අම්බට්ඨ සූත්‍රයෙහි අෂ්ඨවිද්‍යාවක් වදාරා තිබේ. එය අන් සූත්‍රයක නො දක්නා ලදී. ඒ කරුණු අට ශ්‍රාමාණ්‍යඵලසූත්‍රයෙහි ශ්‍රාමණ්‍යඵල වශයෙන් (පැවිද්දෙහි ප්‍රයෝජන වශයෙන්) වදාරා ඇත.
- විදර්ශනාඥානය
- මනෝමයඍද්ධිඥානය
- ඍද්ධිවිධඥානය
- දිව්‍යශ්‍රෝත්‍රඥානය
- පරචිත්තවිජානනඥානය
- පූර්වේනිවාසානුස්මෘතිඥානය
- දිව්‍යංචක්ෂුරභිඥානය
- ආශ්‍රවක්ෂයකරඥානය
මේ ඒ අෂ්ටවිද්‍යාවය.
මේ විද්‍යා අට දේශනය කර තිබෙන්නේ සාමාන්‍ය ජනයා අනුව නොව, අෂ්ටසමාපත්තිලාභීන්ගේ වශයෙනි. විදර්ශනාඥානය යනු නාමරූප ධර්මයන් හා ඒවායේ අනිත්‍යාදි ලක්ෂණ දක්නා ඥානය ය. මෙහි ප්‍රථම විද්‍යාව වශයෙන් අදහස් කරන විදර්ශනා ඥානය සාමාන්‍ය පුද්ගලයන් විසින් උගෙනීමෙන් හා තරමක් භාවනාවෙහි යෙදීමෙන් ලබා ඇති දුබල විදර්ශනාඥානයක් නො ව, මඟපල ලබා දීමට සමත් උසස් විදර්ශාඥානය ය. අෂ්ටසමාපත්තීන් උපදවා ඒවා තුදුස් ආකාරයෙන් පුරුදු කොට වශීභාවය ලබාගත් යෝගාවචරයාගේ සිට සිත චතුර්ථධ්‍යාන සමාධියෙන් සමාහිතව සියලු උපක්ලේශවලින් මිදී පිරිසිදු වූ කල්හි, මනාකොට භාවිතා කිරීම නිසා මෘදු වූ කල්හි, කර්මණ්‍ය වූ කල්හි, නිශ්චලව සිටි කල්හි යෝගාවචර තෙමේ ඥාන දර්ශන ප්‍රතිලාභය සඳහා ඒ සිත මෙහෙයවයි. ඔහුගේ ඒ ශුද්ධ වූ සිතින් තමාගේ ආත්මභාවය බලන්නට එහි තතු විමසන්නට වන් කල්හි රූප කය විනිවිද පෙනෙන්නට වෙයි. එහි රූප වෙන් වී පෙනෙයි. ඒවා ඉපද ඉපද බිඳී බිඳී යන සැටි පෙනෙයි. මැනවින් ඔප කොට මැද සිදුරු කොට හුයකින් අවුණා ඇති මාණික්‍යයක් අත්ලෙහි තබා බලන්නකුට එය තුළ ඇති හුය මැනවින් පෙනෙන්නාක් මෙන් ඔහුට රූප කය තුළ පවත්නා වූ ඔහුගේ සිත ද මැනවින් පෙනෙන්නට වෙයි. සිත ඉපද ඉපද බිඳී බිඳී යන සැටි පෙනෙන්නට වෙයි. සිත හා බැඳී උපදනා වූ ස්පර්ශ වේදනාදි චෛතසික ධර්ම ද පෙනෙන්නට වෙයි. මේ විද්‍යා කථාවෙහි විදර්ශනා ඥානය යි කියනු ලබන විද්‍යාව එසේ නාමරූපයන් ඇසට පෙනෙන්නාක් මෙන් පිරිසිදු ලෙස පෙනෙන ඥානය යි.
අෂ්ඨසමාපත්ති විෂයෙහි වශීභාවය ඇති කර ගෙන සිත සකස්කර ගත් යෝගාවචරයා හට තමන්ගේ කය තුළ තමා හා සමාන වූ සර්වාංග පරිපූර්ණ කයක් නිර්මාණය කොට කොපුවක තුබූ දෙයක් පිටතට ගන්නාක් මෙන් එය තමන්ගේ කයින් පිටතට ගත හැකි ය. එසේ කරන්නා වූ චතුර්ථ ධ්‍යානචිත්ත සම්ප්‍රයුක්ත ඥානය මනෝමයඍද්ධි නම් වූ ද්විතීය විද්‍යාව ය.
සිත සකස් කර ගත්තා වූ යෝගාවචරයා හට බොහෝ රූප නිර්මාණය කොට තමාට ම බොහෝ දෙනකුන් සේ පෙනී සිටිය හැකි ය. බොහෝ දෙනකුන්ව සිට එකකු ද විය හැකි ය. නො පෙනෙන තැන පෙනෙන සේ සිටිය හැකි ය. පෙනෙන තැන නො පෙනී සිටිය හැකි ය. ප්‍රාකාර භිත්ති - පර්වත ඇති තැන් වලින් කිසිවක් නැති තැනකින් යන්නාක් මෙන් ඒවායේ නො ගැටී යා හැකි ය. දියෙහි මෙන් පොළොවෙහි ගිළීම මතුවීම කළ හැකි ය. අහසෙහි පොළොවෙහි මෙන් ඉරියව් පැවැත්විය හැකිය. චන්ද්‍ර සුර්‍ය්‍යයන් අතගෑ හැකි ය, බ්‍රහ්මලෝකය දක්වා ලෝකයෙහි තමාගේ ඊශ්වරත්වය පැවැත් විය හැකිය. ඒවා කිරීමට සමත් වන චතුර්ථධ්‍යාන සම්ප්‍රයුක්ත ප්‍රඥාව ඍද්ධිවිධාඥන නම් වූ තෘතිය විද්‍යාව ය.