සතරමාර්ග සතරඵලයන්ට පැමිණ සත්‍යාවබෝධය කොට අපායෙන් මිදී නිවන් පසක් කොට සිටින උත්තම පුද්ගලයෝ ආර්‍ය්‍ය පුද්ගලයෝ නම් වෙති. ආර්‍ය්‍ය පුද්ගලයන් ඇත්තේ බුදුසස්නෙහිය. බුදු සස්නෙන් පිටත ආර්‍ය්‍යපුද්ගලයෝ නැත්තාහ. “ඉධෙව සුභද්ද සමණො ඉධ දුතියො සමණො ඉධ තතියො සමණො ඉධ චතුත්ථො සමණො සඤ්ඤා පරප්පවාද සමණෙහි අඤ්ඤෙ” යනුවෙන් මහපිරිනිවන් සුතුරෙහි ප්‍රථම ශ්‍රමණයාය, ද්විතීය ශ්‍රමණයාය, තෘතීය ශ්‍රමණයාය, චතුර්ථ ශ්‍රමණයාය යන නම් වලින් බුදුසස්නෙහි ශ්‍රමණයන් සතර දෙනෙක් ඇති බව වදාරා ඇත්තේය. ශ්‍රෝතාපන්න පුද්ගලයාය, සකෘදාගාමී පුද්ගලයාය, අනාගාමී පුද්ගලයා ය, අරහත් පුද්ගලයාය යන නම් ව්‍යවහාර කරන්නේ ඒ පුද්ගලයන් සතර දෙනාට ය. ඒ සතර දෙන ආර්‍ය්‍ය පුද්ගලයෝ ය. මාර්ගඵල භේදයෙන් ආර්‍ය්‍ය පුද්ගලයෝ අට දෙනෙක් වෙති.
- ශ්‍රෝතාපත්ති මාර්ගස්ථ පුද්ගලයා ය,
- ශ්‍රෝතාපත්ති ඵලස්ථ පුද්ගලයා ය,
- සකෘදාගාමි මාර්ගස්ථ පුද්ගලයා ය,
- සකෘදාගාමි ඵලස්ථ පුද්ගලයා ය,
- අනාගාමී මාර්ගස්ථ පුද්ගලයා ය,
- අනාගාමී ඵලස්ථ පුද්ගලයා ය,
- අර්හත් මාර්ගස්ථ පුද්ගලයා ය,
- අර්හත් ඵලස්ථ පුද්ගලයා ය.
යන මොවුහු ආර්‍ය්‍යපුද්ගලයෝ අට දෙනය. මාර්ගස්ථ පුද්ගලයා ය කියනුයේ ලෝකෝත්තර මාර්ග සිත් අතුරෙන් යම් කිසි සිතකින් ඉන්නා පුද්ගලයා ය. එක් පුද්ගලයකුට එක් මාර්ග සිතක් ඇති වන්නේ එක් වරක් පමණකි. මාර්ග සිත් වනාහි අන් සිත් මෙන් එක් පුද්ගල සන්තානයනක නැවත නැවත උපදනා සිත් කොටසක් නොවේ. සිතක පවත්නා කාලය ඉතා කෙටි කාලයෙකි. එබැවින් යම් කිසි පුද්ගලයකු මාර්ගස්ථ පුද්ගලයකු වශයෙන් ඉන්නා කාලය ඇසිපිය හෙලීමට ගතවන කාලයට ද වඩා කෙටි වූ ඉතාම කෙටි කාලයෙකි. ලෝකෝත්තතර මාර්ගචිත්තය ඉපද නිරුද්ධ වනු සමඟ ම අතර හිස්කාලයක් නො තබා එකෙණෙහි ම ලෝකෝත්තර ඵලචිත්තය ඇති වේ. ඵලචිත්තය ඇති වීමෙන් පුද්ගලයා ඵලස්ථ පුද්ගලයෙක් වන්නේ ය. මාර්ගස්ථ පුද්ගලයාගේ කාලය ඉතා කෙටි බැවින් ලෝකයෙහි ආර්‍ය්‍යපුද්ගලයන් වශයෙන් සිටින්නවුන් ඵලස්ථ පුද්ගලයන් බව කිය යුතුය.