චරණය උසස් බුද්ධගුණයක් වුව ද ලොවුතුරා බුදු වරුන්ගේ චරණ මේය යි දක්වා ඇති සූත්‍රයක් දක්නට නැත. බොහෝ සූත්‍රවල ශ්‍රාවකයන්ගේ වශයෙන් චරණධර්ම දේශනය කර තිබෙනු දක්නා ලැබේ. එහෙත් ඒ ධර්ම චරණ යන නාමයෙන් දක්නා ලැබෙන්නේ මජ්ඣිමනිකායේ මජ්ඣිමපණ්ණාසකයේ සේඛසූත්‍රයෙහි හා දීඝනිකායේ අම්බට්ඨසූත්‍රයෙහිත් ය. සේඛසූත්‍රයෙහි චරණ නාමයෙන් ධර්ම පසළොසක් දක්වා තිබේ. අම්බට්ඨසූත්‍රයෙහි චරණ නාමයෙන් ධර්ම නමයක් දක්වා තිබේ.
ශාක්‍ය රට කපිලවස්තු පුරයේ ශාක්‍යයෝ රැස්වීම් ශාලාවක් කරවා එය පළමුවෙන් ම බුදුරජාණන් වහන්සේ ලවා පරිභෝග කරවන රිසියෙන් එහි වැඩම කොට එය පරිභෝග කරන ලෙස බුදුරදුන්ට ආරාධනා කළෝ ය. තථාගතයන් වහන්සේ ඔවුන්ගේ ආරාධනාව පිළිගෙන මැනවින් සරසා තුබූ ඒ ශාලාවට භික්ෂුසංඝයා සමඟ වැඩම කොට එහි මැද කණුව සමීපයේ නැගෙනහිර දෙසට මුහුණ ලා වැඩහුන් සේක. භික්ෂුසංඝයා වහන්සේ ද පා සෝදා ශාලාවට ඇතුළුව පසු පස භිත්තිය අයින දිගට නැගෙනහිරට මුහුණ ලා තථාගතයන් වහන්සේ පෙරටුකොට වැඩහුන්හ. කපිලවස්තුපුරයේ ශාක්‍යයෝ ශාලාවට පිවිස නැගෙනහිර බිත්තියට පිට ලා භාග්‍යවතුන් වහන්සේ පෙරටු කොට හුන්හ. භාග්‍යවතුන් වහන්සේ බොහෝ රෑ වන තෙක් ඔවුනට දහම් දෙසා සතුටු කරවා ආනන්ද ස්ථවිරයන් වහන්සේ අමතා “ආනන්දය මාගේ පිට රිදෙන්නේය, මම මඳක් විවේක ගන්නෙමි, එතෙක් මේ ශාක්‍යයනට සේඛපටිපදාව දේශනා කරන්නය”යි වදාරා උන්වහන්සේ පනවන ලද ශයනය මත මඳක් ශයනය කළ සේක.
පෘථග්ජන ද නො වූ අර්හත්ඵලයට ද පැමිණ නැති ඒ අතර සිටින පුද්ගලයෝ සේඛ නම් වෙති. ඔවුන් විසින් මතු මතු මාර්ගඵලවලට පැමිණීම සඳහා පිරිය යුතු ප්‍රතිපත්තික්‍රමය සේඛපටිපදා නමි. තථාගතයන් වහන්සේ ඒ මංගල දිනයේ සේඛපටිපදාව දේශනය කරන්නට නියම කළේ මේ බුදු සසුනෙහි එය මංගල ධර්මයක් නිසාත්, ඒ පිරිසෙහි ශෛක්ෂයන් සිටි නිසාත් ය. ආනන්දස්ථවිරයන් වහන්සේ ඒ පිරිසෙහි ප්‍රමුඛයා වන මහානාම ශාක්‍යයා අමතා චරණධර්ම පසළොසත් ත්‍රිවිද්‍යාවත් දේශනය කළහ. දේශනයෙන් පසු තථාගතයන් වහන්සෙ නැගිට “සාධු සාධු ආනන්ද, සාධු ඛො ත්වං ආනන්ද කාපිලවත්ථවානං සාක්‍යානං සෙඛපටිපදං අභාසි” යනු වදාරා ආනන්දස්ථවිරයන් වහන්සේට සාධුකාර දී දේශනය අනුමත කළ සේක. එයින් ආනන්දස්ථවිරයන් වහන්සේගේ දේශනය බුද්ධභාෂිතයට සමාන විය. බුද්ධභාෂිතයට ඇතුළු විය.
“යම්පි මහානාම අරියසාවකො සීලසම්පන්නො හොති, ඉදම්පිස්ස හොති චරණස්මිං, යම්පි මහානාම අරියසාවකො ඉන්ද්‍රියයෙසු ගුත්තද්වාරො හොති ඉදම්පිස්ස හොති චරණස්මිං, යම්පි මහානාම අරියසාවකො ජාගරියං අනුයුත්තො හොති ඉදම්පිස්ස හොති චරණස්මිං, යම්පි මහානාම අරියසාවකො සත්තහි සද්ධම්මෙහි සමන්නාගතො හොති ඉදම්පිස්ස හොති චරණස්මිං, යම්පි මහානාම අරියසාවකො චතුන්නං ඣානානං අභිචෙතසිකානං දිට්ඨධම්මසුඛවිහාරනං නිකාමලාභි හොති අකිච්ඡලාභී අකසිරලාභී ඉදම්පිස්ස හොති චරණස්මිං”
(සෙඛසුත්ත ම.නි.)
මේ පාඨයෙන් චරණ නාමයෙන් ධර්ම පසළොසක් දක්වා තිබේ. ඒ ධර්මයෝ නම්:
- ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය,
- ඉන්ද්‍රිය සංවරය,
- භෝජනයෙහි මාත්‍රඥතාව,
- ජාගරියානුයෝගය,
- ශ්‍රද්ධාව,
- හිරිය,
- ඔත්තප්පය,
- බහුශ්‍රැතභාවය,
- වීර්‍ය්‍ය,
- ස්මෘතිය,
- ප්‍රඥාව,
- ප්‍රථමධ්‍යානය,
- ද්විතීයධ්‍යානය,
- තෘතීයධ්‍යානය,
- චතූර්ධ්‍යානය,
යන මොහුය.
මේ චරණ ධර්ම පසළොස දේශනය කර තිබෙන්නේ වර්තමාන භවයේදී ම හෝ නොහැකි වුව හොත් දෙවන තුන්වන භවයකදී හෝ මගඵල ලබා නිවන් දක්නා බලාපොරොත්තුවෙන් වීර්ය කරන කල්‍යාණ පාථග්ජන පැවිද්දන්ගේ හා ශෛක්ෂපුද්ගලයන්ගේ වශයෙනි. මේ දේශනය කරන ලද්දේ ගිහි පිරිසකටය. ඒ අනුව මේ ප්‍රතිපත්ති ක්‍රමය ගිහියන්ට ද සාධාරණ බව කිය යුතුය. ගිහියන් විසින් මේ ප්‍රතිපත්ති ගිහි ජීවිතයට සුදුසු සේ පැවැත්විය හැකිය. තථාගතයන් වහන්සේ බුද්ධත්වයට පැමිණියේ ද මේ ප්‍රතිපත්තිමාර්ගයෙන් ම ය. උන්වහන්සේ කෙරෙහි මේ ධර්ම උසස් ලෙස ඇත්තේය. එබැවින් භාග්‍යවතුන් වහන්සේ චරණ සම්පන්න වන සේක.
චරණධර්මයන්ගෙන් පළමුවැන්න ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය ය. ලොවුතුරා බුදුවරුන්ගේ ශීලය වශයෙන් කිය යුත්තේ බ්‍රහ්මජාල සූත්‍රයෙහි චූලසීල - මජ්ඣිමසීල - මහාසීල යන නම් වලින් දක්වා ඇති ශීලය ය. තථාගතයන් වහන්සේගේ ඒ ශීලය කිලිටි වන්නේ හෝ බිඳෙන්නේ හෝ නොවේ. උන්වහන්සේ හැම කල්හි සුපරිශුද්ධ ශීලයෙන් යුක්ත වන සේක. ඒ ශීල තුනම ශ්‍රාමාණ්‍යඵල සූත්‍රාදියෙහි ශ්‍රාවකයන්ගේ ශීලය වශයෙන් ද වදාරා තිබේ. විනය සිකපද පනවන්නට කලින් ශ්‍රාවකයන්ට තිබූ ශීලය එය ය. විනය සිකපද පැනවීමෙන් ඒ ශීලය වඩාත් පුළුල් කර තිබේ. ඇතැම් තැන් විනයෙහිදී ලිහිල් ව ඇති බව ද කිය යුතුය. විනය ක්‍රමයෙන් කියත හොත් සප්තාපත්තිස්කන්ධයන් නො ඉක්වීම ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය යි කිය යුතුය. ශීලය සම්පූර්ණ කරන තැනැත්තා විසින් ආචාරගෝචර සම්පන්න ද විය යුතුය. ගෘහස්ථ ශ්‍රාවකයන් විසින් ආජීවාෂ්ටමකශීල පඤ්චශීල අෂ්ටාංගශීල දශශීලයන්හි පිහිටීමෙන් චරණ සම්පත්තිය ඇති කර ගත යුතුය.
ඉන්ද්‍රීයසංවරය දෙවන චරණය ය. චක්ඛුන්ද්‍රිය- සෝතින්ද්‍රිය - ඝාණින්ද්‍රිය - ජිව්හින්ද්‍රිය- කායින්ද්‍රිය - මනින්ද්‍රිය කියා ඉන්ද්‍රිය සයක් ඇත්තේය. ඒවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්ප්‍රෂ්ටව්‍ය ධර්ම යන අරමුණු චිත්තසන්තානයට ඇතුළු වන ද්වාරයෝ ය. සත්ත්වයන් විසින් පිටත ඇති රූපාදි ආරම්මණයක් සිතට ගන්නා ද්වාරයෝය. ඇස ඇති නම්, රූප ඇති නම්, ඇසට රූපයන් පැමිණීම, චක්ෂුරියන්ද්‍රිය නමැති දොරටුවෙන් චිත්තසන්තානයට රූපයක් ඇතුළු වීම නො වැළැක්විය හැකි කරුණකි. ශ්‍රෝතාදි ඉන්ද්‍රියයන් ගැනද එසේම කිය යුතු ය. සම්මා සතිය යි කියන යහපත් සිහියෙන් තොර ව වාසය කරන්නාගේ සිතට ඇස නමැති දොරටුවෙන් රූපයන් පිවිසි කල්හි ඒ රූපය හොඳ එකක් වී නම් මේ දෙය, මේ පුද්ගලයා ලස්සන ය, හොඳ ය කියා තණ්හාව ඇති වේ. රාගය ඇති වේ. සිතට පිවිසි රූපය නොමනා නම් මේ දෙය මේ පුද්ගලයා කැතය නරක කියා ඒ රූපය ගැන ද්වේශය ඇති වේ. දුටු රූපය ලස්සනය හොඳය කියා තණ්හාව ඇති වූ තැනැත්තාට ඒ තණ්හාව නිසා අකුසල චිත්ත පරම්පරාවක් ඇති වේ. සමහර විට අකුසල ක්‍රියා පරම්පරාවක් ද ඇති වේ. දුටු දෙය දුටු පුද්ගලයා, කැතය, නරකය කියා ද්වේශය ඇති වූ තැනැත්තාට ද ඒ ද්වේශය නිසා අකුසල චිත්ත පරම්පරාවක් ඇති වේ. සමහර විට අකුසල ක්‍රියා පරම්පරාවක් ඇති වේ. ශ්‍රෝත්‍රාදි ද්වාර ගැනද එසේ ම කිය යුතුය. පුද්ගලයා සිහියෙන් යුක්ත වුවහොත් සිතට පිවිසෙන අරමුණ සම්බන්ධයෙන් අකුසල චිත්ත පරම්පරාවක් ඇති නොවේ. ෂට්ද්වාරයෙන් ගැනෙන අරමුණු සම්බන්ධයෙන් අභිද්‍යාව්‍යාපාදාදි අකුශලයන් ඇති නොවන සැටියට පරෙස්සම් වීම ඉන්ද්‍රියසංවරය ය. අකුශලයන් ඇති නො වන ලෙස ඉන්ද්‍රියයන් වසන පියන, සිහිය ය. ඉන්ද්‍රිය සංවරය නැතියවුන්ට නිතර ම අකුශලධර්ම ඇති වන බැවින් පෘථග්ජන භාවයෙන් නො නැඟිය හැකි ය. නිවනට ළං විය නො හැකි ය. තථාගතයන් වහන්සේට උසස් සිහියක් ඇත්තේ ය. උන්වහන්සේ සෑම කල්හි සිහියෙන් යුක්ත වන්නාහ. එහෙයින් -
“තථාගතස්ස බුද්ධස්ස - සබ්බභූතානුකම්පිනො,
තස්සච්චයා න විජ්ජන්ති - තස්ස නත්ථි අපාගතං,
සො න සම්මොහමාපාදි - සොධ ධීරො සදා සතො”
(සංයුත්ත නිකාය 13)
යනු වදාරන ලදී. “සකල සත්ත්වයනට අනුකම්පා කරන්නා වූ ඒ තථාගතයන් වහන්සේගේ ධර්මය ඉක්මවා හැසිරීමක් නැත, අපරාධයක් නැත, ඒ භාග්‍යවතුන් වහන්සේ මුළා නොවන්නාහ. සෑම කල්හි සිහියෙන් යුක්ත වන්නාහ” යනු එහි තේරුම ය.
භෝජනයෙහි මාත්‍රඥතාව යනු නුවණින් කරුණු සළකා ආහාර ගැනීම හා පමණ නො ඉක්මවා ආහාර ගැනීම ය. ගම්දරුවෝ සාගින්න නැත ද ආහාරයක් ලද හොත් විනෝදය පිණිස වළඳති. ඇතැම්හු ඤාතිමිත්‍රයන් හමු වූ විට ඔවුන් හා එක්ව විනෝදය පිණිස ආහාර ගනිති. මඟපල ලැබීමට පිළිවෙත් පුරන නිවන් සොයන සත්පුරුෂයා විසින් විනෝදය පිණිස ආහාර ගැනීම නො කළ යුතුය. ඇතැම්හු මල්ලවාදීන් මෙන් කායබලය වැඩි කරගනු පිණිස ආහාර වළඳති. එසේ කාය බල වඩනු පිණිස මද වඩනු පිණිස ආහාර නොවැළඳිය යුතුය. ඇතැම්හු ශරීරයේ අංගප්‍රත්‍යංගයන් තර කර ගැනීම සඳහා, ලේ මස් වැඩි කර ගැනීම සඳහා සුදුසු ආහාර සොයා වළඳති, එසේ ද අහර නො වැළඳිය යුතු ය. ඇතැම්හු ශරීරයේ පැහැය හොඳ කර ගැනීම පිණිස වැඩි කර ගැනීම පිණිස සුදුසු අහර සොයා වළඳති. එසේ ද ආහාර නො වැළඳිය යුතු ය. ආහාරයේ ප්‍රයෝජනය සලකා ආහාර ගැනීම කළ යුතු ය. මේ කය පවතිනු පිණිස ආහාර ගත යුතුය. දිවි නොනැසෙන පිණිස ආහාර ගත යුතු ය. පීඩා දුරු කර ගනු පිණිස ආහාර වැළඳිය යුතුය. ත්‍රිශික්ෂා සංඛ්‍යාත ශාසන ප්‍රතිපත්තිය පිරිය හැකි වීම පිණිස ආහාර වැළඳිය යුතුය. උපන් සාගිනි නැති කර ගැනීම පිණිස හා සාගින්න ඇති නොවීම පිණිස ආහාර ගත යුතුය. ශරීරය හා ජීවිතය චිරකාලයක් පවතිනු පිණිස අහර වැළඳිය යුතු ය.
ලෝකයේ කෙරෙන පව්කම්වලින් වැඩිහරියක් කෙරෙන්නේ ආහාර නිසාය. ආහාරය නිසා රාගාදි ක්ලේශයෝ ද වැඩෙති. කියන ලද පරිදි නුවණින් කරුණු සලකා අහර වළඳන්නහු අතින් ආහාර සෙවීම් ආදිය සම්බන්ධයෙන් සෙස්සන් කරන නොයෙක් පව්කම් නොකරෙන්නේය. රාගාදි කෙලෙස් නො වැඩෙන්නේය. ඔහු නිවැරදි ලෙස අහර වළඳන්නෙක් වන්නේ ය. දැහැමින් ලද ආහාරය වුවද නුවණින් තොරව තණ්හාවෙන් වළඳන්නහුට පමණට වඩා අහර ගැනීමෙන් වන්නා වූ ද, අපථ්‍යාහාර ගැනීමෙන් වන්නා වූ ද නොයෙක් රෝගයෝ හටගනිත්, නුවණින් අහර වළඳන්නහුට රෝගයන්ගෙන් තොරව සුවසේ ජීවත් විය හැකි වන්නේය. සුවසේ ත්‍රිශික්ෂා පරිපූරණය කළ හැකි වන්නේ ය. එබැවින් භෝජනයෙහි මාත්‍රාඥතාව චරණ ධර්මයක් වේ. පැවිද්දන් විසින් විශේෂයෙන් භෝජනයෙහි මාත්‍රාඥ විය යුතු ය. ගිහියන්ට ද එසේ වීම සුදුසු ය. ආහාර තණ්හාව ඇතුළු සකල තෘෂ්ණාවෙන් ම සහමුලින් නසා සිටින තථාගතයන් වහන්සේ මේ ගුණයෙන් අනූන බව අමුතුවෙන් කිය යුත්තක් නොවේ.
ජාගරියානුයෝග යනු නො නිදා සිටීමෙහි යෙදීම ය. තිරිසන් සත්ත්වයෝ ද නොයෙක් විට අවදිව සිටිති. මෙහි ජාගරියානුයෝග යනුවෙන් අදහස් කරන්නේ අවදිව සිටීම් මාත්‍රය නොව, නො නිදා කාමච්ඡන්දාදි නීවරණයන්ගෙන් සිත පිරිසිදු කිරීම ය. එනම්, ශමථ විදර්ශනා භාවනාවන්හි යෙදීම ය. උපන් නීවරණයට සිතෙහි පවත්නට නොදී එය වහා සිතින් බැහැර කීරීමය. ජාගරියානුයෝගය පුරන ආර්‍ය්‍යශ්‍රාවකයෝ ද කල්‍යාණ පෘථග්ජනයෝ ද හිඳීම සක්මන යන ඉරියව් දෙකින් භාවනාවෙහි යෙදෙමින් සිත පිරිසිදු කරමින් දවල් කාලය ගත කරති. රාත්‍රියේ ප්‍රථම යාමයත් එසේ ම ගත කරති. රාත්‍රියේ මධ්‍යම යාමයේ දකුණු ඇලයට හැරී එක් පයක් මත අනික් පය මඳක් ඉඳිරියට කොට තබා සිහියෙන් යුක්තව වෙලාවට අවඳිවීමේ සංඥාව ඇති ව සිංහශෙය්‍යාවෙන් සයනය කෙරෙති. පශ්චිම යාමයෙහි අවදිව සිත පිරිසිදු කෙරෙති. එසේ පිළිපැදීම ජාගරියානුයෝග නම් වේ. මහාබෝධිසත්ත්වයන් වහන්සේ ජාගරියානුයෝගයෙන් ලොවුතුරා බුදුබවට පැමිණියහ. බෝධි මූලයේදී අර්හන්මාර්ගඥාණයෙන් ක්ලේශයන් නසා මතු කිසිකලෙක කිලිටි නොවන පරිදි සිත පිරිසිදු කර ගත් භාග්‍යවතුන් වහන්සේට සිත පිරිසිදු කිරීමට ය කියා කළ යුත්තක් නැත. එහෙත් උන්වහන්සේ තමන් වහන්සේට ඉදිරියට කළ යුත්තක් නැත කියා නිකම්ම කල් නො ගෙවන සේක. උන්වහන්සේ බුදුවීමෙන් පසු ද සෙස්සන්ට වඩා අවදිව සිටින සේක. ඒ බව දැන ගැනීමට තථාගත දිනචර්‍ය්‍යාව දක්වනු ලැබේ. ඒ මෙසේය:-