දිවි නසා ගැනීම

“න ච භික්ඛවෙ අත්තානං පාතෙතබ්බං, යො පාතෙය්‍ය ආපත්ති දුක්කටස්ස.”[1]

“මහණෙනි, ආත්මය පර්වතාදියෙන් නො හෙළිය යුතුය, ජීවිතය නො නසා ගත යුතුය, යමෙක් එසේ කෙරේ නම් ඔහුට දුකුළා ඇවැත් වේය” යනු එහි අදහස ය. අනුන්ගේ ජීවිතය නැසීමෙන් පාරාජිකා වන්නාක් මෙන් ප්‍ර‍පාතවලට පැනීම් ආදියෙන් සිය දිවි නසා ගැනීමෙන් පාරාජිකාපත්ති නො වේ. උඩ සිට බිමට පැනිම, දියට පැනීම, වාහන එන මඟට පැනීම, වස කෑම, ගින්නට පැනීම, ශරීරයට ගිනි දල්වා ගැනීම, ආහාර නො ගැනීම යනාදියෙන් යම් මහණෙක් දිවි නසා ගනී නම් ඔහුට දුකුළා ඇවැත් වේ. දීර්ඝ කාලයක් පවත්නා වූ යම් දරුණු රෝගයක් ඇති භික්ෂුවක් නිසා උපස්ථායකයන්ට බොහෝ වෙහෙසෙන්්නට සිදු වේ නම් උපස්ථායකයෝ රෝගියා පිළිකුල් කෙරෙත් නම් මේ කරදරය කවදා කෙළවර වේ දැයි සිතත් නම් ප්‍ර‍තිකාර කළ ද මේ ආත්මය නො පවත්නේය, මා නිසා උපස්ථායකයෝ ද වෙහෙසෙත්ය යි සිතා ආහාර ප්‍ර‍තික්ෂේප කොට සිටීමෙන් ඇවැත් නො වන බව අටුවාවෙහි[2] දැක් වේ. සසරට තදින් කලකිරුණා වූ භික්ෂුවක් ආහාර සෙවීම හා වැළඳීමත් භාවනාවට බාධාවකැයි ජීවිතාශාව හැර භාවනාව සඳහා ආහාර ප්‍ර‍තික්ෂේප කිරීම සුදුසු බව ද අටුවාවෙහි දක්වා ඇත.

මේ වරද කළ නිසා මා මැරෙනවාය මේ දෙය නුදුන හොත් මේ දෙය නො කළ හොත් මා රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් බුද්ධශාසනය වෙනුවෙන් දිවි පුදනවායයි උපවාස කිරීමෙන් ඇවැත් වේ. එසේ මළහොත් ඔහු මැරෙන්නේ ඇවතකින් ය.

  1. පාරා - 87 පි.

  2. ස. පා - 334 පි.