වර්තමාන භවයේදී නොවරදවා ම මඟපල ලැබෙන පරිද්දෙන් අනිකකුට අනුශාසනය කළ හැකි වීමට නම් අනුශාසකයා හට ඉමහත් නුවණක් තිබිය යුතු ය. අනුශාසනය ලබන්නහුට ඒ ජාතියේදී ම මඟපල ලැබීමට නිසි පෙර පින් ඇති - නැති බව දත හැකි නුවණ තිබිය යුතු ය. අනුශාසනය ලබන්නා ත්‍රිහේතුක පුද්ගලයෙක් ද නැතිදැ යි දත හැකි නුවණ තිබිය යුතු ය. අනුශාසනය කරනු ලබන්නාගේ නුවණ මඟපල ලැබීමට සුදුසු වන තරමට දියුණු වී ඇත ද නැතදැ යි දත හැකි නුවණ තිබිය යුතු ය. අනුශාසනය ලබන්නහුට මඟපල ලැබීමට බාධක කර්මක්ලේශයන් ඇති නැති බව දත හැකි නුවණ තිබිය යුතු ය. අනුශාසනය කරනු ලබන්නාගේ චරිතය දත හැකි නුවණ තිබිය යුතු ය. ඒ ඒ පුද්ගලයාට සුදුසු කමටහන් තෝරා ගත හැකි නුවණ තිබිය යුතු ය. සුදුසු ස්ථානය තෝරාගත හැකි නුවණ තිබිය යුතු ය. මේ අංගවලින් සම්පූර්ණ එකම අනුශාසකයා තථාගතයන් වහන්සේ ය.
අනුශාසනය කරනු ලබන්නහුගේ පෙර පින් ඇති නැති බව යනාදී කරුණු සර්වාකාරයෙන් දැන ගැනීමට නො සමත් බැවින් රහත්හු ද නොවරදින ලෙස අනුශාසනා කිරීමට සමත් නො වෙති. නොයෙක් විට රහතුන්ටද වරදින්නේ ය. රහත්වීමට පමණක් නොව ශ්‍රාවකයන් අතරින් දෙකරුණකින් අගතැන් ලැබීමට ද නිසි පින් තිබුණු චූලපන්ථක භික්ෂුව අභව්‍ය පුද්ගලයකු වන්නට ඇතැයි සිතා ඔබට මේ සසුනෙන් ගත හැකි වැඩක් නැත, සිවුරු හැර ගෙදරට ම යන්නට කියා එක් රහතන් වහන්සේ නමක් විසින් නෙරපා හරින ලද්දේ රහතුන් ද පුද්ගලයන්ගේ තතු හරියට ම දැන ගැනීමට සමත් නො වන නිසා ය. පුද්ගලයන්ගේ තතු දැනීමට සමත් නුවණ ඇති භාග්‍යවතුන් වහන්සේට, සසුනෙන් නෙරපනු ලැබූ චූලපන්ථක එක් වරුවකින්ම අර්හත්වයට පමුණුවා සෘද්ධිමත් පුද්ගලයකු කළ හැකි විය. එබැවින් තථාගතයන් වහන්සේ ම ලෝකයෙහි නියම ශාස්තෲවරයා වන සේක. චූලපන්ථක තෙරුන් වහන්සේගේ කථාව මෙහි අන් තැනක දක්වා ඇත්තේ ය.