යෝගාවචරයා විසින් මාර්ගාමාර්ග ඥාන දර්ශන විශුද්ධිය සඳහා පළමු සම්පදනය කළ උදයව්‍යයානු දර්ශන ඥානය විදර්ශනෝපක්ලේශයන් ගෙන් කිලිටි වී දුබල විය. මතු ඇති කර ගත යුතු විදර්ශනා ඥානයන් පිළිවෙළට ඇති කැරගත හැකි වීමට අනිත්‍යාදි ලක්ෂණත්‍රය හොඳින් සලකා ගෙන තිබිය යුතු යි. උපක්ලේශයන්ගෙන් කිළිටි වී මොට වූ උදයව්‍යය ඥානය අනිත්‍යාදි ලක්ෂණ මැනවින් සලකා ගැනීමට අසමත් වෙයි. එබැවින් අනිත්‍යාදි ලක්ෂණ සලකාගත හැකි වනු පිණිස නැවතත් උදයව්‍යය ඥානය වැඩිය යුතු ය. ඒ සඳහා පෙර කී පරිදි භාවනාවෙහි යෙදීම් වශයෙන් නැවතත් උදයව්‍යය ඥානය සම්පාදනය කළ යුතු ය. තියුණු කළ යුතු ය.
ත්‍රිලක්ෂණයන් අතුරෙන් අනිත්‍ය ලක්ෂණය-උදයව්‍යය නො මෙනෙහි කිරීමෙන් ද, සන්තතියෙන් වැසුණු හෙයින් ද නො වැටහෙයි. දුඃඛ ලක්ෂණය-සංස්කාරයන් ගේ නිරන්තරයෙන් කරන පීඩාව නො මෙනෙහි කිරීම නිසා ද, ගමනාදි සතර ඉරියව්වෙන් වැසෙන නිසා ද නො වැටහෙයි. අනාත්ම ලක්ෂණය-නානා ධාතුන් වෙන් කොට නො මෙනෙහි කිරීම නිසා ද, ඝනයෙන් වැසෙන නිසාද නො වැටහෙයි.
වේගයෙන් ගලා යන ගංගාවෙහි එක් තැනක තිබුණු ජලය එ තැනින් පහළට ගලනු සමග ම උඩින් තිබුණු ජලය එ තැනට පැමිණෙයි. එය පහළට ගලනු සමග ම එයට උඩින් තිබුණු ජලය එතැනට පැමිණෙයි. අතරක් නො දක්වා කෙරෙන මේ ජලයේ පැමිණීම නිසා ගංගාවේ එක් තැනක් බලා සිටින්නවුනට එ තැන තිබුණු ජලය ම නිතර ම තිබෙනු සේ පෙනේ. එසේ ම සත්ත්ව සන්තානයෙහි එක් එක් සංස්කාරයක් නිරුද්ධ වූ තැනට එය නිරුද්ධ වනු සමඟ ම අලුත් සංස්කාරයක් අතරක් නො පෙනෙන සේ ඉපැදීම් වශයෙන් වහා පැමිණෙන බැවින් තිබුණු සංස්කාරයන් ම නො නැසී තිබූ සැටියට ම බොහෝ කලක් පවන්නාක් මෙන් පෙනේ. පරණ බිඳුණු සංස්කාරයන් බිඳුණු බව හා එතනට අලුත් සංස්කාරයන් පහළ වූ බවක් නො පෙනෙන සේ වේගවත්ව පවතින්නා වූ මේ පරම්පාරා සම්බන්ධයට සන්තතිය යයි කියනු ලැබේ. අනිත්‍ය ලක්ෂණය එයින් වැසේ. සංස්කාරයන් ගේ ඉපැදීම් බිඳීම් දෙක දක්නා කල්හි අනිත්‍ය ලක්ෂණය වසාගෙන සිටින ඒ සන්තතිය බිඳෙයි. එ බැවින් උදයව්‍යය දක්නා තැනැත්තාට අනිත්‍ය ලක්ෂණය නො සිතාම උදයව්‍යය සිතීමෙන් සන්තතිය බිඳී අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වේ. උදයව්‍යය බැලීමෙන් සන්තතිය නො බිඳගත් තැනැත්තා විසින් අනිත්‍ය ලක්ෂණය මෙනෙහි කළත් සන්තතියෙන් එය නැවත නැවත වැසෙන බැවින් සුවිසද අනිත්‍ය දර්ශන ඥානයක් නො ලැබේ.
සංස්කාරයන් ආත්මය කොට ඇති තැනැත්තාට ඒවායේ බිදීම විනාශය තමාගේ ම විනාශයක් බැවින් පීඩාවෙකි. බිඳුණු සංස්කාරයන් වෙනුවට අලුත් සංස්කාරයන් උපදවා ගැනීමට වෙහෙසිය යුතු බැවින් අලුත් සංස්කාරයන් ඉපැදීමත් පීඩාවෙකි. සංස්කාරයන්ගේ ඉපැදීම් බිඳීම් දෙක පීඩාවක් බව පිළිගන්නා වූ දන්නා වූ යෝගාවචරයාහට සත්ත්ව සන්තානයෙහි සංස්කාරයන් නිරතුරුව ම උපදින බිඳෙන සැටි උදයව්‍යය ඥානයෙන් පෙනෙන කල්හි, සංස්කාරයන් විසින් ඉපදීම් බිඳීම් දෙකින් නිරතුරුව පෙළෙන බව මෙනෙහි නො කළේ ද වැටහෙන්නේ ය. උදයව්‍යය දැකීමෙන් ම නිරන්තර පීඩනය වූ දුඃඛ ලක්ෂණය ද දුටුයේ වන්නේ ය. උදයව්‍යය නො දක්නා තැනැත්තා විසින් නිරන්තර පීඩන සංඛ්‍යාත දුඃඛ ලක්ෂණය මෙනෙහි කළත් ඔහුට එය සුවිසද ව නො වැටහෙන්නේ ය. එක ඉරියව්වෙකදී දැනෙන දුඃඛය අනෙක් ඉරියව්වෙන් වැසෙන බැවින් ඊර්‍ය්‍යාපථය ද දුඃඛ ලක්ෂණය වසන්නෙකි. උදයව්‍යය දක්නා තැනැත්තා හට ඊර්‍ය්‍යාපථයෙන් ද එය නො වැසෙයි. කරුණු මෙසේ හෙයින් දුඃඛ ලක්ෂණය හොඳින් වැටහෙනුයේ ද, උදයව්‍යය ඥානය අනුව ම බව දත යුතුය.
යෝගාවචරයාගේ උදයව්‍යය ඥානය පවතින්නේ නා නා ධාතු විෂයෙහි ය. එ බැවින් උදයව්‍යය දෙක බලන්නහු අතින් නා නා ධාතු විනිර්භෝගය නිතැතින් ම සිදුවේ. ආත්ම සංඥාව පවත්වන්නේ නා නා ධාතූන් ගේ ඝනයෙහි ය. ධාතූන් වෙන් වශයෙන් දක්නා කල්හි ඒවායේ අනාත්මත්වය වසා ගෙන සිටින ඝනය නමැති කවරය ඉබේම ඉවත් වේ. අනාත්මත්වය වසා සිටින ඝනය බිඳී යාමෙන් උදයව්‍යය දර්ශනයෙන් අනාත්මත්වය ප්‍රකට වේ.
උදයව්‍යයත් ත්‍රිලක්ෂණයත් කරුණු දෙකක් බැවින් උදයව්‍යය අරමුණු කරන ඥානය කිසි කලෙක ලක්ෂණයන් අරමුණු නො කරයි. ලක්ෂණයන් අරමුණු කරන ඥානයත් කිසි කලෙක උදයව්‍යය අරමුණු නො කරයි. උදයව්‍යය ඥානයට ලක්ෂණ ප්‍රකට වේ යැයි කියන ලදුයේ, උදයව්‍යය දර්ශනයෙන් ලක්ෂණ දැක ගැනීමට ඇති බාධා දුරු වන හෙයිනි. උදයව්‍යය දර්ශනයෙන් ආවරණයන් දුරු වී ගිය පසු අරමුණු කිරීම් වශයෙන් ඒවා බැලිය යුතුය. අරමුණු කිරීම් වශයෙන් බැලීම ය යනු භාවනා කිරීම් වශයෙන් සංස්කාරයන්ගේ ත්‍රිලක්ෂණය මෙනෙහි කිරීම ය. මාර්ගාමාර්ග ඥාන දර්ශන විශුද්ධියෙන් පසු යෝගාවචරයා විසින් උදයව්‍යය මෙනෙහි කිරීමේ භාවනාව දින කීපයක් කළ යුතු ය. ත්‍රිලක්ෂණ දර්ශනය ශුද්ධ වීමට උදයව්‍යය දර්ශනය හේතු වේ. එසේ ම උදයව්‍යය දර්ශනය ශුද්ධ වීමට ත්‍රිලක්ෂණය ද හේතු වේ. එබැවින් මෙතැන් පටන් උදයව්‍යය භාවනා ත්‍රිලක්ෂණ භාවනා දෙක ම වරින් වර කරන්නට පටන් ගත යුතු ය. උදයව්‍යය ද හේතූන්ගේ වශයෙන් බැලීම නවත්වා ලක්ෂණ වශයෙන් බැලීම ම කළ යුතු ය.
උදයව්‍යය බැලීම් වශයෙන් කළ යුතු භාවනාව
පඨවි ධාතුව ඉපිද බිඳෙන්නේ ය. අපෝ ධාතුව ඉපිද බිඳෙන්නේ ය. තේජෝ ධාතුව ඉපිද බිඳෙන්නේ ය. වායෝ ධාතුව ඉපිද බිඳෙන්නේ ය. චක්ඛු විඤ්ඤාණ ධාතුව -පෙ- සෝත විඤ්ඤාණ ධාතුව -පෙ- ඝාණ විඤ්ඤාණ ධාතුව - පෙ - ජිව්හා විඤ්ඤාණ ධාතුව -පෙ- කාය විඤ්ඤාණ ධාතුව -පෙ- මනෝ විඤ්ඤාණ ධාතුව ඉපිද බිඳෙන්නේ ය.
ස්කන්ධ ක්‍රමයෙන් භාවනා කිරීම
රූපස්කන්ධය ඉපිද බිඳෙන්නේ ය. වේදනා ස්කන්ධය -පෙ- සංඥාස්කන්ධය -පෙ- සංස්කාරස්කන්ධය -පෙ- විඤ්ඤාණකන්ධය ඉපිද බිඳෙන්නේ ය.
ත්‍රිලක්ෂණ භාවනා ක්‍රමය
පෘථිවි ධාතුව අනිත්‍ය ය. දුක්ඛය, අනාත්ම ය. ආපෝ ධාතුව -පෙ- තේජෝ ධාතුව - පෙ- වායෝ ධාතුව - පෙ- චක්ඛු විඤ්ඤාණ ධාතුව -පෙ- සෝත විඤ්ඤාණ ධාතුව -පෙ- ඝාණ විඤ්ඤාණ ධාතුව -පෙ- ජිව්හා විඤ්ඤාණ ධාතුව -පෙ- කාය විඤ්ඤාණ ධාතුව -පෙ- මනෝවිඤ්ඤාණ ධාතුව -පෙ-රූපස්කන්ධය -පෙ- වේදනාස්කන්ධය -පෙ- සඤ්ඤා ස්කන්ධය -පෙ- සංස්කාරස්කන්ධය -පෙ- විඥානකන්ධය අනිත්‍යය, දුඃඛ ය, අනාත්ම ය.
මෙසේ භාවනාව යොදාගෙන සංක්ෂේප වශයෙන් ද විස්තර වශයෙන් ද ආයතන ධාතු පටිච්චසමුප්පාදාංගාදි ක්‍රමවලින් ද භාවනා කිරීම යහපති. මෙසේ භාවනා කිරීම් වශයෙන් සංස්කාරයන්ගේ උදයව්‍යය හා ත්‍රිලක්ෂණය ද, උපක්ලේශයන්ගෙන් මිදුණා වූ නියම මාර්ගයෙහි ගෙන යන්නා වූ විදර්ශනා ඥානයෙන් නැවත නැවත බලන්නා වූ මෙනෙහි කරන්නා වූ යෝගාවචරයාගේ උදයව්‍යය ඥානය අතිශයින් දියුණු තියුණු වූ කල්හි යෝගාවචරයා හට සංස්කාරයන් වහ වහා වැටහෙන්නට වන්නේ ය. ඒ තත්ත්වය පැමිණි කල්හි ක්‍රමයෙන් යෝගාවචරයාගේ සිත සංස්කාරයන්ගේ උත්පාදයට හෝ ස්ථිතියට හෝ ප්‍රවෘත්තියට හෝ නිමිත්තට හෝ නො පැමිණ නිරෝධය කරා ම පැමිණෙන්නට වන්නේ ය. යෝගාවචරයාගේ සිතට උත්පාදාදිය අරමුණු නොවී නිරෝධය ම අරමුණු වන්නට පෙනෙන්නට පටන් ගන්නේ ය. එය හංගානු දර්ශන ඥානයා ගේ ආදියට පැමිණීම ය. සංස්කාරයෝ මෙසේ ඉපිද බිඳි බිඳීම යන්නාහ යි නැවත නැවත නුවණින් මෙනෙහි කරන්නා වූ ඔහුට මේ ස්ථානයේදී භංගානුදර්ශන ඥානය නම් වූ විදර්ශනා ඥානය උපදින්නේ ය.