ආජීවහේතුක සිකපද සය.

  1. ආජීවහෙතු ආජීවකරණා පාපිච්ඡො ඉච්ඡාපකතො අසන්තං අභූතං උත්තරිමනුස්සධම්මං උල්ලපති, ආපත්ති පාරිජිකස්ස.
  2. ආජීවහෙතු ආජීකාරණා සඤ්චරිත්තං සමාපජ්ජති ආපත්ති සංඝාදිසෙසස්ස.
  3. ආජීවහෙතු ආජීවකාරණා යො තෙ විහාරෙ වසති සො භික්ඛු අරහාති භණති පටිවිජානන්තස්ස ආපත්ති ථුල්ලච්චයස්ස.
  4. ආජීවහෙතු ආජීවකාරණා භික්ඛු පණීතභොජනානි අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජති, ආපත්ති පාචිත්තියස්ස.
  5. ආජීවහෙතු ආජීවකාරණා භික්ඛුනී පණීතභොජනානි අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජති, ආපත්ති පාටිදෙසනීයස්ස.
  6. ආජීවහෙතු ආජීවකාරණා සූපං වා ඔදනං වා අගිලානො අත්තනො අත්ථාය විඤ්ඤාපෙත්වා භුඤ්ජති, ආපත්ති දුක්කටස්ස. ආජීවවිපත්තිපච්චයා ඉමා ඡ ආපත්තියො ආපජ්ජති.[1]

ජීවත්වීමේ හේතුවෙන් නැති ගුණ දක්වනු කැමැත්තේ තණ්හාවෙන් මඩනා ලද්දේ තමා කෙරෙහි නැත්තා වූ උත්තරී මනුෂ්‍යධර්මය ප්‍ර‍කාශ කෙරේ නම් ඔහුට පාරාජිකාපත්තිය වේ.

දිවි පැවැත්වීමේ හේතුවෙන් ස්ත්‍රීපුරුෂයන් අතර පණිවිඩ හුවමාරු කෙරේ නම් ඔහුට සංඝාදිසේසාපත්ති වේ.

දිවි පැවැත්වීමේ හේතුවෙන් “යමෙක් ඔබගේ විහාරයේ වෙසේ ද ඒ මහණ රහත් කෙනෙකැයි” කියා නම් අසන්නා තේරුම් ගත හොත් ථුලැසි ඇවැත් වේ.

දිවි පැවැත්වීමේ හේතුවෙන් මහණ තමාගේ ප්‍රයෝජනය පිණිස ප්‍ර‍ණීතභෝජනයන් ඉල්ලා වළඳා නම් ඔහුට පචිති ඇවැත් වේ.

දිවි පැවැත්වීමේ හේතුවෙන් මෙහෙණක් තමාගේ ප්‍රයෝජනය පිණිස ප්‍ර‍ණීතභෝජනයන් ඉල්ලා වළඳා නම් ඇයට පාටිදේසනීය නම් ආපත්තියක් වේ.

දිවි පැවැත්වීමේ හේතුවෙන් සූප හෝ බත් හෝ නො ගිලන් වූයේ තමාගේ ප්‍රයෝජනය පිණිස ඉල්ලා වළඳයි නම් ඒ මහණහට දුකුළා ඇවැත් වේ. ආජීව විපත්තිය නිසා මේ ඇවැත් සයට පැමිණේ.

කුහනා ලපනා නෙමිත්තිකතා නිප්පෙසිකතා ලාභෙන ලාභං නිජිගිංසනතා යනුවෙන් දැක්වෙන නො මනා ක්‍ර‍මවලින් ප්‍ර‍ත්‍යය සෙවීමෙන් වැළකීම ද ආජීවපාරිශුද්ධිය ය. කුහනාදිය මෙසේ ය:-

  1. පරිවා - 127 පි.