භෛෂජ්‍ය ශික්ෂාපදය.

“යානි ඛො පන තානි ගිලානානං භික්ඛූනං පටිසායනීයානි භෙසජ්ජානි, ස්‍යෙථිදං? සප්පි නවනීතං තෙලං මධු ඵාණිතං. තානි පටිග්ගහෙත්වා සත්තාහපරමං සන්නිධිකාරකං පරිභුඤ්ජිතබ්බං, තං අතික්කාමයතො නිස්සග්ගියං පාචිත්තියං.”[1]

ගිලන් භික්ෂූන් විසින් වැළඳිය යුතු බෙහෙත් වූ ගිතෙල් වෙඬරු තෙල් මීපැණි උක්සකුරු යන මේවා පිළිගෙන සතියක් තබා ගෙන වැළඳිය යුතුය. සතිය ඉක්මවන භික්ෂුවට නිසගි පචිති වේ.

ගිතෙල් වෙඬරු තලතෙල් ආදි තෙල්, මීපැණි, උක්සකුරු යන මේවා උසස් ආහාරයෝ ය. ඒවා ලෝකයෙහි බෙහෙත් වශයෙන් ද පරිභෝග කරති. ඒවාට බෙහෙත්ය යි ද කියති. භාග්‍යවතුන් වහන්සේ විසින් ද ඒවා බෙහෙත් වශයෙන් පරිභෝග කිරීමට භික්ෂූන්ට අනුදැන වදාරා ඇත්තේ ය. විනයෙහි ඒ ගිතෙල් ආදි පස්වර්ගයට “පඤ්චභේසජ්ජ” යන නාමය ව්‍යවහාර කරනු ලැබේ.

ඒ බෙහෙත් පරිභෝග කරනු කැමති භික්ෂුව විසින් එක් වරකදී සතියකට සෑහෙන පමණට පිළිගත යුතුය. පිළිගත් දේ සත්වන දිනයේ අවසන් කළ යුතු ය. ඉතිරිව ඇති නම් අනිකකුට හෝ දිය යුතුය. ඇඟ ගැල්වීම් ආදි ප්‍රයෝජනයකට ගනිමියි අධිෂ්ඨාන හෝ කළ යුතුය. නැතහොත් ඉවත ලිය යුතුය. පිළිගෙන තමා අයත්ව ඒවා අටවන දිනයේ අරුණ නැඟෙන තුරු තුබුණ හොත් ඒ භික්ෂුවට නිසගි පචිති වේ. ඒ භික්ෂුව විසින් -

“ඉදං මේ ආවුසො භෙසජ්ජං සත්තාහාතික්කන්තං නිස්සග්ගියං, ඉමාහං ආයස්මතො නිස්සජාමි”[2] යි නිස්සජ්ජනය කොට ඇවත දෙසිය යුතුය. නිසගි වී නිස්සජනය කොට ලද චීවරාදිය ඒ භික්ෂූන්ට නැවත අධිෂ්ඨානාදිය කොට පරිභෝග කළ හැකිය. නිසගි වූ බෙහෙත් නිස්සජනයෙන් පසු ලද ද ඒවා ඒ භික්ෂුව විසින් පරිභෝග කිරීමට නුසුදුසු ය.

“නිස්සට්ඨං පටිලභිත්වා, න කායිකෙන පරිභොගෙන පරිභුඤ්ජිතබ්බං. න අජ්ඣොහරිතබ්බං. දීපෙ වා කාළවණ්ණෙ වා උපනෙතබ්බං. අඤ්ඤෙන භික්ඛුනා කායිකෙන පරිභොගෙන පරිභුඤ්ජිතබ්බං. න අජ්ඣොහරිතබ්බං.”[3]

නිස්සජනය කරන ලද්ද ලැබ හිස ගැල්වීම් ආදි වශයෙන් කායික පරිභෝගයෙන් පරිභෝග නො කළ යුතු ය. නො වැළඳිය යුතු ය. පහන් දැල්වීම් පිණිස හෝ කළු කිරීම පිණිස හෝ යෙදිය යුතු ය. අන්‍ය භික්ෂුවක් විසින් කායික පරිභෝගයෙන් පරිභෝග කළ යුතු ය. නො වැළඳිය යුතු ය.

අනිකකු විසින් නො පිළිගන්වන ලදුව තමා විසින් ම ගත් තෙල් ආදිය වැළඳීමට නුසුදුසු ය. ඇඟ ගැල්වීමට සුදුසු ය. කොතෙක් කල් තබා ගත ද නිසගි නො වේ. වැළඳුව හොත් පචිති ඇවැත් වේ. පසුව පිළිගන්නා ගෙන වැළඳුව හොත් දුකුළා ඇවැත් වේ.

පිළිගෙන රාත්‍රියක් ගත වූ සත්තාහකාලික යාවජීවික වස්තූන් යාවකාලික වස්තූන් හා මිශ්‍ර‍ කර වැළඳීම නුසුදුසු ය. අද කාලයේ පිළිගත් තෙල් ගිතෙල් ආදිය යාවකාලිකයන් හා එදින ම මිශ්‍ර‍ කර වැළඳීමට සුදුසු ය. එදින කාලයෙන් පසුව ඒවා ආහාරයන්ට මිශ්‍ර‍ කර නො වැළඳිය යුතුය. විකාලයෙහි පිළිගත් සත්තාහ කාලිකයට ආහාරයන් හා මිශ්‍ර‍ කර වැළඳීමට කාලයක් නැත. මීඇට එරඬුඇට ආදි යාවජීවික ඇටවර්ගවලින් ගන්නා තෙල ද සත්තාහකාලික ය. අද පිළිගත් ඇටවලින් අද ම ගත් තෙල සත් දිනක් කැප ය. පිළිගත් ඇටවලින් දෙවන දින ගත් තෙල සදිනක් කැප ය. තුන්වන දින ගත් තෙල පස් දිනක් කැපය. සතරවන දිනයේ ගත් තෙල සිවුදිනක් කැපය. පස් වන දින ගත් තෙල තෙදිනක් කැපය. සවන දින ගත් තෙල දෙදිනක් කැප ය. සත්වන දින ගත් තෙල එදින පමණක් කැප ය. පසු දින අරුණ නැඟීමෙන් පසු ඒවා නිසගි වේ. අටවන දිනයේ ගත් තෙල ඇඟ ගැල්වීම ආදිය පිණිස කැප ය. වැළඳීමට අකැප ය. පිළිගෙන සත්දින ඉක්මුණු තෙල් එක භාජනයක ඇත්තේ නම් එක් ඇවතක් වේ. භාජන බොහෝ ගණනක ඇත්තේ නම් භාජන ගණනින් ඇවැත් වේ. අන්‍ය නිස්සග්ගිය වස්තූන්ගෙන් ඇවැත් වන්නේ ද එසේ ම ය.

  1. පාරා - 293 පි.

  2. පාරා - 293 පි.

  3. පාරා - 294 පි.