දැන් යෝගාවරයා විසින් කළ යුත්තේ තමා ලැබූ ඒ ලපටි හංගානුදර්ශණ ඥානය දියුණු තියුණු වනු පිණිස පිළිපැදීම ය. එය දියුණු වීම පිණිස කළ යුත්තේ මෙසේ ය.
වර්තමාන භවයට අයත් රූපාදි සංස්කාරයන්ගේ භංගය කොටස් වශයෙන් මෙනෙහි කොට අනතුරුව එය මෙනෙහි කළ චිත්තයාගේ භංගය තවත් සිතකින් බැලිය යුතු ය. ඉක්බිති තමා ප්‍රත්‍යක්ෂ වශයෙන් දක්නා ලද ඒ සංස්කාර නිරෝධය සාක්ෂ්‍යයට තබා අතීතයේ ඇති වූ සකල සංස්කාරයන්ගේ නිරෝධය ද අනාගතයෙහි ඇති වන්නා වූ සකල සංස්කාරයන්ගේ නිරෝධය ද බැලිය යුතු ය. ඉක්බිති සත්ත්ව සංඥාව දුරු වනු පිණිස ශුන්‍යතාවය වැටහෙනු පිණිස බිඳෙන මැරෙන කෙනකු නැති බව සංස්කාරයන් ම බිඳෙන මැරෙන බව මෙනෙහි කළ යුතු ය. මතු පැමිණිය යුතු ලැබිය යුතු විදර්ශනා ඥානයට මඟ හෙළිවීම පිණිස ඒ සංස්කාරයන් අනිත්‍ය වශයෙන් බලා නිත්‍ය සංඥාව දුරු කළ යුතු ය. දුක් වශයෙන් බලා සුඛ සංඥාව දුරු කළ යුතුය. අනාත්ම වශයෙන් බලා ආත්ම සංඥාව දුරු කළ යුතු ය. කලකිරිය යුතු ධර්ම බව බලා සංස්කාරයන් පිළිබඳ “නන්දි” යයි කියනු ලබන සප්‍රීතික තෘෂ්ණාව දුරු කළ යුතු ය. ඇලුම් නො කළ යුතු බව බලා රාගය දුරු කළ යුතු ය. අනිත්‍යාදි අනේකාදීනවයන් ඇති සංස්කාරයන් පවත්වා ගැනීම රැස් කිරීම පිළිබඳ සිත හළ යුතු ය. සංස්කාර විරහිත නිර්වාණයට සිත නැමිය යුතුය.
භාවනා වාක්‍යය
මේ ශරීරයේ රූපයෝ නිතර ම බිඳෙන්නාහ. රූප නිරෝධය බැලු සිත ද බිඳුණේ ය. මෙහි ශරීරයේ රූප මෙන් ද රූපයන්ගේ නිරෝධය බැලූ සිත මෙන්ද අතීතයේ වූ සකල සංස්කාරයෝම නිරුද්ධ වූහ. අනාගත සංස්කාරයෝ ද නිරුද්ධ වන්නාහ. සංස්කාරයත් හැර බිඳෙන මැරෙන සත්ත්වයෙක් පුද්ගලයෙක් නැත. සංස්කාරයෝ ම මැරෙන්නාහ. සකල සංස්කාරයෝ ම බිඳී අතුරුදහන් වන බැවින් අනිත්‍යයෝ ය. බිය විය යුතු බැවින් දුඃඛයෝ ය. වශයෙහි නොපවත්නා බැවින් අනාත්මයෝ ය. හොඳ යයි සතුටු විය යුතු ගුණයක් නැත්තෝ ය. හොඳ යයි ඇලුම් කළ යුතු ගුණයක් නැත්තෝ ය. රැස් කිරීමෙන් දුකක් ම වන බැවින් නො රැස් කළ යුත්තෝ ය. දුකෙන් මිදෙනු කැමතියන් විසින් හළ යුත්තෝ ය.
උපදින උපදින වේදනාවෝ බිඳෙන්නා හ. වේදනා නිරෝධය බැලු සිත ද බිඳුණේ ය. එමෙන් අතීතයෙහි වූ සකල සංස්කාරයෝ ම නිරුද්ධ වූහ. අනාගතයෙහි උපදිනා සංස්කාරයෝ ද නිරුද්ධ වන්නා හ. සංස්කාරයන් හැර බිඳෙන මැරෙන සත්ත්වයෙක් පුද්ගලයෙක් නැත. සංස්කාරයෝ ම බිඳෙන්නා හ. මැරෙන්නා හ. බිඳෙන බැවිත් සකල සංස්කාරයෝ ම අනිත්‍යයෝ ය. බිය විය යුතු බැවින් දුඃඛයෝ ය. වශයෙහි නො පවත්නා බැවින් අනාත්මයෝ ය. හොඳය යි සතුටු විය යුතු ගුණයක් නැත්තේ ය. හොඳය යි ඇලුම් කළ යුතු ගුණයක් නැත්තෝ ය. රැස් කිරීමෙන් දුකක් ම වන බැවින් නො රැස් කළ යුත්තෝ ය. දුකෙන් මිදෙනු කැමතියන් විසින් හළ යුත්තෝ ය.
සංඥා සංස්කාර විඥානයත් පිළිබඳ ව ද කියන ලද ක්‍රමයට ම වාක්‍ය යොදාගෙන භාවනා කරනු. ආයතන ධාතූන් ගේ වශයෙන් ද භාවනා කළ හැකි නම් යහපති. මෙසේ නොයෙක් අයුරින් සංස්කාරයන්ගේ නිරෝධය ම නැවත නැවතත් භාවනා වශයෙන් බලන්නා වූ යෝගාවචරයාහට මහත් දිය බින්දු ඇති වැස්සක් වස්නා කල්හි වැවක් දෙස බලා සිටින කෙනකුට දිය බුබුළු බිඳෙනු පෙනෙන්නාක් මෙන් ද, රත් වූ කබලක තල බැදෙනු පෙනෙන්නාක් මෙන් ද, සංස්කාරයන්ගේ බිඳීම ම පෙනෙන්නට වන්නේ ය. එ කල්හි හංගානුදර්ශන ඥානය දියුණු වූයේ යයි කිය යුතු ය.