බඩු සැඟවීම.

ඇතැම්හු විනෝදය පිණිසත්, ඊර්ෂ්‍යාව නිසාත්, නිකම්ම අනුන්ට කරදර කරනු පිණිසත් අනුන්ගේ බඩු සඟවති. එය ද පාරාජිකාවට ආසන්න ක්‍රියාවෙකි.

“යො පන භික්ඛු භික්ඛුස්ස පත්තං වා චීවරං වා නිසීදනං වා සූචිඝරං වා කායබන්ධනං වා අපනිධෙය්‍ය වා අපනිධාපෙය්‍ය වා අන්තමසො හස්සාපෙක්ඛොපි පාචිත්තියං.”[1]

යම් භික්ෂුවක් භික්ෂුවකගේ පාත්‍ර‍ය හෝ සිවුරක් හෝ නිසීදනය හෝ ඉඳිකටුගුළාව හෝ පටිය හෝ සඟවා නම් හෝ අනුන් ලවා සඟවවා නම් හෝ යටත් පිරිසෙයින් ක්‍රීඩා පිණිස වුවද කෙරේ නම් පචිති ඇවැත් වේ.

භික්ෂුවකගේ අන් පිරිකරක් සැඟවුව දුකුළා ඇවැත් වේ. අනුපසම්පන්නයකුගේ පිරිකර සැඟවුව ද දුකුළා ඇවැත් වේ. නො තැන්පත් අනුන්ගේ පිරිකර ගෙන තැන්පත් කිරීමෙන් ඇවැත් නොවේ.

  1. පාචි. - සුරාපාන වග්ග - 140 පි.