විලේඛන සික්ඛාපදය

star_outline

“යො පන භික්ඛු පාතිමොක්ඛෙ උද්දිස්සමානෙ එවං වදෙය්‍ය, කිං පනිමෙහි ඛුද්දානුඛුද්දකෙහි සිකක්ඛාපදෙහි උද්දිට්ඨෙහි යාවදෙව කුක්කුච්චාය විහෙසාය විලෙඛාය සංවත්තන්තීති සික්ඛාපදවිවණ්ණනකෙ පාචිත්තියං.”[1]

යම් මහණෙක් ප්‍රාතිමෝක්ෂය උදෙසන කල්හි මෙසේ කියයි ද උදෙසන්නා වූ මේ කුඩා වූ ද වඩා කුඩ වූ ද සිකපදවලින් කවර ප්‍රයෝජනයක් ද? මේවා වඩාත් කුකුස් ඇතිවීම පිණිස සිත වෙහෙසීම පිණිස සිතෙහි ඉරිවැටීම පිණිස පවත්නේය යි සිකපදවල අගුණ කීමෙන් පචිති ඇවැත් වේ.

ප්‍රාතිමෝක්ෂය උදෙසීමය යනු අතවැසියන්ට පාඩම් කරගැනීම සඳහා ගුරුන් විසින් කියවීම, ගෝලයන් විසින් ගුරුන් ලවා පාඩම් කර ගැනීම සඳහා කියවා ගැනීම, පාඩම් ඇති සිකපද නැවත නැවත සජ්ඣායනා කිරීම යන මේ තුනය. ගුරුවරයකුගෙන් කියවා ගැනීම වෙනුවට දැනට ඇත්තේ පොතෙන් පාඩම් කිරීමය. මේ කුඩා කුඩා සිකපද පාඩම් කිරීමෙන් දැරීමෙන් කවර ප්‍රයෝජනයක් ද? මේවා මේ කාලයට වුවමනා නැත, මේවා පාඩම් කිරීමෙන් ඇත්තේ කුකුස් වැඩි වීම පමණෙක, වෙහෙසීම පමණෙක, මේ සිකපද නැතිවීම ම යහපති යනාදීන් උපසම්පන්නයෙක් උපසම්පන්නයකුට කියයි නම් පචිති වේ. හැර අන් දහමක අගුණ කියා නම් දුකුළා ඇවැත් වේ. අනුපසම්පන්නයකුට විනයේ හෝ ධර්මයේ හෝ අගුණ කියා නම් දුක්කටාපත්ති වේ. විනයේ අගුණ කීමේ කැමැත්තෙන් තොරව දැනට සූත්‍ර‍ හෝ ගාථා හෝ අභිධර්මය හෝ ඉගෙනීම කරන්නය, විනය පසුව ඉගෙන ගන්නය යි කීමෙන් ඇවැත් නො වේ.

  1. පාචි - 163 පි.