නිප්පෙසිකතා.

star_outline

“ලාභසසක්කාරසන්නිස්සිතස්ස පාපිච්ඡස්ස ඉච්ඡාපකතස්ස යා පරෙසං අක්කොසනා වම්භනා ගරහනා උක්ඛෙපනා සමුක්ඛෙපනා ඛිපනා සංඛිපනා පාපනා සංපාපනා අවණ්ණහාරිතා පරපිට්ඨිමංසිකතා අයං වුච්චති නිප්පෙසිකතා.”[1]

ලාභසත්කාර බලාපොරොත්තු වන්නා වූ පාපෙච්ඡ වූ ඉච්ඡාවෙන් මඩනා ලද්දා වූ භික්ෂුවගේ යම් අන්‍යයන් ආක්‍රෝශ කිරීම් ආදියක් වේ ද එය නිප්පේසිකතා යි කියනු ලැබේ.

එහි “අක්කොසනා” යනු නො දෙන්නහුට බැණීමෙන් හෝ ඔහුගෙන් යමක් ලබාගැනීම පිණිස නොයෙක් දේ කියා ආක්‍රෝශ කිරීමය.

වම්භනා” යනු අපට නො සලකත හොත් කළ යුතු දේ අපි දනිමුය, අපටත් මෙසේ ද මෙසේ ද කළ හැකිය යනාදීන් තර්ජනය කිරීමය.

ගරහනා” යනු මැරෙන බව නො දන්නෙක, පරලොවක් ඇති බව නො දන්නෙක, රැස්කර තබා මැරෙන්නෙක, පින් පව් නො දන්නෙක, මහ මසුරෙක, මවට පියාටවත් යමක් නො දෙන්නෙක යනාදීන් නින්දා කිරීමය.

උක්ඛෙපනා” යනු නො දෙන්නහුට නින්දා කිරීම පිණිස මහා දානපතියෙක, වෙස්සන්තර රජු වැනියෙක යනාදීන් උසස් කොට කථා කිරීමය. “සමුක්ඛෙපනා” යනු වඩාත් උසස් කොට කථා කිරීමය.

ඛිපනා” යනු නො දෙන්නහුට මොහුගේ ධනයෙන් කවර ප්‍රයෝජනයක් ද, මොහුගේ ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක් ද යනාදීන් කවටකම් කිරීමය.

සංඛිපනා” යනු මොහුට මසුරෙක අදායකයෙකැ යි කියන්නේ කුමට ද? මොහු නිතර ම නැතය යන වචනය සැමට ම දෙන්නේ ය යනාදීන් වඩාත් විසුළු කිරීමය.

පාපනා” යනු නො දෙන කෙනකු බව මසුරකු බව පවසා ජනයාගේ පිළිකුලට පැමිණවීමය. “සංපාපනා” යනු නොයෙක් කරුණු කියා නොයෙක් ආකාරයෙන් ජනයා පිළිකුල් කරන බවට පැමිණවීමය.

අවණ්ණහාරිතා” යනු අගුණ පැතිර යාමට බියෙන් හෝ මොහු දෙනු ඇතැයි සිතා ගෙයින් ගෙට ගමින් ගමට නො දෙන්නහුගේ අගුණ පැතිරවීමය. අගුණ කියමින් ඇවිදීමය.

පරපිට්ඨිමංසිකතා” යනු ඉදිරියේ ගුණ කියා නැති තැනදී අවගුණ කියමින් නින්දා කිරීමය. එසේ කිරීම පිටේ මස් සූරා කෑම වැනි බැවින් “පරපිට්ඨිමංසිකතා” යි කියනු ලැබේ. අනුන්ගේ පිටේ මස් සූරා කන බවය යනු එහි තේරුමය.

ලාභෙන ලාභං නිජිගිංසනතා.

“ලාභසක්කාරසන්නිස්සිතො පාපිච්ඡො ඉච්ඡාපකතො ඉතො ලද්ධං ආමිසං අමුත්‍ර‍ හරති, අමුත්‍ර‍ වා ලද්ධං ආමිසං ඉධ ආහරති, යා එවරූපා ආමිසෙන ආමිසස්ස එට්ඨි ගවෙට්ඨි පරියෙට්ඨි එසනා ගවෙසනා පරියෙසනා අයං වුච්චති ලාභෙන ලාභං නිජිගිංසනතා.”[2]

මේ පාඨයෙන් දැක්වෙන්නේ එක් ගෙයකින් ලැබෙන පිණ්ඩපාතය අනික් තැනකට ගෙන ගොස් දී එතැනින් ලැබෙන පිණ්ඩපාතය අන් තැනකට ගෙන ගොස් දී මෙසේ හුවමාරු කිරීමේ ක්‍ර‍මය ය. ප්‍ර‍ණීත භෝජන ලබා ගැනීම මෙරට භික්ෂූන් අතර ඇතියක් නොවේ. එහෙත් පෙතෙහි එන සියල්ල මෙහි ද දැක්විය යුතු නිසා මේ “ලාභෙන ලාභං නිජිගිංසනය” මේ ග්‍ර‍න්ථයට ද ඇතුළු කරන ලදී. බුදුසසුන ඇති වූ මුල් කාලයේ දඹදිව භික්ෂූන්ට විහාරවලට ගෙනවුත් දන්දීමේ සිරිත නො පැවතිණ. එකල විසූ භික්ෂූහු ගිහිගෙවලදී ද තැන තැන තනා තුබූ ආසනශාලාවල ද දන් වැළදූහ. ඒ කාලයේ ඇතැම් භික්ෂූන් එක් ගෙයකින් ලත් දෙය තමාට හොඳ නො වූයේ නම් අන් තැනකට ගෙන ගොස් එය දී ඒ ගෙයින් වඩා යහපත් බොජුන් ලබා ගන්නට ඇත. ඒ නිසා මේ හුවමාරු කර ගැනීමේ දෝෂය බණ පොත්වලට ඇතුළු කරන්නට ඇත.

  1. විහ - 262 පි.

  2. විභ - 262 පි.