පඤ්චම සංඝාදිසේසය:

“යො පන භික්ඛු සඤ්චරිත්තං සමාපජ්ජෙය්‍ය ඉත්ථියා වා පුරිසමතිං පුරිසස්ස වා ඉත්ථිමතිං ජායත්තෙන වා ජාරත්තෙන වා අන්තමසො තංඛණිකාය’ පි සංඝාදිසෙසො.”[1]

යම් මහණෙක් ස්ත්‍රී පුරුෂයන් අතර පණිවුඩ හුවමාරු කරන්නකු බවට පැමිණියේ වේ ද අඹුවක වීම පිණිස පුරුෂයාගේ අදහස ස්ත්‍රියට හෝ කියා ද, සැමියකු වීම පිණිස ස්ත්‍රියගේ අදහස පුරුෂයාට හෝ කියාද යටත් පිරිසෙයින් මඳ වේලාවකට බිරියක් වන කතකට වුව ද කියා නම් ඒ මහණහට සංඝාදිසේසාපත්ති වේ.

පණිවුඩ හුවමාරු කරවන අය මිනිසුන් වීමය, කෙනකුගේ අඹුවක් නො වන ස්ත්‍රියක වීමය, පණිවුඩය පිළිගැනීමය, ඒ ගැන විමසීමය, පණිවුඩය කියන්නහුට නැවත කාරණය දැන්වීමය කියා මේ සිකපදයට අංග පසක් ඇත්තේය.

ස්ත්‍රියකගේ හෝ පුරුෂයකුගේ හෝ ඔවුන්ගේ මාපියාදි ආරක්ෂකයකුගේ හෝ පණිවිඩය පිළිගැනීම, විමසීම, ආපසු කීම යන මේ තුන් අංගයෙන් සංඝාදිසේසාපත්ති වේ. දෙකකින් ථුල්ලච්චයාපත්ති වේ. එකකින් දුකුළා ඇවැත් වේ. භේද වී සිටින මාපියන් අතර පණිවිඩ හුවමාරු කර දීමෙන් ද මේ ඇවත සිදුවිය හැකිය. පණ්ඩකයන්ට පණිවිඩ කීමෙන් වන්නේ ද ථුලැසි ඇවැත් ය. මෙය සාණත්තික සිකපදයෙකි. එබැවින් අතවැසියන් යොදා පණිවිඩ හුවමාරු කරවීමෙන් ද ඇවැත් වේ.

  1. පාරා - 162 පි.