තථාගතයන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණෙන පුද්ගලයන්ගේ සිත් බලා අදහස් බලා චරිත බලා ඒ ඒ පුද්ගලයන්ට සුදුසු පරිදි අනේකාකාරයෙන් අනුශාසනා කරන සේක. මෙලොව යහපත පිණිස අනුශාසනය කිරීමට සුදුස්සන්ට මෙලොව යහපත පිණිස අනුශාසනය කරන්නාහ. පරලොව යහපත පිණිස අනුශාසනය කිරීමට සුදුසු පුද්ගලයන්ට පරලොව යහපත පිණිස අනුශාසනය කරන්නාහ. දෙලොව ම වැඩ පිණිස අනුශාසනය කිරීමට සුදුස්සන්ට දෙලොවට ම වැඩ පිණිස අනුශාසනය කරන්නාහ. මඟපල ලබා නිවන් ලැබීමේ භාග්‍යය ඇතියවුන්ට ඒ පිණිස අනුශාසනය කරන්නාහ. මඟපල ලැබීමට සුදුසු පුද්ගලයන්ට එය සඳහා තථාගතයන් වහන්සේ ආනුපුබ්බිකථාවෙන් අනුශාසනා කරන සේක. එය තථාගතයන් වහන්සේගේ එක් ධර්මදේශනා ක්‍රමයෙකි. තමන් වෙත පැමිණි පුද්ගලයන්ට, දානය සත්ත්වයන්ට උතුම් පිහිටෙක, සකල සම්පත් ලැබීමට හේතුවක, ස්වර්ගයට යාමට හිණෙක, දානය දුකින් පෙළෙන සත්ත්වයන්ට පරම ප්‍රතිෂ්ඨාවෙක යනාදීන් දානකථාවෙන් පළමු කොට අනුශාසනය කරන සේක. අනතුරුව, මේ ශීලය සැප ලැබීමේ පරම හේතුවක, ශීලයෙන් සත්ත්වයෝ ස්වර්ගයට යන්නාහ, ශීලය සසර සැරිසරන සත්ත්වයනට ආරක්ෂාවෙක යනාදීන් ශීලකථාවෙන් අනුශාසනය කරන සේක. අනතුරුව දානයෙන් ශීලයෙන් පැමිණිය හැකි ස්වර්ගය මේ මේ සම්පත්වලින් යුක්තය”යි ස්වර්ගකථාවෙන් අනුශාසනය කරන්නා හ. දිව්‍යසම්පත්තිය ගැන ඇසූ පුද්ගලයාගේ සිත එයට ඇදී යයි. තමා ලබා ඇති තමා උසස් කොට සලකා ගෙන සිටින මනුෂ්‍යසම්පත්තිය පිළිබඳ වූ ඔහුගේ තණ්හාව තුනී වෙයි. ඉක්බිති තථාගතයන් වහන්සේ දිව්‍යසම්පත්තියේ ද අස්ථිරතාව දක්වා කාමයන් නිසා සත්ත්වයනට බොහෝ දුක් ඇතිවීම ආදි කාමයන්ගේ දොස් ද, කාමයන්ගේ ලාමක බවද, කාමයන් නිසා සත්ත්වයන් කිලිටි වන බව ද, සසර දික් වන බව ද, කාමයන් හී ඇලී ඉන්නා සත්ත්වයන්හට නැවත නැවත ජාති ජරා ව්‍යාධි මරණාදි දුක් ලැබෙන බව ද දක්වා අනුශාසනය කරන්නාහ. ඒ අනුශාසනය ඇසීමෙන් කාමයන් කෙරෙහි කලකිරී කාම තණ්හාව තුනී වී සිත බොහෝ දුරට පිරිසිදු වී ඇති පුද්ගලයන්ට තථාගතයන් වහන්සේ නෛෂ්කාම්‍යයේ (කාමයන්ගෙන් බැහැර වීමේ කාමයන් අතහැරිමේ) අනුසස් දක්වමින් අනුශාසනා කරන්නාහ. එය අසන්නහුගේ සිත බොහෝ දුරට කෙලෙසුන්ගෙන් පිරිසිදුව නෛෂ්කාම්‍යයට නැමෙන්නේ ය. එසේ පිළිවෙලින් කරන අනුශාසනය අසන්නහුගේ සිත ක්‍රමයෙන් පිරිසිදු වී චතුස්සත්‍ය ධර්මය අවබෝධ කර ගත හැකි තත්වයට සකස් වූ බව පෙනුණු කල්හි තථාගතයන් වහන්සේ ඔහුට දුඃඛ-සමුදය-නිරෝධ-මාර්ගසංඛ්‍යාත චතුස්සත්‍යයන් දක්වමින් අනුශාසනය කරන සේක. එය ඇසීමෙන් ඇතැම්හු එතැනදී ම මාර්ගඵලවලට පැමිණ නිවන් දක්නාහ. ඇතැම්හු “තථාගතයන් වහන්සේ විසින් වදාළ ශ්‍රේෂ්ඨ චර්‍ය්‍යාව ගිහිව සිට සම්පූර්ණ කිරීම දුෂ්කර ය”යි සලකා උන් වහන්සේ වෙතින් පැවිද්ද හා උපසම්පදාව ලබා මහණදම් පුරා සව්කෙලෙසුන් නසා රහත් ව දුක් කෙළවර කරන්නාහ.
තථාගතයන් වහන්සේගේ අනුශාසනය අසා පැවිදි බවට පත්වූවකුට ඒ අනුශාසනය අනුව පිළිපැදීමෙන් කෙටි කලකින් අර්හත් ඵල සංඛ්‍යාත බ්‍රහ්මචර්‍ය්‍යාවසානයට පැමිණ සියලු දුක් කෙළවර කර පරමසන්තුෂ්ටියට පැමිණිය හැකි බව-
“අහං ඛො නිග්‍රොධ එවං වදාමි, එතු විඤ්ඤූ පුරිසො අසඨො අමායාවී උජුජාතිකො, අහමනුසාසාමි, අහං ධම්මං දෙසෙමි, යථානුසිට්ඨං තථා පටිපජ්ජමානො යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සති සත්තවස්සානි තිට්ඨතු නිග්‍රොධ සත්තවස්සානි, එතු විඤ්ඤූ පුරිසො අසඨො අමායාවී උජුජාතිකො, අහමනුසාසාමි, අහං ධම්මං දෙසෙමි, යථානුසිට්ඨං තථා පටිපජ්ජමානො යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්‍රහ්මචරියපරියොසානං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සති, ඡ වස්සානි, පඤ්ච වස්සානි, චත්තාරි වස්සානි, තීණි වස්සානි, ද්වෙ වස්සානි, එකං වස්සං, තිට්ඨතු නිග්‍රොධ එකං වස්සං, එතු විඤ්ඤූ පුරිසො අසඨො අමායාවී උජුජාතිකො, අහමනුසාසාමි, අහං ධම්මං දෙසෙමි, යථානුසිට්ඨං තථා පටිපජ්ජමානො යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරස්සති, සත්ත මාසානි, තිට්ඨතු නිග්‍රොධ සත්ත මාසානි, ඡ මාසානි, පඤ්ච මාසානි, චත්තාරි මාසානි, තීණි මාසානි, ද්වෙ මාසානි, එකං මාසං, අද්ධ මාසං, තිට්ඨතු නිග්‍රොධ අද්ධමාසො, එතු විඤ්ඤූ පුරිසො අසඨො අමායාවී උජුජාතිකො. අහමනුසාසාමි, අහං ධම්මං දෙසෙමි, යථානුසිට්ඨං තථා පටිපජ්ජමානො යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්‍රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සති සත්තාහං,”
(දී.නි. උදුම්බරික සුත්ත)
යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් තමන් වහන්සේගේ අනුශාසනය පරිදි පිළිපදින්නවුන්ට සතියේ පටන් හත්වස දක්වා ඇති කාලවලින් අර්හත්වයට පැමිණ ශ්‍රමණකෘත්‍යය අවසන් කළ හැකි බව වදාරා ඇත්තේ ය. තථාගතානුශාසනය පරිදි පිළිපදින්නවුන්ට අර්හත්වයට පැමිණීමේ කාලය අඩු වැඩි වන්නේ ඔවුන්ගේ පෙර පින, නුවණ, වීර්‍ය්‍යය යන මේවා අනුව ය. පෙර පින් වැඩි නුවණ වැඩි වීර්‍ය්‍යය වැඩි තැනැත්තාට ඉක්මනින් රහත් විය හැකිය, ඒවා අඩු අඩු තරමට කාලය දික්වේ.
මඟපල ලබා දුක් කෙළවර කර ගැනීමට අනුශාසනය කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ තීර්ථකයන්ගේ ධර්මය ද ඔවුන් දන්නවාට වඩා හොඳින් දන්නා සේක. බ්‍රාහ්මණයන්ගේ ධර්මය ද බ්‍රාහ්මණයන් දන්නවාට වඩා හොඳින් දන්නා සේක. උන් වහන්සේ තමන් වහන්සේගේ ධර්මයෙන් කරන අනුශාසනයෙන් ප්‍රයෝජනය ලැබීමට නො නිසි ඒ ධර්මය අවබෝධ කිරීමට තරම් නුවණ නැති තීර්ථකයන්ට ඔවුන්ගේ ධර්මයෙන් ද අනුශාසනා කරන්නාහ. ඔවුන්ගේ ධර්මය නිරවුල් කර පිරිසිදු කර දෙන්නාහ. චතුස්සත්‍ය ධර්මය තේරුම් ගැනීමට තරමට මුහුකුරා ගිය නුවණ නැති බමුණන්ට ද සමහර විට ඔවුන්ගේ ධර්මයෙන් හෝ ප්‍රයෝජනයක් ලබත්වා යි බ්‍රාහ්මණ ධර්මයෙන් ම ද අනුශාසනා කරන්නාහ.