බ්‍ර‍හ්මදණ්ඩය.

star_outline

මේ සිකපදය පැනවීමෙන් ඡන්න භික්ෂුව හික්මුණු බවක් නො පෙනේ. ඒ නො හික්මීම නිසා ම ඔහුට මාර්ගඵල ලැබිය හැකි නො වීය. තථාගතයන් වහන්සේ ඔහු කෙරෙහි අනුකම්පාවෙන් පිරිනිවන්පානා දින රාත්‍රියේද “ඡන්නස්ස ආනන්ද, භික්ඛුනො මමච්චයෙන බ්‍ර‍හ්මදණ්ඩො දාතබ්බො”[1] යනුවෙන් ඡන්න භික්ෂුවට තථාගත පරිනිර්වාණයෙන් පසු බ්‍ර‍හ්මදණ්ඩය දෙන ලෙස වදාළහ. ආනන්දස්ථවිරයන් වහන්සේ විසින් “ස්වාමීනි, බ්‍ර‍හ්මදණ්ඩ නම් කවරේදැ”යි විචාළ කල්හි “ආනන්දය, ඡන්න යමක් කියනු කැමැත්තේ නම් එය කියාවා, භික්ෂූන් විසින් ඔහුට කිසිවක් නො කිය යුතුය, අවවාද නො කළ යුතුය, අනුශාසනා නො කළ යුතුය, මේ බ්‍ර‍හ්මදණ්ඩය” යි වදාළ සේක.

සම්බුද්ධපරිනිර්වාණයෙන් පසු ධර්මසංගීතිය සඳහා රජගහනුවරට රැස් වූ මහාකාශ්‍යපස්ථවිර ප්‍ර‍මුඛ ස්ථවිරයන් වහන්සේලාගේ නියෝගයෙන් ආනන්ද ස්ථවිරයන් වහන්සේ පන්සියයක් භික්ෂූන් හා කොසඹෑනුවර ඝෝසිකාරාමයට වැඩම කොට ඡන්නස්ථවිරයන්ට භාග්‍යවතුන් වහන්සේගේ ආඥාව පරිදි බ්‍ර‍හ්මදණ්ඩය ප්‍ර‍කාශ කළහ. එයින් පීඩාවට පත්වූ ලජ්ජා වූ ඡන්නස්ථවිර තෙමේ විවේකස්ථානයකට එළඹ විදසුන් වඩා නොබෝ කලකින් සව් කෙලෙසුන් නසා අර්හත්වයට පැමිණියේය. බුදුරදුන් විසින් බ්‍ර‍හ්මදණ්ඩය පනවන ලද්දේ ඡන්නස්ථවිරයන්ට පමණෙකි. එහෙත් එවැනි රළු කතා ඇති නො මනා කතාවලින් භික්ෂූන්ට පහරදෙන දුර්වච භික්ෂූන්ට ද මේ දඬුවම දිය යුතු බව පරිවාරපාළියේ කම්මවග්ග අට්ඨකථාවෙහි[2] දක්වා ඇත්තේය. එය කරනුයේ අපලෝකන කර්ම වශයෙනි. එය කරන්නේ මෙසේය:- ව්‍යක්ත භික්ෂුවක් විසින් සංඝයාගේ අනුමතිය ලබා මෙසේ සංඝයාහට ඇස්විය යුතු ය.

“භන්තෙ, ඉත්ථන්නාමො භික්ඛු මුඛරො, භික්ඛු දුරුත්තවචනෙහි ඝට්ටෙන්තො විහරති, සො භික්ඛු යං ඉච්ඡෙය්‍ය තං වදෙය්‍ය, භික්ඛුහි ඉත්ථන්නාමො භික්ඛු නො ච වත්තබ්බො, න ඔවදිතබ්බො, න අනුසාසිතබ්බො. සංඝං භන්තෙ, පුච්ඡාමි ඉත්ථන්නාමස්ස භික්ඛුනො බ්‍ර‍හ්මදණ්ඩස්ස දානං රුච්චති සංඝස්ස. දුතියම්පි පුච්ඡාමි -පෙ- තතියම්පි පුච්ඡාමි ඉත්ථන්නාමස්ස භන්තෙ. භික්ඛුනො බ්‍ර‍හ්මදණ්ඩස්ස දානං රුච්චති සංඝස්ස.”[3]

බ්‍ර‍හ්මදණ්ඩය ලැබූ භික්ෂුව එයින් හික්මී පසු කාලයේ සංඝයාගෙන් ක්ෂමාව ඉල්ලන්නේ නම් බ්‍ර‍හ්මදණ්ඩය සන්සිඳවිය යුතුය. එය කරන්නේ මෙසේය:- ව්‍යක්ත භික්ෂුවක් විසින් මෙසේ සංඝයාහට ඇස්විය යුතුය.

“භන්තෙ, භික්ඛුසංඝො අසුකස්සභික්ඛුනො බ්‍ර‍හ්මදණ්ඩං අදාසි. සො භික්ඛු සොරතො නිවාතවුත්ති ලජ්ජිධම්මං ඔක්කන්තො හිරොත්තප්පෙ පතිට්ඨිතො පටිසංඛා ආයතිං සංවරෙ තිට්ඨති සංඝං භන්තෙ, පුච්ඡාමි තස්ස භික්ඛුනො බ්‍ර‍හ්මදණ්ඩස්ස පටිප්පස්සද්ධිං රුච්චති සංඝස්ස.”[4]

මෙසේ තුන්වරක් අස්වා බ්‍ර‍හ්මදණ්ඩය සන්සිඳවිය යුතුය. ශාසනයෙහි ඇති දඬුවම් අතුරෙන් මේ බ්‍ර‍හ්මදණ්ඩය බරපතළ ම දඬුවමය. ඡන්න භික්ෂුවට දඬුවම් වශයෙන් කරන උක්ඛේපනීය කර්මය කලින් දෙවරක් කර ඇත. ඒවාට ඔහු බිය නො වී ය. ආනන්ද ස්ථවිරයන් වහන්සේ බ්‍ර‍හ්මදණ්ඩය ප්‍ර‍කාශනය කළ කල්හි ඡන්න භික්ෂුව බිය වී මූර්ච්ඡා වී වැටුණේය. බ්‍ර‍හ්මදණ්ඩය ලත් භික්ෂුව හා සෙසු භික්ෂූන්ට කථා කිරීමට පවා අවසරයක් නැත. එබැවින් බ්‍ර‍හ්මදණ්ඩය ලත් භික්ෂුව සම්පූර්ණයෙන් තනි වේ.

  1. මහා පරිනිර්වාණ සූ.

  2. මහා පරිනිර්වාණ සූ.

  3. ස.පා. – 1046 පි.

  4. ස.පා. – 1046 පි.