ධ්‍යාන මාර්ගඵලවලින් කිසිවක් ලබා නැතත් තමා ඒවා ලබා ඇතය යන වැරදි හැඟීමක් ඇතැමුන්ට ඇති වේ. එයට “අධිමානය” යි කියනු ලැබේ. මේ අධිමානය ධ්‍යානාදි උත්තරිමනුෂ්‍යධර්මයන් ගැන අපේක්ෂාවක් නැති දුශ්ශීලයන්ට ඇති නො වේ. සමථ විදර්ශනා වැඩීම හැර අන් කටයුතුවල යෙදී කල් යවන සිල්වතුන්ට ද ඇති නො වේ. පරිශුද්ධ ශීලයේ පිහිටා මහත් වූ වීර්‍ය්‍යයෙන් භාවනා කිරීමෙහි යෙදෙන පින්වතුන්ට සමහර විට අධිමානය ඇතිවේ. ආර්‍ය්‍ය පුද්ගලයන්ට කිසිවිටෙක අධිමානය ඇති නො වේ. එබැවින් සෝවාන් පුද්ගලයෙක් කිසිකලෙක තමා සකෘදාගාමිය කියා හෝ අනාගාමිය කියා හෝ රහත්ය කියා හෝ නො සිතයි. සමථ විදර්ශනා දෙකින් එකක් දියුණු කර ඇතියවුන්ට යට යට මාර්ගඵල පිළිබඳව අධිමානය ඇති වෙනවා මිස තමා රහත්ය කියා අධිමානය ඇති නො වන බව ද සමථ විදර්ශනා දෙක ම ඇතියන්ට තමා රහත් ය යන අධිමානය ඇති වන බවද දක්වා ඇත්තේ ය. ඇතැම් පැරණි මහතෙරුන් වහන්සේලා බොහෝ ගණන් අවුරුදු තමා රහත්ය යන අධිමානයෙන් විසූ බව අටුවාවල දක්වා ඇත්තේය. අධිමානය නිසා උත්තරී මනුෂ්‍යධර්මයන් ප්‍රකාශ කිරීම වඤ්චාවක් නො වන බැවින් එයින් ඇවැත් නො වේ.
උත්තරීමනුෂ්‍ය ධර්ම වූ ධ්‍යානාදිය ලබා නැති බවය, ලාමක අදහසින් තමාට ඒවා ඇතයයි කීමය, අනිකකු නො දැක්වීමය, අසන්නහු මනුෂ්‍යයකු වීමය, එකෙණෙහි ම ඔහුට තේරුම් යාමය යි මේ සිකපදයට අංග පසක් ඇත්තේ ය.
මට ධ්‍යාන ඇත යනාදීන් උත්තරීමනුෂ්‍යධර්මය ප්‍රකාශ කළ ද ඒවා ගැන අසා නැති දැනුමක් නැති පුද්ගලයෝ ප්‍රකාශ කළ උත්තරීමනුෂ්‍යධර්මය තේරුම් ගැනීමට සමත් නො වෙති. නැත්තා වූ උත්තරීමනුෂ්‍ය ධර්මයක් තමාට ඇතය යි කී කල්හි අසන්නා තේරුම් නො ග්තතේ නම් පරිජි ඇවතට නො පැමිණ ථුලැසි ඇවතට පැමිණේ.
නැත්තා වූ උත්තරීමනුෂ්‍යධර්මය ප්‍රකාශ කරනු කැමති ලාමක අදහස් ඇති මහණ මමය කියා කෙළින්ම නො කියා ඔබගේ පන්සලේ වෙසෙන භික්ෂුව ප්‍රථම ධ්‍යානයට සමවදින කෙනෙක යනාදීන් අනිකකු දක්වන්නාක් මෙන් පර්යායයෙන් කිව ද පරිජි නො වේ. ථුලැසි වේ. අමනුෂ්‍යයකුට කීමෙන් දුකුළා ඇවැත් වේ. සත්‍ය වශයෙන් ඇත්තා වූ උත්තරීමනුෂ්‍යධර්මය වුවද උපසම්පන්නයන්ට මිස අනුපසම්පන්නයන්ට නොකිය යුතුය. “යො පන භික්ඛු අනුපසම්පන්නස්ස උත්තරීමනුස්සධම්මං ආරොචෙය්‍ය භූතස්මිං පාචිත්තියං.”[1]
යම් මහණෙක් අනුපසම්පන්නයකු හට උත්තරී මනුෂ්‍යධර්මය ආරෝචනය කෙළේ නම් එය ඔහුට ඇති කල්හි පචිති ඇවැත් වේ.
-
පාචි - 35 පි. ↑