයන් වැඩෙත් වැඩෙත් ම යෝගාවචරයා හට තමා හසු වී සිටින සංස්කාර ධර්ම පරම්පරාව නමැති සංස්කාර චක්‍රයෙන් කවර ආකාරයකින් හෝ මිදිය යුතු බව පෙනෙන්නට වන්නේ ය. සංස්කාරයන්ගෙන් මිදීම හැර මේ දුකින් මිදීමට අන් ක්‍රමයක් නැති බව දන්නා වූ ඒ ඥානය මුඤ්චිතු කම්‍යතා ඥානය යි.
මේ ඥානය ඇති වූ කල්හි යෝගාවචරයාගේ සිත සංස්කාරයන් කෙරෙන් හැකිළෙන්නට වන්නේ ය. සිටු සම්පත් රජ සම්පත් දිව්‍ය බ්‍රහ්ම සම්පත් වශයෙන් උතුම් කොට ලෝකයා සලකන සකල සංස්කාරයන් ගැන ම සතුටක් හෝ ඇල්මක් ඔහුට ඇති නොවේ. කූඩුවකට හසු වූ පක්ෂියකුට මෙන් ද, බන්ධනයට හසු වූ වන මෘගයකුට මෙන් ද, කෙමනකට අසු වූ මත්ස්‍යයකුට මෙන් ද, සර්පයකුට හසු වූ මැඬියකුට මෙන් ද, සංස්කාරයන් කෙරෙන් හෙවත් භවයෙන් මිදීමේ බලවත් කැමැත්තක් ඔහුට ඇති වන්නේ ය.