පිරිත් කීම.

star_outline

පිරිත් කීම වනාහි වෙදකමට තරමක් සමාන දෙයකි. එය ලාභාපේක්ෂාවෙන් කට්ටඩිකමක් සේ කිරීම නුසුදුසුය. එහෙත් එය ජනයාට යහපතක් වන පරිද්දෙන් කළ යුතුය. සුදුසු පරිදි නො කියන පිරිතෙහි ද අනුහසක් බලයක් නැත. පිරිත කිය යුතු ආකාරය ආටානාටිය සූත්‍ර‍ අටුවාවෙහි මෙසේ දැක්වේ.

“අත්ථම්පි පාළිම්පි විසංවාදෙත්වා සබ්බසොවා පන අපගුණං කත්වා භණන්තස්සහි පරිත්තං තෙජවන්තං න හොති.

සබ්බසො පගුණං කත්වා භණන්තස්සෙව තෙජවන්තං හොති. ලාභහෙතු උග්ගහෙත්වා භණන්තස්සා පි අත්ථං න සාධෙති. නිස්සරණපක්ඛෙ ඨත්වා ඉමං පරිත්තං මෙත්තං පුරෙචාරිකං කත්වා භණන්තස්සෙව අත්ථාය හොති.”[1]

තේරුම:

අර්ථයත් පාළියත් වරදවා හොඳින් ප්‍ර‍ගුණ කර නො ගෙන කියන්නහුගේ පිරිත ආනුභාව සම්පන්න නො වේ.

සර්වාකාරයෙන් ප්‍ර‍ගුණ කර කියන්නහුගේ පිරිත ම ආනුභාව ඇත්තේ වේ. ලාභය හේතු කොට උගෙන කියන්නහුගේ පිරිතෙන් ද අර්ථසිද්ධිය නො වේ. නිස්සරණපක්ෂයෙහි සිට මෛත්‍රිය පෙරටු කොට කියන්නහුගේ පිරිත ම අර්ථසිද්ධිය කරන්නේ ය.

පිරිත් කියන ඇතැමුන්ට පිරිත හරියටම පාඩම් නැත. අල්ප අකුර මහාප්‍රාණ කොට මහාප්‍රාණ අකුර අල්ප ප්‍රාණ කොට ද කියති. වචන මැදින් කඩා එක වචනය වචන දෙකක් කොට ද කියති. එක් වචනයට අකුරක් අනික් වචනයකට එකතු කර කියති. “සග්ගෙසු වායං” යනු “සග්ගෙ සුවායං” යි කීම වචනයක අකුරක් අන් වචනයකට එකතු කිරීමය. මහාකාරුණිකො යන්න “මහාකාරුණිකො”යි කීම වචනය දෙකට කඩා කීමය. එසේ කියන පිරිතෙහි අනුසස් නැත. පාඩම් හරියට ඇත ද තේරුමක් නො දැන කියන පිරිතෙහි ද අනුහස නැත. පාඩමත් හරියට ඇතිව තේරුමත් දැන කියන පිරිත වුව ද මෛත්‍රිය පෙරදැරි නො කොට ලාභාපේක්ෂාවෙන් හෝ මිනිසුන්ගේ කරදරයෙන් ගැලවීමේ අදහසින් හෝ කියන්නේ නම් එහි ද අනුහස නැත.

විහාරයේදී හෝ ගෙයකට පැමිණ හෝ පිරිත් කියන්නට ආරාධනා කළ හොත් කීම සුදුසුය. පිරිත් නූල් පිරිත් පැන් පිරිත් තෙල් මිනිසුන් ගෙන ආ කල්හි ඔවුනගේ ම නූල්වලට වතුරවලට තෙල්වලට පිරිත් කර දිය යුතුය. “විහාරෙ උදකං වා අත්තනො සන්තකං සුත්තං වා දෙති දුක්කටං”[2] යි විහාරයේ දිය හෝ තමා අයත් නූල් හෝ දෙයි නම් දුකුළා ඇවැත් ය යි දක්වා ඇත්තේ ය. විහාරයේ වතුරය කියනුයේ භික්ෂූන්ගේ ප්‍ර‍යෝජනය පිණිස භාජනවලට ගෙනැවිත් තබා ඇති වතුරය. විහාරස්ථානයේ ළිං පොකුණුවලින් ගිහියෝ වතුර ගෙනෙත් නම් ඒවා පිරිත් කර දීම සුදුසු ය.

අමනුෂ්‍යෝපද්‍ර‍ව දුරු කිරීමට පිරිත් කීම සුදුසුය. එය කළ යුතු පිළිවෙළ දක්වා ඇත්තේ මෙසේ ය. යමකුට අමනුෂ්‍ය දෝෂයක් ඇත්තේ නම් ඔහුට මෙත්තසුත්ත ධජග්ගසුත්ත රතනසුත්ත යන මේ සූත්‍ර‍ තුන සත්දිනක් කිය යුතුය. සත්දිනක් කිය යුතුය කියනුයේ රෑ දාවල් දෙක්හි නො නවත්වා කීම නොව දවසට වර බැගින් හෝ දෙවර බැගින් හෝ කීම ය. මෙසේ පිරිත් කියන කල්හි සමහර විට දෙතුන් දිනකින් ම අමනුෂ්‍යයා යනු ඇත. සතියක් පිරිත් කීමෙන් ද නො ගිය හොත් ආටානාටිය සූත්‍ර‍ය කිය යුතුය. එය කියන භික්ෂුව එදින මස් නො වැළඳිය යුතුය. පිටි කෑම නො වැළැඳිය යුතු ය. සොහොනෙහි නො විසිය යුතුය. පිරිත කියන තැන පිරිසිදු කරවා අසුනක් පනවවා එහි හිඳගත යුතුය. පිරිත කියන භික්ෂුව ගෙට වැඩමවා ගෙන යන කල්හි ආයුධගත්තවුන් පිරිවර කොට වැඩමවා ගත යුතුය. එළිමහනෙහි පිරිත නො කිය යුතුය. ‍දොර කවුළු වැසූ ගෙයි හිඳ ආවුධ ගතුව්න පිරිවර කොට හිඳ මෛත්‍රිය පෙරටු කොට පිරිත කිය යුතුය. පළමුවෙන් ආතුරයාට සිල් සමාදන් කරවා ශීලයෙහි පිහිටි ආතුරයාට පිරිත කිය යුතුය. එසේ කරන කල්හි සමහර විට භූතයා ආතුරයා හැර යනු ඇත. ඇතැම් භූතයෝ එපමණකින් ද නො යෙති.

එයින් ද භූතයා නො යේ නම් ආතුරයා විහාරයට ගෙන්වා සෑමලුවෙහි හිඳුවා මලසුන්වල මල් ආදිය පූජා කරවා පහන් දල්වවා සෑමලුව හැමද මංගල ගාථා සජ්ඣායනා කළ යුතුය. සියලු භික්ෂූන්ට එහි රැස්වන ලෙස හඬ නැඟිය යුතුය. සමීපයේ වෙසෙන සියලු භික්ෂූන් එහි පමුණුවා ගත යුතුය. ඉක්බිති විහාරයට සමීප තැනක පිහිටි දෙවියකු ඇතැය යි සැලකෙන දෙටු ගසක් වෙත “ඔබගේ පැමිණීම මහා සංඝයා වහන්සේ බලාපොරොත්තු වෙතිය, කියා දෙවියාට දැන්වීමට දූතයකු යැවිය යුතුය. සංඝසන්නිපාතස්ථානයට දෙවියන් පැමිණිය යුතුය. ඉක්බිති අමනුෂ්‍යයා ආවේශ වී සිටින්හුගෙන් නුඹේ නම කුමක් දැ යි විචාළ යුතුය. භූතයා නම කියනු ඇත. ඉන්පසු ආතුරයාගේ නම ගෙන කථා නො කොට භූතයා කී නම ගෙන එනමින් ඔහුට කථා කොට “ඔබ මේ මල්පහන් සුවඳදුම් පිදීමේ පින් අනුමෝදන් වන්න. ඔබට පඬුරු පිණිස මහාසංඝයා වහන්සේ මංගල ගාථා සජ්ඣායනා කළහ. ඔබ මහා සංඝයා කෙරෙහි, ගෞරවයෙන් මේ ආතුරයා අතහැර යන්නය”යි කිය යුතුය. සංඝයා එසේ කී කල්හි භූතයා යා යුතුය. එයින් ද භූතයා ආතුරයා හැර නො යේ නම් දෙවියන් අමතා මේ අමනුෂ්‍යයා අපගේ කීමට අනුකූල නො වන්නේය. එබැවින් අපි බුද්ධාඥාව කරන්නෙමුය යි හඬ නගා කියා ආටානාටිය සූත්‍ර‍ය සජ්ඣායනා කළ යුතුය. මේ විනය අටුවාවෙහි හා දීඝනිකායට්ඨකථාවෙහි[3] දක්වන ලද පිරිත් කීමේ වතය.

ආටානාටිය ආරක්ෂාවටය කියා වෙසවුණු මහ රජතුමා දුන්නේ ‘විපස්සිස්ස නමත්ථු’ යනාදී ගාථාවේ පටන් “තස්මා එවං වදෙමසෙ ජිනං වන්දථ ගොතමං ජිනං වන්දාම ගොතමං විජ්ජාචරණසම්පන්නං බුද්ධං වන්දාම ගොතමං” යන්න දක්වා ඇති පාළියය. ‘එවං මෙ සුතං’ යනාදිය හා ‘අය ඛො මාරිස ආටානාටියා රක්ඛා’ යනාදිය ආරක්ෂා පිණිස සජ්ඣායනා කළ යුතුය. එය පිරිතට අයත් නො වේ.

  1. දී. ට්ඨ - 706 පි.

  2. ස.පා. – 337 පි.

  3. දී.ට්ඨ - 707 පි.