සංවිධාන ශික්ෂාපදය.

“යො පන භික්ඛු මාතුගාමෙන සද්ධිං සංවිධාය එකද්ධානමග්ගං පටිපජ්ජෙය්‍ය අන්තමසො ගාමන්තරම්පි පාචිත්තියං.”[1]

යම් මහණෙක් මාගමක හා කථා කර ගෙන එක් මඟක යන්නේ වේ නම් යටත් පිරිසෙයින් අන් ගමකට වුව ද යන්නේ නම් පචිති වේ.

යම් මහණෙක් අසවල් උත්සවය බලන්නට යමුය, අසවල් විහාරය අසවල් චෛත්‍යය වඳින්නට යමුය, වට වන්දනාවේ යමුය, දඹදිව යමුය යනාදීන් මාගමක හා කථා කරගෙන යන්නේ නම් ඇතුළු වන ගමක් පාසා ම ඒ මහණහුට පචිති වේ. මාර්ගයෙහි ගම් නැත්තේ නම් අඩ යොදුනෙන් අඩ යොදුනට පචිති ඇවැත් වේ. යාමට කථා කිරීමේදී දුකුළා ඇවැත් වේ. කථා කර ගත් ආකාරය වැරදී ගිය හොත් ඇවැත් නො වේ. යුද්ධාදියෙන් රට අවුල් වී මහජනයා පලායන කල්හි ද භික්ෂුවගේ සංවිධානයක් නැතිව මාගමගේ ම සංවිධානයෙන් ද යාමෙන් ඇවැත් නො වේ.

  1. පාචි - 150 පි.